අමතක වූ වතුකරය

1059

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මංගල අයවැය ලේඛනය බෙහෙවින් විවාදාත්මක බව පෙනී යයි. මෙය තනිකරම ප්‍රතිසංස්කරණවාදී අයවැයක් ලෙස පෙන්වා දෙනු ලැබේ. මේ අයවැය ලේඛනයේ බඩු මිල අඩුවුණේ නැත. ඇතැම් අර්ථශාස්ත්‍රඥයන් කියන පරිදි මේ අයවැය සකස් කර ඇත්තේ අනාගතයේදී බඩු මිල අඩුකරන නිෂ්පාදන ආර්ථිකයක් සකසන යාන්ත්‍රණයක් ලෙසිනි. ඖෂධීය ගුණාංගයන්ගෙන් සමන්විත නමුත් වැරදියට පාවිච්චි කළොත් ස්නායු පද්ධතිය ගැටගැහෙන මත්ද්‍රව්‍යයක් වූ ගංජා ශාකය වාණිජ වැවිල්ලක් ලෙස වගා කළ හැකිද යන කාරණය සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට මෙම අයවැය මගින් යෝජනා වී තිබේ. ගංජා වගාව දැඩි ආරක්‍ෂක තත්ත්වයන් යටතේ නීත්‍යානුකූලව පවත්වාගෙන යමින් ආදායම් උපදවන රටවල් කිහිපයක්ම ලෝකයේ තිබේ. කසිප්පු යනු තහනම් බීමකි. කසිප්පු පෙරා අහුවුණොත් කුදලාගෙන ගොස් දඟගෙයිලනු ලැබේ. එහෙත් කසිප්පුවලම වෙනස් ස්වරූපයක් වන අරක්කු නීත්‍යානුකූල බවට පත්කර ප්‍රසිද්ධියේ විකුණනු ලැබේ. ගංජාවලින් සිරෝසිස් සෑදෙන්නේ නැත. එහෙත් අරක්කුවලින් සිරෝසිස් සෑදේ. අරක්කු බෙහෙත් සෑදීමට ගනු නොලැබේ. එහෙත් ආයුර්වේද බෙහෙත් සෑදීම සඳහා ගංජා යොදාගනු ලැබේ. අබිං යනු ඉතාම නරක මත්ද්‍රව්‍යයකි. එසේම ඉතාම උසස් ආයුර්වේද බෙහෙතකි. මත්ද්‍රව්‍යවල විවිධ වැරදි ඇත. එමෙන්ම විවිධ හොඳ ද ඇත. හැම දෙයකම තත්ත්වය වන්නේ මෙයමයි. බත් ගාණකට කෑවොත් ශරීර ශක්තිය පවත්වාගෙන යෑමට පුළුවන. එහෙත් බත් ඕනෑවට වඩා ගිල දැම්මොත් දියවැඩියාව වැලඳීමට පුළුවන. වතුර නොබිව්වොත් වකුගඩු කරවී විජලනය වී මනුෂ්‍යයා මරණයට පත්වේ. එසේම පැය 24 ක් තුළ කිසියම් පුද්ගලයෙක් වතුර ලීටර් 50 ක් පානය කළොත් එම පුද්ගලයාගේ වකුගඩු හානියට පත්වී ඔහු අභාවප්‍රාප්ත වේ. මෙහිදී සිදුවන්නේ අති විශාල ජලය ප්‍රමාණයක් මුත්‍රා බොක්කට පෙරාදීමේදී වකුගඩුවල තිබෙන නෙස්රෝන මහන්සියට පත්වී නරක්වීමය. මේ හැම එකක්ම සියයට පනහට පනහේ කතා වෙති. ඒ අතර අයවැය ලේඛනය සෑදීමේදී අමතක වූ ප්‍රශ්නයක් මතක් කර දීමට අපි මෙය අවස්ථාව කරගනිමු. ඒ වූ කලී වතුකරයේ ජනතාව පිළිබඳ ප්‍රශ්නයයි.

ශ්‍රී ලංකාවේ වතුකරය ලෙස හැඳින්වෙන්නේ කඳු ගොඩක් සහිත මධ්‍ය කඳුකරය නොව එම කඳුවල තිබෙන තේ වතුවල වැඩකරන දෙමළ සහ සිංහල කම්කරු ජනතාව ය. මීට අවුරුදු 200 කට පමණ පෙර මේ රටේ වතුකරය පටන් ගන්නේ ඉන්දියාවෙන් මෙහි ගෙන්වන ලද දුප්පත් අසරණ අහිංසක දෙමළ ජනතාව ගෙනි. එකල මේ රට බි්‍රතාන්‍ය අධිරාජ්‍ය යටතේ පැවැති කොලෝනියල් යටත්විජිතයකි. ඉන්දියාව ද එසේම ය. මේ රටවල් දෙකම දුප්පත් ය. සාපේක්‍ෂව ගත්කල ලංකාවට වඩා ඉන්දියාව දුප්පත් ය. ඒ නිසා ශ්‍රී ලංකාවේ වතුකරයේ තේ සිටුවීමටත් එම තේ ගස්වලට සාත්තු කිරීමටත් පසුව තේ දළු කැඩීමටත් ඉන්දියාවෙන් දෙමළ ජනතාව ගෙන්වන ලදි. මේ පිළිබඳ පසුබිම් කතාව මීට පළමුව ද අපගේ කර්තෘ වාක්‍ය මගින් සාකච්ඡා කර ඇත. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියා විසින් දෙමළ මිනිසුන් වතුකරයට ගෙන්වන ලද්දේ කරත්ත අදින හරකුන්ගේ තත්ත්වයෙන් පවත්වාගෙන යනු පිණිස ය. කරත්තය අදින හරකාට තණකොළ සහ පුන්නක්කු මිස අධ්‍යාපනය දෙනු නොලැබේ. ඒ සතාට හරක් ගාලක් මිස ඇඳක්, පැදුරක් හෝ වෙනත් වාසස්ථානයක් දෙනු නොලැබේ. ඉන්දියාවෙන් වතුකරයට ගෙනා දෙමළ ජනතාව ද පාවිච්චි වුණේ හරක් මෙනි. වතුකරයේ පවුල්වල දරුවන්ට අධ්‍යාපනය දිය යුතු බවට හැඟීමක් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් තුළ තිබුණේ නැත. එසේම වතුකරයේ ජනතාවට ඔවුන්ගේ සෞඛ්‍ය වැඩිදියුණු කරන ආහාර ලබාදීමේ වුවමනාවක් ද බි්‍රතාන්‍ය අධිරාජ්‍යයාට තිබුණේ නැත. වතුකරයේ ජනතාවට බෙහෙත් ලැබුණේ නැත. ඔවුන්ට ලැබුණු එකම බෙහෙත වූ කලී මැලේරියා උණට දෙන ක්වීනින් පෙති පමණි. බි්‍රතාන්‍ය ආණ්ඩුව ක්වීනින් මගින් බලාපොරොත්තු වුණේ වතු කම්කරු ජනතාවගේ මරණ සංඛ්‍යාව අවම කර ගැනීම ය. එයද බි්‍රතාන්‍යයේ වාසියටම යොදන ලද උප්පරවැට්ටියකි. මැලේරියාව හැදුනොත් වතු කම්කරුවන් මැරෙන බැවින් ඉන්දියාවෙන් තව තවත් කම්කරුවන් ගෙනඒමට වතු සුද්දාට සිදුවේ. කම්කරුවෝ නොමැරී තබා ගැනීම ඒ අනුව වාසිදායක වෙයි. මේ තත්ත්වයන් සාපේක්‍ෂව වතු කම්කරුවන් සහ තිරිසන් සතුන් අතර වැඩි වෙනසක් දැකීමට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදිය කැමැති වුණේ නැත. එහෙත් අවුරුදු 200 ක ඇවෑමෙන් අද වන විට ශ්‍රී ලංකාව මහත් සේ සභ්‍ය වූ රටක් බවට පත්ව තිබේ. ඒ අතර වතු කම්කරුවාගේ ජීවන මට්ටම සාපේක්‍ෂව දියුණු වී තිබුණ ද හොඳටම දියුණුවී නැත. අදටත් වතුකම්කරුවන් ලබන්නේ අඩු වැටුපකි. ඔවුන්ට විශ්‍රාම වැටුපක් නැත. මෙඩිකල් ඉන්ෂුවරන්ස් නැත. ලෙඩක් හැදුනොත් ළඟම ඇති ඉස්පිරිතාලයට යෑමට ඔවුනට සිදුවන අතර එදාට වැඩට යෑමට බැරි බැවින් ඔවුන්ට පඩි නැත. මීට අවුරුදු 200 කට පෙරත් වතුකරයේ ජනතාව ප්‍රධාන ආහාරය වශයෙන් ගත්තේ පිටිවලින් සෑදූ රොටීය. ඔවුන් අද කන්නේත් පිටිවලින් සෑදූ රොටීය. රටේ සෙසු වෘත්තීන්වල ජනතාවගේ ජීවන තත්ත්වය හා සසඳන කල වතුකරයේ ජීවන තත්ත්වය අදටත් ඉතා පහළය. මේ නිසා වතුකරයේ ජනතාවට අයවැය මගින් කිසියම් පහසුවක් ලැබේය යන කාරණය වතුකරයේ ජනතාව හැම අවුරුද්දකම අපේක්‍ෂා කළ දෙයකි. පඩි අඩු වුණාට, කන්න නැති වුණාට, සෞඛ්‍ය පහසුකම් අඩුවුණාට වතුකරයේ ජනතාව කොළඹ සිටින ලිබරල් ජනතාව මෙන් අරගල කරන්නේ නැත. ඔවුන්ට අරගල කරන්නට වෙලාවකුත් නැත. එබැවින් අයවැයෙන් අමතක වුණු වතුකරයේ ජනතාව වෙනුවෙන් හැකි යමක් කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු. එතුමා එය නොසලකා නොහරින බව ද අපි විශ්වාස කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment