අමරණීය වූ විප්ලවාදියා චේ

962

අතට පත් වූ රාජ්‍ය වරප‍්‍රසාද සහිත මැති ඇමැතිකම්, තම අඹුදරුවන් සහිත සිය පවුල, තමන් උපන් බිම මේ සියල්ල අතහැර තවත් රටක පෑගෙන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කැපවීමට ක‍්‍රියා කිරීම බුදුදහමට අනුව බෝධිසත්ත්ව ප‍්‍රතිපදාවකි. එය ඉටු කිරීමට යොමු විය හැක්කේ බෞද්ධයකුට පමණක් නොව ඕනෑම ආගමිකයකුට, ඕනෑම ජාතිකයකුට පුළුවන. එවන් චරිතයක් ගතකළ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකු වූ මීට වසර 54 කට පෙර ලොවින් සමුගත්තෙ අදටත් පිරවිය නොහැකි හිස් තැනක් ඉතුරු කරමිනි. ඔහු නමින් අර්නස්ටෝ චේ ගුවේරා නම් විය.

1928 ජුනි මස 14 වෙනිදා ආර්ජන්ටිනාවේ රොසයිරෝ නගරයේදී උපත ලද චේ ඉතා කුඩා වියේ සිට ඇදුම රෝගයට ගොදුරු වූ දරුවෙක් විය. මෙම යුගයේ එම රෝගය කුමක්දැයි එකල වෛද්‍යවරුන්ටද හඳුනාගන්නට නොහැකි වූ අතර, ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ද බෙහෙවින් විරල වූහ.

චේ ගේ රෝගී තත්ත්වය නිසා ඔහුට පාසල් අධ්‍යාපනය ලැබීමට නියමිත වයසට අනුව නොහැකි විය. පාසලට ඇතුළත් කළ යුතු වයස ගෙවා වසර දෙකක් වුණත් සිය අධ්‍යාපනය ලැබුවේ තම නිවසේ සිට තම මෑණියන්ගෙනි. චේ ගේ දෙමාපියන් වංශවත් පරපුරු දෙකක් නියෝජනය කළ උගතුන් විය.

වර්ෂ 1955 වසරේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටි චේ පිදෙල් කැස්ත්‍රෝ හමු වී ඔහුගේ විප්ලවකාරී සංවිධානයට බැඳුනි. මෙම සංවිධානය එකල එම රටේ තහනම් කරන ලද සංවිධානයකි. මෙම සංවිධානයේ සාමාජිකයෙකු ලෙස විප්ලවයට එකතු වූ චේ අරගලවලදී දෙවරක්ම තුවාල ලබා ඔත්පල විය. මෙම සංවිධානයේ කැරලි හමුදාවේ මේජර්වරයෙකු වූ චේ කියුබානු විප්ලවය සඳහා සිය ජීවිතය කැප කළේ තමාගේ රෝගී තත්ත්වයන් ද නොසලකාය. 1959 ජනවාරි 02 දා කියුබාවේ හවානා නගරයේ කිසිවෙකුගේ ලේ නොසොල්වා යටත් කරගත් පිදෙල් කැස්ත්‍රෝගේ හමුදාව එතෙක් කියුබාවේ පැවැති බැටිස්ටාගේ සත් අවුරුදු පාලනය පෙරළා දැම්මේ ජයග‍්‍රහණයේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමිනි.

1959 පෙබරවාරි 09 වෙනිදා චේට කියුබාවේ පුරවැසිභාවය ලබා දීමේ කටයුතු ආරම්භ විය. ටික දිනකින් ඔහුට කියුබානු ජාතිකයෙකුට හිමි සියලූම වරප‍්‍රසාද සහිත කියුබානු පුරවැසිභාවය හිමි විය. එය චේ ට අති විශාල සතුටක් ගෙන දුනි. මෙම වසරේ ජුනි මස 02 වෙනිදා චේ අලෙයිඩා මාච් නම් තරුණිය සමග විවාහ විය. චේ ගේ දෙවන විවාහය මෙයයි. ඔහු පළමුව විවාහ වූයේ පේරු රටේ විසූ හිල්ඩා නම් යුවතිය සමගය. දෙවන විවාහයෙන් චේ දරුවන් හතරදෙනකුගේ පියෙකු විය. දියණියන් දෙදෙනකු හා පුතණුවන් දෙදෙනකු වූ අතර, පළමු විවාහයෙන් ලැබුණු දියණියද ගෙන්වාගෙන මෙම පවුලට එකතු කරගෙන ජීවත් විනි.

පිදෙල් කැස්ත්‍රෝ විසින් ආරම්භ කරන ලද නව කියුබානු රජයේ කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණය පිළිබඳ ජාතික ආයතනයේ ප‍්‍රධානියා වශයෙන් 1959 ඔක්තෝබර් 07 වෙනිදා පත් වූ චේට එම වසරේම නොවැම්බර් 26 වෙනිදා කියුබානු ජාතික බැංකුවේ අධ්‍යක්ෂක තනතුර පිරිනැමුනි. එයින් වසරකුත් මාස 3 ක් සපිරුණු 1961 පෙබරවාරි 23 වෙනිදා කියුබානු රජයේ කර්මාන්ත අමාත්‍ය පදවිය හිමි වූයේ චේටය.

1961 සිට 1965 දක්වා වසර 05 ක් කියුබාවේ කර්මාන්ත අමාත්‍ය පදවිය හෙබවූ චේ එම රටේ කර්මාන්තයන්හි නවෝදය සඳහා විවිධ පියවර රාශියක් ගත්හ. 1965 වසරේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට චේ විදේශගත වූයේ 1964 දෙසැම්බර් 09 වෙනිදාය. ඔහු රටින් පිටවී ගියේ දින 8 කට පමණය. නමුත් ඔහු තෙමසකට ආසන්න කාලයක් ආපසු කියුබාවට පැමිණියේ නැත. ඔහු ලෝකයේ රටවල් රාශියක මේ ගමනේදී සංචාරයේ යෙදිනි. ඒ අතරතුර ඔහු ලංකාවට ද පැමිණියේය. සංචාරය අවසන් කර තෙමසකට පසු ඔහු තම රටට පැමිණියේ 1965 මාර්තු 14 වෙනිදා වන නමුත් ඔහු කියුබාවට පැමිණි පසු නැවත හිටිහැටියේ අතුරුදන් විය. කිසිවකුට නොකියා හිටිහැටියේ සිදු වූ අතුරුදන් වීම ලෝක වාසීන් දුටු පුදුමයක් විය. මේ අතරතුරේදී චේගේ මවද මෙලොවින් සමුගත්තේ තම පුතණුවන් පිළිබඳව කිසිම තොරතුරක් නොලබාය.

චේට වූයේ කුමක්ද? කියුබාවේ සියලූ දෙනා කැස්ත්‍රෝගෙන් ප‍්‍රශ්න කළේය. 1965 වසරේ ඔක්තෝබර් 01 දින පැවැති කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේදී පිදෙල් කැස්ත්‍රෝ කියුබානු නායකයා චේ කියුබාවේ නොමැති බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේ මෙසේ පවසමිනි. ”මෙම මධ්‍යම කමිටුව තුළ සිටිය යුතු එමෙන්ම අවශ්‍ය මිනිසා අද අප අතර නැත” යනුවෙනි.

1965 ඔක්තෝබර් මස 03 වෙනි දින පිදෙල් කැස්ත්‍රෝ අමතන ලිපියක් චේ විසින් ලියා එවා තිබුණි. මෙහි සඳහන් වූයේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය හා රජයේ තමා දැරූ සියලූ තනතුරුවලින් තමා සමුගන්නා බවය. ඔහු එම ලිපියේ මෙසේද සඳහන් කර තිබුණි. ”දැන් මගේ සේවය මේ ලෝකයේ වෙසෙන තවත් පිරිසකට ලබා දීමට කාලය උදා වී ඇත. ඔබ කියුබාව සම්බන්ධව සියලූ වගකීම් ඉතා හොඳින් සිදු කරන නිසා මට ඔබගෙන්ද, ඔබ රටින්ද සමුගෙන යෑමට අපහසුවක් නැත. දැන් අපට උදා වී ඇත්තේ වෙන් වීමට කාලයයි.”

”මගේ බිරිඳ හා දරුවන් අතහැර මා වෙන් වී යන්නේ මා ඔවුන් සඳහා මේ ලෝකයේ ඉතිරි කරන ලද කිසිම ධන සම්පතක් නොමැතිවය. එයින් මා දුකට පත් නොවෙමි. මා එසේ වීම ගැන අතිශයින් සතුටු වෙමි. ඔවුන් වෙනුවෙන් ඔබෙන් හෝ රජයෙන් කිසිවක් ඉල්ලා නොසිටිමි. ඒ මන්ද යත් රජය මගින් ඔවුන්ට අවශ්‍ය දීමනාවන්ද, අධ්‍යාපනයද ලබා දෙන හෙයිනි.”

1965 වසරේ කියුබාවේ සියලූ දේශපාලන හා රාජ්‍ය පාලන කටයුතුවලින් සමුගත්තේ එම වසරේ නොවැම්බර් 07 වෙනිදාය. ඉන්පසු බොලිවියා රාජ්‍යයේ ගරිල්ලන්ගේ කඳවුරකට සම්බන්ධ වෙමින් යළිත් සටන්කාමී ජීවිතයක් අරඹන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිව නොවේ. ඔහු අභිනවයෙන් නිර්මාණය කරන ලද ජාතික නිදහස් හමුදාව නම් ගරිල්ලා සේනාංකය මෙහෙයවමින් බොලිවියාවේ නිදහස වෙනුවෙන් සටන් පෙරමුණේ ගමන් ගත් චේ 1967 ඔක්තෝබර් 08 වෙනිදා සතුරු හමුදාවලට හසුවන්නේ ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් සිටියදීය. අල්ලා ගත් චේ රැගෙන ගියේ චිගුවේරා නම් ගම්මානයටය. එම ගමෙන් පාසලකට රැුගෙන ආ චේ එහි ඇති පන්ති කාමරයක සිරගත කරන ලදී. ඔහුගේ පිටේ එල්ලාගෙන තිබුණු බෑගයක් විය. එය පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වූයේ ඔහුගේ ලිපි ලේඛනයන් මෙන්ම ඔහුගේ ඓතිහාසික දින සටහන් ඇතුළත් දින පොත ද ඊට අමතරව ඔහු ඉතා ආසා කළ කවි පන්ති කිහිපයක් ද විය.

ඔක්තෝබර් 08 වැනි දින අත්අඩංගුවට ගත් අර්නස්ටෝ චේ ගුවේරා නම් අසහාය විප්ලවවාදියා ඊට පසු දිනයේ එනම් ඔක්තෝබර් මස 09 වැනිදා සවස 01:30 ට චිගුවේරා ගම්මානයේ පාසල් පන්ති කාමරයක සිය අවසන් හුස්ම පොද වාතයට එක් කළේ රුදුරු වෙඩි උණ්ඩයකට ලක් වීමෙනි. එය සිදු වී අදට වසර 54 කි. මේ වන විට ඔහු මියගොස් තිබුණත් අදත් නොමැරුණු ලෙස ඔහුගේ වීර නාමය මේ පෘථිවි තලය පුරා ජීවත් වන ජනතාවගේ සිත් සතන් තුළ සදාතනිකව පවතිනුයේ අමරණීයත්වයට පත් වූ ශ්‍රේෂ්ඨයකු වශයෙනි. ”වීරයෝ නො මැරෙත්, බියගුල්ලෝ නිතර මැරෙත්.”

අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා

advertistmentadvertistment
advertistmentadvertistment