අමරසේකර කතිකාව

1576

ගුණදාස අමරසේකර තරම් සිංහල සාහිත්‍යයට බලපෑමක් කළ අන් සාහිත්‍යධරයකු නැත. කුමක් නිසාද? ඔහු තරම් පොත් සංඛ්‍යාවක් ලියූ අන් ලේඛකයකු සිංහල සාහිත්‍යයේ දුර්ලභ නිසාද? ප්‍රබන්ධකරණයේ, කාව්‍යකරණයේ මෙන්ම විචාරයේද ඔහු එක සේ නියුතු වූ නිසාද? එසේ නැත්නම් නවකතා වංශයට දේශපාලන නවකතා දහරාවක් ඔහු විසින් හඳුන්වා දුන් නිසාද? නැත. සැබැවින්ම ඒ, ඔහු තරම් සිංහල සාහිත්‍ය කතිකාවට නවකතාවෙන්, කෙටිකතාවෙන්, කවියෙන් හා විචාරයෙන් දායක වූ වෙනත් ලේඛකයකු නැති නිසාය.

● ‘කරුමක්කාරයෝ’ හා ‘යළි උපන්නෙමි’

ප්‍රථමයෙන් ගුණදාස අමරසේකර සිංහල සාහිත්‍ය කතිකාව උඩුයටිකුරු කරනුයේ ඔහුගේ පේරාදෙණි නවකතා ද්වයෙනි. ඒ, ‘කරුමක්කාරයෝ’ හා ‘යළි උපන්නෙමි’ ය. එකල ඔහු හංවඩු ගැසෙනුයේ අසභ්‍ය නවකතා හඳුන්වා දුන්නෙකු හැටියටය. සිංහල නවකතාවේ සභ්‍ය – අසභ්‍යවාදය ඇති වනුයේද ඔහුගේ මේ කෘති දෙක ඔස්සේ වන අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටීමද මෙරට සාහිත්‍ය කතිකාවේ මතභේදයට ලක් වූ කරුණක් විය. සරච්චන්ද්‍ර ‘යළි උපන්නෙමි’ ඇගයූවේ කරුණු දෙකක් මතය. ඔහුම කියන පරිදි ඒ, “එකක් නම් නවීන මනෝවිද්‍යාත්මක සංකල්ප හා පාරම්පරික චින්තනය අතර වූ ගැටුමක් නිසා මෙවුන්දම පිළිබඳ අස්වාභාවික මානසික තත්වයකට ගොදුරු වූ සිංහල මධ්‍යම පංතික තරුණයකුගේ ගැටලුව විග්‍රහ කිරීමට එහි දරා ඇති අවංක තැතය. අනික තමා සිල්වත් යයි ලෝකයාට පෙන්වමින් වැදිබණ දෙසමින් දෙබිඩි ජීවිතයක් ගත කරන ඇතැම් දේශපාලකයින් හා ධනවතුන් නිර්දය ලෙස පරිභවයට භාජනය කරමින් ඔවුන්ගේ කුහක වත නිර්භයව එළිදරව් කොට තිබීමය.”

සරච්චන්ද්‍ර කියා සිටියේ “මනුෂ්‍යයාගේ කවර ගැටලුවක් හෝ විග්‍රහ කිරීමට සාහිත්‍යකරුවාට නිදහස තිබිය යුතුය” කියාය. කෙසේ හෝ මෙම කෘති ද්වියෙන් ඔහු ඇති කළ කතා කලා කතිකාව, විචාර කතිකාව මෙන්ම සාහිත්‍ය කලාව හා ආචාරධර්ම පිළිබඳ කතිකාව සිංහල නවකතාවේ ප්‍රගමනයට මහත් සේ ඉවහල් විය – මේ විමසුම එදා සිදු නොවී නම් ඉන් දශක හතරකට පසු සයිමන් නවගත්තේගමගේ ‘සංසාරාරණ්‍යයේ අසබඩ’ නවකතාවද සිංහල සාහිත්‍යයේ අවධානයට ලක් නොවී බැහැර වන කෘතියක් වීමට තිබිණි.

● ‘දෙපා නොලද්දෝ’

අමරසේකරගේ තෙවන සහ ඔහුගේ අවසන් පේරාදෙණි නවකතාව වූ ‘දෙපා නොලද්දෝ’ ද සිංහල නවකතාවේ සන්ධිස්ථානයකි. මිනිස් ජීවිතයේ සංකීර්ණ හැඟීම් සියුම් ලෙස ප්‍රබන්ධයට හසු කරගන්නේ කෙසේද යන්නට මෙය මනා නිදසුනක් වන අතර පසුව පිබිදී ආ නව ප්‍රබන්ධකරුවන් රැසකට එය ආභාසයද විය.

● ‘ජීවන සුවඳ’

අනතුරුව මෙරට ප්‍රධාන සාහිත්‍ය සංවාදය පෝෂණය වනුයේ ඔහුගේ ‘ජීවන සුවඳ’ නම් කෙටිකතා සංග්‍රහය ඔස්සේය. ‘ජීවන සුවඳ’ සිංහල කෙටිකතාවට ඉතා අව්‍යාජ අත්දැකීම් එක් කළ කතා එකතුවකි. එය කෙටිකතාවේ සාහිත්‍ය සාරය නොබිඳ සමාජ දේශපාලන යටිතලයක් කතාවට එක් කිරීමටද හොඳ උදාහරණයකි. මෙම කෘතිය පසු පරම්පරාවකට කෙටිකතාව කවරේදැයි මඟපෙන්වන කෘතියක් වීමද වෙසෙසකි.

● දේශපාලන කතා දහරාව

ඔහුගේ සිව්වන නවකතාව ‘ගන්ධබ්බ අපදානය’ යි.
කතුවරයාගේ දේශපාලන නවකතා දහරාව අරඹන කෘතිය වන අතර නවකතාව යනු හුදු කල්පනා ලෝකයක් නොව සමාජ දේශපාලන සංවාදයක්ය යන්න පැහැදිලි කරන්නක් විය. සැබැවින්ම මෙය කතුවරයා ‘යළි උපන්නෙමි’ නවකතාවෙන් ගෙන ආ සමාජ සංස්කෘතික පසුබිම නොසැලකීමේ ප්‍රබන්ධය යළි එම සංස්කෘතික සාධක තුළ හික්මවීමට දැරූ ප්‍රයත්නයක් විය. තවද මෙම කෘතියද එදා සාහිත්‍යකරුවනට වෙසෙස් බලපෑමක් කළේය. සරච්චන්ද්‍රයන්ගේ ‘වල්මත් වී හසරක් නොදුටිමි’ නවකතාවේද මෙම කෘතියේ ආභාසය දැකිය හැකිය.

● ඈඳුතු කතා දහරාව

සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා වූ මාර්ටින් වික්‍රමසිංහ ඇරඹූ ඈඳුතු නවකතා දහරාව යළි ප්‍රතිස්ථාපනය කරනුයේ අමරසේකරගේ ‘ගමනක මුල’ සිට ඇරඹෙන නවකතාවලියෙනි. මෙම ඇඳුතු කතාවලිය තුන් ඈඳුත්තක් නොව අට ඈඳුත්තකි – ‘ගමනක මුල’, ‘ගම්දොරෙන් එළියට’, ‘ඉනි මඟේ ඉහළට’, ‘වංකගිරියක’, ‘යළි මඟ වෙත’, ‘දුරු රටක දුකට කිරියක’, ‘ගමනක මැද’, ‘අතරමඟ’. ඇතැම් විචාරකයන්ගේ පැසසුමටද ඇතැම් විචාරකයන්ගේ ගැරහුමටද හසු වූ මේ නවකතාවලිය සිංහල නවකතාවේ නිම්වළලු පුළුල් කිරීම කෙසේ වතුදු නවකතාව යනු කුමක්දැයි යළි අර්ථකථනයට ලක් කළ ප්‍රබන්ධාවලියකි.

● ‘ගල් පිළිමය හා බොල් පිළිමය’

අමරසේකරගේ නවකතා පරයමින් කෙටිකතා ඉදිරියට ආ අවස්ථාවකි, ඔහුගේ ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ කතා සංග්‍රහය. එය ඔහු රචනා කළ බැව් පෙනෙනුයේ දේශපාලන අරුතක් හුවාදැක්වීමටය. එහෙත් එහි කතා විකාශයේ අපූර්වත්වය තුළ එය එම දේශපාලන කතාව පරයමින් මායා යථාර්ථවාදී තලයකට එස වී තිබේ. ඒ ඔස්සේ පාඨකයාට අපූර්ව රස වින්දනයක් දෙන්නේ වේ. අමරසේකරගේ සමස්ත ප්‍රබන්ධ කලාවම හෙළාදුටු පිරිස ඔහුගේ මේ කෘතියෙන් පමණක් ඔහු සැබෑ සාහිත්‍යකරුවකු ලෙස ඇගයීමද වෙසෙසකි.

● කවි කෙත

ඔහු සිංහල සාහිත්‍යය කතිකාව පෝෂණය කළ අනෙක් මාධ්‍යය කවියය. ඔහු බිහි කළ කාව්‍ය ග්‍රන්ථ හතකි. ඒ, ‘භාව ගීත’, ‘උයනක හිඳ ලියූ කවි’, ‘අමල් බිසෝ’, ‘ගුරුළු වත’, ‘ආවර්ජනා’, ‘අසක්දා කව’ හා ‘මතක වත’ ය. අමරසේකර නවකතාව අර්ථකථනය කළේ එය සමාජ දේශපාලනයේ උත්තර සංවාදයක් ලෙසය. එහෙත් ඔහු කවිය සැලකූයේ මීට ප්‍රතිවිරුද්ධ ලෙසය. එනම් සමාජ දේශපාලන සංවාදයෙන් නොකිළිටි වූ හෘදයංගම අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කරන හෘදය සංවාද මාධ්‍යයක් ලෙසය. කෙළවර ඔහු කවිය හද බසකැයිද හැඳින්වීය. මේ තුළ සිදු වූයේ ඔහුගේ කාව්‍ය ග්‍රන්ථ ඔහුගේ නවකතාවලට වඩා විචාරකයන්ගේ ඇගයීමට ලක් වීමය.

ඔහුගේ අවසන් කාව්‍ය ග්‍රන්ථය වන ‘මතක වත’ ආඛ්‍යාන කාව්‍යයකි. එය මහගම සේකරගේ ‘නොමියෙමි’ හා ‘ප්‍රබුද්ධ’ වලින් නැවතුණු සිංහල ආඛ්‍යාන කාව්‍යයට යළි පණ දෙන්නක් විය.

● විචාර

ප්‍රබන්ධ හා කාව්‍ය වලින් බැහැරව මෙරට කතිකාව වෙනස් අතකට යොමු කළ ඔහුගේ අනෙක් ලේඛන මාධ්‍යය විචාරය. ඔහුගේ විචාරය හැම විටම දේශපාලනය හා අත්වැල්බැඳගත්තක් වූ අතර විටෙක එය හුදු දේශපාලන සංකථනයක් බවට විතැන් විය. ‘අබුද්දස්ස යුගයක්’, ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’, ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු’, ‘සභ්‍යත්ව රාජ්‍යය’ වැනි කෘති ඊට නිදසුන්ය. සාහිත්‍යකරුවකු දේශපාලනය ගැන ලීවද සාහිත්‍යකරුවකු නොවන්නකු ඒ ලියනවාට වඩා වෙනස්ය. ඒ අනුව ඔහුගේ දේශපාලන විචාර පාඨකයාට නව නැණසක් පාදන අන්තර්දෘෂ්ටියෙන් හා ප්‍රබුද්ධ කතිකාවෙන් යුතු විය. ඔහුගේ සාහිත්‍ය විචාර සාහිත්‍ය ලෝකයා මෙන්ම ඉන් බැහැර පිරිසගේද ඇස් ඇරවූයේය. වෙසෙසින් සිංහල කවිය ගැන ඔහු 1996 වසරේ එළිදැක්වූ ‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය’ කෘතිය එදා මෙරට කවියන් හා විචාරකයන් විස්මපත් කළේය. එහිදී ඔහු ගෙන ආ තර්කය නම් සිංහල කවියට විරිතෙන් බැහැරට යා නොහැකි බවත් එය කෝට්ටේ කවියෙන් විදාහළ කවි මඟ ඔස්සේ ඉදිරියට යා යුතු බවත්ය. ඇතැම් විචාරකයන්ගේ දෝෂදර්ශනයට හේතු වුවද එය සිංහල කාව්‍ය විචාරය පෝෂණය කළේය.

අමරසේකර අවසන් වරට කළ සාහිත්‍ය විචාර ග්‍රන්ථය ‘නොසෙවුනා කැඩපත’ ය. එය සිංහල නවකතාවේ පරිහානිය කවරේදැයි හා එය ඉන් ගලවා ගැනීමට කුමක් විය යුතුදැයි පැහැදිලි කරන්නකි. සුපුරුදු පරිදි මෙයද ඇතැම් විචාරකයන්ගේ පිරිහෙළීමට ලක් වුවද එය නවකතා විචාරය සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයක් ජනිත කළේය.

● වැරදි මඟ යෑම

මේ අයුරින් ගුණදාස අමරසේකර සිංහල සාහිත්‍ය කතිකාවට දැක්වූ දායකත්වය විමසිය හැකිය. එහෙත් සිංහල පාඨකයාගේ අභාග්‍යයකට ඔහුගෙන් සිදු වූ වැරදීම්ද මෙහිදී සඳහන් කළ යුතුය. සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවකු පළ කරන කෘති අරබයා සාහිත්‍යකරුවන් අතරම විසංවාදයක් ඇති විය නොහැකිය. උසස් කෘතියක් සාහිත්‍යකරුවන් අතර ඒකමතික පිළිගැනීමට ලක් වන නිසාය. එහෙත් අමරසේකරගේ කෘති අරබයා සාහිත්‍යකරුවන් අතරම විසංවාදය ඇති විය. එම කෘති ඒකමතික පිළිගැනීමකට ලක් වූයේ සාහිත්‍ය රස විහීන, ප්‍රබන්ධ හා කාව්‍ය කෘති ඇසුරු නොකරන පාඨකයන් අතරය. මෙය මුළුමනින් පරස්පරයකි. එහෙත් මෙසේ වූයේ ඇයි? ඒ, අනෙකක් නිසා නොව ඔහු නවකතාව, කවිය හා විචාරය වරදවා ගැනීම නිසාය.

නිසැකවම අමරසේකර නවකතාව අවබෝධ කරගත්තේ වැරදියටය. පෙර කී පරිදි ඔහු නවකතාව හැඳින්වූයේ සමාජ දේශපාලනයේ උත්තර සංවාදයක් ලෙසය. එහෙත් නවකතාව යනු ජීවිත විවරණයක් විනා අනෙකක් නොවේ. උත්තර සංවාදය යන්න ඊට ඈඳාගත යුතු නම් එය කිව හැක්කේ ජීවිතය පිළිබඳ උත්තර සංවාදයක් ලෙසය. සියලු සාහිත්‍ය කලා ශානර – නවකතාව, කෙටිකතාව, කවිය – ජීවිත විවරණ මාධ්‍ය විනා සමාජ දේශපාලන සංවාද නොවේ. සමාජ දේශපාලන සංවාදය අදාළ වන්නේ දේශපාලන ලියවිලි හා එම විචාර වලටය. සාහිත්‍ය සංවාදය හැම විටම සමාජ දේශපාලන සංවාදයෙන් ඉහළ තලයක පිහිටන්නකි. අනෙක් අතට සාහිත්‍යකරුවා ජීවිතයේ අඳුරු පක්ෂයට කිඳාබසින තරමට ඔහුගෙන් සමාජ දේශපාලන සංවාදයක් විය හැකිය. ෆ්‍රාන්ස් කෆ්කාගේ ‘නඩු තීන්දුව’, ‘බළකොටුව’, ‘රූපාන්තරණය’ වැනි කෘති ඔස්සේද fදාස්තොයෙවුස්කිගේ ‘අපරාධය හා දඬුවම’, ‘කරමසෝ සහෝදරයෝ’ වැනි නවකතා ඔස්සේද ජැක් ලන්ඩන්ගේ ‘වන පෙත අඬගසයි’ හා මිහායිල් බුල්ගකොව්ගේ ‘බල්ලෙකුගේ හදවත’ වැනි නවකතා ඔස්සේද සිදු වන්නේ එයයි. අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ නවකතාව ගැන ලියමින් සරච්චන්ද්‍ර “ජීවිතයේ ඇතුල් පැත්ත විදහා දක්වන සාහිත්‍යකරුවා එයින් සදාචාරයට මඟ පාදා දෙයි” යනුවෙන් කියා සිටින්නේද මෙයයි.

අමරසේකර නවකතාව ඔහුගේ විචාර ආස්ථානයේම පිළිබිඹිවක් නිසා ඔහුගේ විචාර ග්‍රන්ථද මේ ඌනතාවෙන් පෙළුණේ වේ. එනම් ඒවා සාහිත්‍ය කලාව වැරදියට අර්ථකථනය කළ කෘති විය. ඉන් සිදු වූ එකම සාධනීය දේ එමගින් එම මාධ්‍ය ගැන යළි විමසීමක් සිදු වීම පමණය.

එහෙත් කාව්‍යය සම්බන්ධයෙන් ඔහු සිටියේ නවකතාවට ප්‍රතිපක්ෂ මතයේ නිසා ඔහු කවියෙන් නවකතාවට වඩා ඉදිරි පියවර තැබුවේය. කාව්‍ය විචාරයද නවකතා විචාරයට වඩා ඉදිරි තැනක විය. ඔහුගේ ‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය’ කෘතිය යම් යම් සීමාවල සිර වුවද සිංහල කාව්‍ය විචාරයට සැලකිය යුතු මෙහෙයක් කරන්නේ මෙනිසාය.

● අභ්‍යන්තර පෙරණය

ඔහුගේ කෙටිකතා සමස්තය සැලකූ කල නවකතාවලට වඩා සාහිත්‍යමය අතින් පොහොසත්ය. ‘රතු රෝස මල’, ‘ජීවන සුවඳ’, ‘ගල් පිළිමය හා බොල් පිළිමය’, ‘පිළිම ලොවයි පියෙවි ලොවයි’ හා ‘විල්තෙර මරණය’ යනාදී කතා සංග්‍රහ එහිදී වෙසෙසින් ඇගයිය හැකි අතර ඉනිදු ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ කතා එකතුව සිංහල කෙටිකතාවේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. එහෙත් කෙටිකතාව සම්බන්ධයෙන්ද ඔහු දැරූයේ නවකතාවට වෙනස් ලෙස නොවේ. එනම් එයද සමාජ දේශපාලන උත්තර සංවාදයක් ලෙසය. කෙසේ වුවද පුදුමයකට ඔහුගේ නවකතාවේ – ඇත්ත වශයෙන් ‘කරුමක්කාරයෝ’, ‘යළි උපන්නෙමි’ හා ‘දෙපා නොලද්දෝ’ යන පේරාදෙණි නවකතාවලින් බැහැර කෘතිවල – දක්නට ලැබෙන දැඩි සාහිත්‍ය කලාවෙන් බැහැර පක්ෂය ඔහුගේ බහුතර කෙටිකතාවල දක්නට නැත. හේතුව ඔහු කෙටිකතාකරණයේදී සමාජ දේශපාලනය වුව දැඩිව තමාගේ කරගෙන ඒ ලිවීමේ – අභ්‍යන්තර පෙරණයේ – නිරත වීමය.

සාහිත්‍යකරුවකු කවර දෙයක් ලීවද එය සාර්ථක වන්නේ ඒ ලියන දේ ඔහුගේ අභ්‍යන්තරයේ කොටසක් වන විටය. සාමාන්‍යයෙන් සමාජ හා දේශපාලන සංසිද්ධීන් කතාකරුවකුගෙන් පරිබාහිරයේ පවතින දේය. ඔහු ඒවා දකිනවා මිස ඒවා ඔහුගෙ ජීවිතයේ කොටසක් වන්නේ නැත. එහෙත් අමරසේකර මින් සපුරා වෙනස් විය. සාමාන්‍යයෙන් කෙනෙකුට පරිබාහිර හා නොදැනෙන සමාජ දේශපාලන සංසිද්ධීන් ඔහුට ඔහුගේම බවට පත් විය. මෙනිසා ඔහු නවකතාව හා කෙටිකතාව වැරදියට අවබෝධ කරගත්තද ඔහුගෙන් සාහිත්‍යමය අතින් උසස් කතා බිහි විය.

මේ සියල්ල තිබියදී වුව වැදගත්ම කරුණ අමරසේකර නොනැවතී සාහිත්‍යකරණයේ නියුතු වීමය. වයසින් අවුරුදු
93ක් වන ඔහුගෙන් දැන් තවද නවකතාවක් බිහි වී ඇත. දැනට පොදු පාඨකයනට ඒ කියවීමේ ඉඩ අල්ප වුවත් එයද සිංහල සාහිත්‍ය කතිකාව පෝෂණය කරනු ඇති බවට සැක නැත. එසේම තවද කලක් ඔහුගෙන් සිංහල සාහිත්‍යය පොහොසත් වේවායි ප්‍රාර්ථනා කරන්නේ ඔහුගේ සෑම කෘතියක්ම නිදිමැරුණු සාහිත්‍ය කතිකාව සසල කරන නිසාය.
● රවීන්ද්‍ර විජේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment