අමර සිරිත… සිංහල ගීතයේ වසන්තය

270

ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහයන් සංස්කරණය කරන ලද ‘ගී සර මුවරද අමරදේව’ ග්‍රන්ථයෙනි.

අමරදේව නම් මහා ගාන්ධර්වයාණෝ, වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් ක්‍රි.ව 1927 දෙසැම්බර් මස 05 වැනිදා අටදෙනකු සිටි පවුලක අන්තිමයා ලෙස මොරටුවේ කොරලවැල්ලේ දී මෙලොව එළිය දුටහ.

ඇල්බට්ගේ ලොකු අයියා වන ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා කොරලවැල්ලේ සිට මරදානට යමින් ඇම්. ජී. පෙරේරා නමැති මහා සංගීත ශාස්ත්‍රඥයා වෙතින් සංගීතය හදාරන්නට පටන් ගත්තේ ය. එමතු නොව, ඔහු සංගීත පවසින් පෙළෙමින් සිටි ඇල්බට් නමැති පවුලේ බඩපිස්සාට තමා උගත් රාග තාල කියා දුන්නේය.

දැන් ඇල්බට්ගේ වයස අවුරුදු හතකි. ජිනෝරිස් බාස් උන්නැහේ ඇල්බට්ගේ අනාගතය, අනාගත වක්තෘවරයකුගේ ඇසින් දුටුවා සේ, සියතින් තැනූ වයලීනයක් ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය. සිය වැඩිමහලු සොහොයුරාගේ ගුරුහරුකම් ලබමින් වයලීන වාදනය ඉගෙන ගන්නට පටන්ගත් ඇල්බට්ට, සද්ධර්මෝදයේ තවත් ගුරුවරයකුගෙන් ලොකු පිටිබලයක් ලැබුණි. ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී. ටී. ප්‍රනාන්දු) නමින් “අශෝකමාලා” චිත්‍රපටයට ගීත රචනා කළේ මොහුය. මේ ඇදුරුතුමෝ තමා විසින් ලියා රඟ දක්වන ලද නාට්‍යවලට ද සංවිධානය කරන ලද ගායනා තරගවලට ද ඇල්බට් සම්බන්ධ කරගත්හ.

ඇල්බට් පස්වැනි පන්තියට පැමිණෙද්දී ඩබ්ලිව්. ජී. ප්‍රනාන්දු නමැති සංගීත ගුරුවරයා කළුතර සිට කොරලවැල්ලේ සද්ධර්මෝදයට පත් වී ආවේය. මේ වනවිට, කුඩා ඇල්බට් ජපන් මැන්ඩලීනය වැයීමෙහි ද සමතෙක් විය. පස්වැනි පන්තියේ සිටි මේ කුඩා ගෝලයා ගැන අලුතින් පත්ව ආ සංගීත ගුරුවරයා බෙහෙවින් පැහැදුණි. තමා නැති අවස්ථාවල දී පන්තියේ සංගීතය ඉගැන්වීමේ කටයුතු පවා ගෝලයාට පවරන ලදී. ඇදුරුතුමා ගෝලයා සමග හින්දි චිත්‍රපට බලන්නට ද ගියේය. ජපන් මැන්ඩලීනයත් කරේ එල්ලා ගෙන චිත්‍රපට බලන්නට ගිය ඇල්බට් – දේවිකා රාණි, අශෝක් කුමාර් ආදීන් රඟපෑ හින්දි ගීත තිරයේ පතිත වෙද්දී මැන්ඩලීනය වයමින් තව තවත් සිය අත හුරුකර ගත්තේය.

ඇල්බට් දැන් පසළොස් හැවිරිදි ගැටවරයෙකි. වයසට වඩා වැඩුණු ඔහුගේ සංගීත කුසලතා, කොරලවැල්ලෙන් ඔබ්බට පැතිර යමින් තිබිණ. ඔහුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට පාසල් හතරක් ඉදිරිපත් විය. එනම්, පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, බළපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය, කළුතර විද්‍යාලය සහ මොරටු විද්‍යාලයයි. ඇල්බට් සද්ධර්මෝදයෙන් පානදුරේ සුමංගලයට ඇතුළත් වූ නමුත්, එහි හටගත් පන්ති වර්ජනයක් හේතුකොටගෙන මොරටු විද්‍යාලයට එන්නට ඔහුට සිදු විය. ඇල්බට් ප්‍රථම වරට ‘වයර්ලස් කන්තෝරුවට’ පිය මැන්නේ මොරටු විද්‍යාලය ඔස්සේය’ මොරටු විද්‍යාලයේ කවි තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගත් ඇල්බට්ට, ගුවන් විදුලිය ඔස්සේ ඒ කවි රටට ම ඇහෙන්නට ගායනා කිරීමේ භාග්‍යය ද උදා විය. මොරටු විද්‍යාලයෙන් කළුතර විද්‍යාලයටත්, කළුතර විද්‍යාලයෙන් බළපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයටත් යමින් ශිල්ප ශාස්ත්‍ර හදාළ ඇල්බට්ට පසු කාලයේදී ඔහුගේ ජීවිතයේ පහන් ටැඹ බවට පත් වූ මොහොමඩ් ගවුස් මාස්ටර් මුණ ගැසුණේ මේ අතතුරේදීය.

ඒ වනවිට ගවුස් මාස්ටර් “අශෝකමාලා” චිත්‍රපටයෙහි සංගීත සම්පාදන කටයුතුවල නියැළෙමින් සිටියේය. ඒ බම්බලපිටියේ ජයා පාරේ ශාන්ති කලා නිකේතනය නම් ස්ථානයෙහිය. චිත්‍රපටයෙහි අධ්‍යක්ෂවරයා වූයේ, එවක ප්‍රවීණ නර්තන ශිල්පියකු ලෙස ප්‍රකටව සිටි ශාන්ති කුමාර්ය. මොරටුවේ ජෙරාඩ් ජේ. පීරිස් සමග ශාන්ති කලා නිකේතනයට ගිය ඇල්බට්, ගවුස් මාස්ටර් දැන හඳුනා ගත්තේය. ගවුස් මාස්ටර්, තරුණ ඇල්බට්ගේ කුසලතා හැඳින්නේය. සිය සංගීත චාරිකාවෙහි සොඳුරු නවාතැන්පොළ හමුවිණැයි ඇල්බට්ට සිතිණ. පාසල් ගමන අත්හළ ඔහු, ගවුස් මාස්ටර්ට සුරුට්ටු මිටියකුත් රැගෙන දිනපතා බම්බලපිටියට යන්නට එන්නට පටන් ගත්තේය. ඇල්බට්ගේ අසාමාන්‍ය දස්කම්වලින් ගවුස් මාස්ටර් කෙතරම් පැහැදුණේ ද යත්, ඔහු අශෝකමාලා චිත්‍රපටය සඳහා නිර්මාණය කළ ‘ශාන්ත මේ රාත්‍රියේ’, ‘ප්‍රීති ප්‍රීති’, ‘ඇයි කරේ යමෙක් ආලේ’ ආදී ගීතවල ආමුඛ සංගීත භාණ්ඩ හා අතුරු සංගීත භාණ්ඩ නිර්මාණය කිරීම ඇල්බට්ට පැවරුවේය.

අශෝකමාලා චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා මදුරාසිය බලා යන චිත්‍රපට කණ්ඩායමට ඇල්බට් ද ඇතුළත් කර ගන්නා ලදී. දකුණු ඉන්දියාවේ කොයිම්බටෝර්හි නීලගිරි සෙන්ට්‍රල් චිත්‍රාගාරය බලා පිටත්ව යන දින උදෑසන, ඇල්බට් ගුවන්විදුලි පටිගත කිරීමකට ද සහභාගි විය. ඒ සුනිල් ශාන්තයන්ගේ ‘ආදර නදියේ පීනමු පිරියේ’ සහ ‘මෙතරම් සුවඳැති මල් ඇයි මෙලෙසින් අකලට පරවනුයේ’ යන සුමියුරු ගීවලට වයලීන වාදනයෙන් සහභාගි වෙමිනි. සෙන්ට්‍රල් චිත්‍රාගාරයට ගිය ඇල්බට්, දිවා රෑ නොබලා චිත්‍රපටයේ සංගීත කටයුතු සඳහා ගවුස් මාස්ටර්ට සහාය විය. එපමණක් නොව එහි තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’ යන ගී දෙක ද ගායනා කළේය. 1947 අප්‍රේල් 09 වැනි දින දෙවැනි සිංහල චිත්‍රපටය ලෙස ‘අශෝකමාලා’ තිරගත වෙද්දී, ඇල්බට් පුදුමයෙන් පුදුමයට පත් වූයේ තමාගේ ගායනය හෝ රඟපෑම සම්බන්ධයෙන් නොව, නාමාවලියෙහි ‘සහාය සංගීත අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා’ යන නාමය සඳහන් වී තිබෙනු දැකීමෙනි. ගවුස් මාස්ටර් නම් සංගීත ඇදුරිඳු තමා අභිමුවෙහි සංගීත පෙළහර පෑ දාහත් හැවිරිදි ගැටවර ගෝලයාට උපහාර පිදුවේ ඒ අයුරිනි.

‘අශෝකමාලා’ චිත්‍රපටයෙන් චිත්‍රපට ගායකයකු වූ ඇල්බට් ‘රසයි කිරි නෑ දියාරූ’ නම් වූ ගීය ගැයීමෙන් ග්‍රැමෆෝන් තැටි ගී ගායකයකු බවට ද පත් විය. එය ද සිදු වූයේ අහම්බෙනි. යූ. ඩී. පෙරේරා ලියූ එම ගීය සිරිමතී වෙත්තසිංහ නමැති ගායිකාව සමග ගායනා කරන්නට නියමිතව තිබුණේ වෙනත් ගායකයකුටය. එහෙත් බොහෝ වාරයක් උත්සාහ කළ ද එම ගායකයා ගීය නිවැරදිව ගායනා නොකළ බැවින්, එහි සංගීත අධ්‍යක්ෂණය භාරව සිටි ගවුස් මාස්ටර් විසින් සිය වාදක මණ්ඩලයෙහි වයලීනය වාදනය කරමින් සිටි ඇල්බට් ඒ සඳහා යොදවන ලදී.

මේ අතර ඇල්බට්ගේ කුසලතා තවත් බොහෝ කලා කාර්යයන් කරා විහිද යන්නට විය. ඔහු චිත්‍රසේන, ප්‍රේමකුමාර වැනි දැවැන්ත නර්තනවේදීන්ට සංගීත රචනා කළේය. මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට සංගීතය සම්පාදනය කරමින් ගීත ද ගායනා කළේය. සරච්චන්ද්‍ර හමුවෙන් ඇල්බට්ගේ ජීවිතය මත ප්‍රබල ආලෝක ධාරාවක් පතිත විය. මේ අතර ගුවන්විදුලියෙහි ගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.

සිනමාව ගර්භිත කලාවක් බවට පත්ව තිබුණ එසමයෙහි ඇල්බට් වැනි දක්ෂයකු සිනමා සංගීතයට ඇබ්බැහි වීමෙන් වැනසෙතියි යන හැඟීමක් මේ වනවිට ඇතැම් සංගීත ශාස්ත්‍රඥයන් තුළ ඇති වෙමින් තිබිණ. භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයෙන් සංගීත හා වාද්‍ය උපාධි ලැබ පැමිණ සිටි ලයනල් එදිරිසිංහ ඔවුන් අතරින් කෙනෙකි. ඇල්බට් ඉන්දියාවට යවා සංගීත ශාස්ත්‍රය විධිමත්ව ඉගැන්විය යුතුය යන්න එදිරිසිංහයන් ඇතුළු බොහෝ දෙනාගේ මතය විය.

එහෙත් මුදල් හදල් කොයින්ද? මේ සඳහා පුරෝගාමී වූවාහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ ‘ලංකාදීප’ පත්‍රයේ කර්තෘ තැන්පත් ඩී. බී. ධනපාල යන සූධීහුය. ‘ලංකාදීප’ පත්‍රය මගින් ඇල්බට් පෙරේරා අරමුදලක් ආරම්භ කරන ලදී. ඒ අරමුදලින් ඇල්බට් ඉන්දියාවට ගියේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ඇල්බට් පෙරේරා යන පර නාමය වෙනුවට පිරිනමන ලද ‘අමරදේව’ යන රමණීය නාමය ද රැගෙනය.

ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත් වූ අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලි ඛාන්, ජී. ඇන්. නාතු, විනායක් මුකුන්ද් ලෙලේ, කදම්බජී රංග රාවෝ වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගත්තේය. ඔවුන් වෙතින් ශ්‍රැති ඥානය ද රාග ඥානය ද තාල ඥානය ද ළය ඥානය ද අකුරට ම උගත්තේය. අමරදේවයන් සිය ගුරුවරු වෙතින් ලබාගත්තේ, හුදු ශිල්ප ඥානය පමණක් නොවේ. ප්‍රේක්ෂකයන් පිරිසක් අබියස ශිල්ප සංදර්ශන පෑමේ ඥානය ද ඔහු ලබාගත්තේය. අදත් දහස් ගණන් ජනී ජනයා උතුරන නොසන්සුන් ප්‍රේක්‍ෂකාගාර, හෙතෙම එක මොහොතින් සිය අණසක යටතට ගන්නේ, සිය ගැයුම වැයුම මතු නොව, ඒ අති විරල ශිල්ප සංදර්ශන පෑමේ ඥානය ද උපයෝගී කරගෙනය. මෙසේ ශිල්ප ශාස්ත්‍ර හදාළ අමරදේවයෝ සමස්ත ඉන්දීය වයලීන වාද්‍ය ශිල්පී තරගයෙන් ප්‍රථම ස්ථානය (1956) දිනාගත්හ. සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය (1956) ලබාගත්හ. එහෙත් එතුමෝ කිසිදු ගුරු කුලයකට හෝ ඝරාණාවකට හෝ ඉඳුරා අවනත නොවූහ. නිදහස් ශිල්පියෙක්ම වූහ.

1959 දී සිතූ පැතූ අයුරින්ම අරමුණු සාක්ෂාත් කොටගෙන පෙරළා පැමිණි අමරදේවයෝ, එතැන් පටන් ස්වකීය සංගීත චාරිකාව විධිමත්ව ආරම්භ කළහ. ඒ වනවිට ගුවන්විදුලිය, ග්‍රැමෆෝනය, චිත්‍රපට ඔස්සේ පැතිර යමින් තිබුණු හින්දි, දෙමළ, ඉංග්‍රීසි අනුකාරක සංගීතය ඔහු මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. ඔහු සිය පූර්වගාමීන් වූ ආනන්ද සමරකෝන්ගේ හා සුනිල් ශාන්තයන්ගේ සංගීත මංපෙත් ගැන අවධානය යොමු කළේය. සමරකෝන්ගේ ආභාසය ලබමින් ‘සීගිරියේ සිතුවම් රමණි’ වැනි ගී ද සුනිල් ශාන්තගේ ආභාසය ලබමින් ‘ශාන්ත මේ රෑ යෑමේ’, ‘පීනමුකෝ කළු ගඟේ’ වැනි ගී ද ගායනා කළේය. එහෙත් සමරකෝනුත් සහ සුනිලුත් අනුදත් ‘දේශීය සංගීත සංකල්පය’ ඔහු විසින් ඉඳුරා නොපිළිගන්නා ලදී. දේශීය සංගීත මාර්ගයක් සකස් කර ගැනීමට නම්, භාරතීය සංගීතය මහා සම්ප්‍රදාය ලෙස ගෙන, ජන සංගීතය චූල සම්ප්‍රදාය ලෙස සලකා, මහා සම්ප්‍රදාය ඇසුරින් චූල සම්ප්‍රදාය පෝෂණය කළ යුතු බව අමරදේවයෝ ප්‍රත්‍යක්ෂ කරගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ස්වකීය නිර්මාණ ජාලය වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය, සිනමාව, ගුවන් විදුලිය සිසාරා මුදා හළහ.

අමරදේව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කලා ප්‍රබෝධය කූටප්‍රාප්තියට පත් කාලයෙහි, මහාචාර්ය ගුණපාල මලලසේකරගේ සභාපතිත්වයෙන් යුතු ‘මේලා’ වැඩසටහන් මාලාවෙහි උපදේශකයකු ලෙස කටයුතු කළේය. 1958 දී සෝවියට් රුසියාවේ මොස්කව් නුවර පැවැති ශ්‍රී ලංකා සංස්කෘතික දූත පිරිස නියෝජනය කළේය. 1959 දී ඉන්දියාවට ගිය ප්‍රථම නිල සංස්කෘතික දූත ගමනෙහි දී සංගීත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 1971 දී මාලදිවයින් රජයේ ආරාධනයෙන් මාලදිවයිනෙහි ජාතික ගීය නිර්මාණය කළේය. 1973 දී බර්ලින්හි දී පැවැත්වුණු අන්තර් ජාතික සංගීතෝත්සවයෙහිදීත්, ඉන්දියාවේ පුනාහි පැවති අන්තර්ජාතික සංගීතෝත්සවයෙහිදීත්, ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 1980 දී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ‘සංවර්ධන සන්නිවේදනය සඳහා නිර්මාණාත්මක සංගීතය’ යන මැයෙන් පැවැත්වුණු සංගීත සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔහුය.

1982 දී පකිස්තානයේ ඉස්ලාමාබාද් හි ආසියා පැසිපික් ප්‍රාන්තවල සංගීත සම්ප්‍රදාය යන මැයෙන් පැවැත් වුණු සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔහුය.

ස්වකීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන ආදිය අනල්පය.

අමරදේව නම් ගී උල්පතින් ගලා ආ සුරස ගීත සම්භාරයෙන් දැන් දශක ගණනාවක් තිස්සේ මෙරට රසිකයෝ ඔකඳව සිටිති. ඔහු විසින් තනු නිර්මාණය කොට ගයන ලදුව මේ මොහොතේදී අපගේ මතකයට නැඟෙන ගී කිහිපය පමණක් බැලුව මැනවි. වඳිමු සුගත ශාක්‍යසිංහ, කුසුම් පිපී අතු පතරේ, සතර දිගන්තේ, මුනි සිරිපා සිඹිමින්නේ, නිල් මානෙල් මල් පිපුණා, මහ බෝ වන්නම, සේසත් නංවා සෙමරද සොලවා, ශෝකය පොදි බැඳි අඳුරු වලාවෝ, හඳපානේ වැලි තලා, සසර සැරි සරා, දස පාරමී දම් පුරා, ජගන් මෝහිණි මධුර භාෂිණී, මින්දද හී සර වැදි සැළෙන හද, ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්, සිරිපා පියුමේ රොන්සුණු තැවරේ, බමරෙකු ආවයි නිරිත දිගේයා, සිරි පද ලද සමනොල සිරසේ, සන්නාලියනේ, ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා, මළ හිරු බසිනා සැන්දෑ යාමේ, ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා, බුද්ධ දිවාකරයාණෝ, ඉරහඳ පායන ලෝකේ, රත්නදීප ජන්ම භූමි, කැලේ ගහක මල් පිපිලා, පෙර දිනයක මා පෙම් කළ යුවතිය, නිරිඳුනි මේ මහ සීගිරි කූටය, බින්දු බින්දු රන් ගෝමර මාලා, මිහිරියේ ගැමි ළඳේ, රන් දහදිය බින්දු බින්දු, වක්කඩ ළඟ දිය වැටෙන තාලයට, හෝයියා හෝයියා, නිවහල් සිතුවිලි සිතණා සිතත් උදාරයි, ගිලෙම් ඔබේ ගුණ මුහුදේ, ගමට හිටිය එක රුවන්මලී, කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ, ඔබේ නමින් සෑය බඳිමි, ඈත කඳුකර හිමව් අරණේ, ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ, ඔබේ දෑසයි ඔබේ දෑසයි, ඇඟිලි තුඩුයි ගල් කටුවයි බොදු බැතියයි එක් වෙලා, ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන, සිහින නෙළුම් මල ජීවිත පොකුණේ, රන්වන් කෙත නෙළන ලියේ, මල්ගොමු ගුමු ගුමු ගන්වන්නී, සත්කුළුපව් වළලු මතින්, සක්විති කිත්රැස යුත් සිරි ලංකා, මනකල් හද විල් තලයේ, ප්‍රේම තටාකේ මේකයි මැණිකේ, අඩවන් වූ දෙනෙතින් ගලනා, පටු අදහස් නම් පවුරින් ලෝකය, අතු අග දිලි වනමල්, පාළු අඳුරු නිල් අහස මමයි, අමා ගඟ ගලාලා, ආලෙ බැන්ද මාගෙ පණේ සෝමාවතී, සසර වසන තුරු යනා දී ගී මාලාව සසර වසන තුරුත් අපට අමතක වේද?

සිය ගීත ප්‍රාර්ථනයේ අයුරින්ම අමරදේවයෝ පිංකෙත හෙළ රන් දෙරණේ යළි ඉපදීම පිණිස වර්ෂ 2016 නොවැම්බර් තුන්වැනිදා නික්ම ගියේ අසූ අට වසරක් ආයු වළදාය.

ඒ අවස්ථාවේ දිවයින ඉරිදා සංග්‍රහය සඳහා අනුරාධ හිරිපිටියගේ ලියූ කවියෙන් මෙම ලිපිය අවසන් කරමු.

අමර සිරිත... සිංහල ගීතයේ වසන්තය

ඡායාරූපය – දයාන් විතාරන

අමර සිරිත... සිංහල ගීතයේ වසන්තය

advertistmentadvertistment
advertistmentadvertistment