අම්පාරේ ගොවීන් යල කන්නයේ වී වගාව අත්හරියි?…

282

වම් පෙර කන්න රැස්වීම පොහොර දෙන්නෙ නැත්තං වගා නොකරන බව පවසා පෙර කන්න රැස්වීමෙන් නැගිට යති

නියමිත කලට පෙර මොන පොහොරක් හරි දුන්නොත් අපි වගා කරනවා

කුඹුරු වගා නොකර අපේ දරු පවුල් ජීවත් කරන්නේ කොහොමද?

ගොවි නායකයෝ කුඹුරු වර්ජනයට යද්දි ගොවීහු යල කන්නයේ වගාවට බිම් සකසති

පසුගිය මහ කන්නයේ වී ගොවිතැන අර්බුදයෙන් අර්බුදයට පත්වන්නට විය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබාදීමෙන් විශාල අස්වැන්නක් වී වගාවෙන් අහිමි වන්නට විය.

රසායනික පොහොර වෙනුවට අපට කාබනික පොහොර යොදා වගා කරන්නට හැකිනම් එය ඉතා හොඳ කටයුත්තකි. ජනාධිපතිවරයා සිතන ආකාරයට අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහිකිරීමට හැකිවනු ඇත. ජනයාට ලෙඩ රෝගවලින් බේරීමට හැකියාවක් ලැබෙනු ඇත. නමුත් ගහෙන් ගෙඩි එන්නාසේ රටේ සමස්ත වී ගොවියා කාබනික වගාවට යොමු කිරීමට යෑමෙන් රට තුළ බලවත් අර්බුදයක් පැන නගින්නට විය. පසුගිය මහ කන්නයේදී කඩිමුඩියේ නිසි සැලැස්මක් නොමැතිව කාබනික වගාවට ගොස් රජය ඇනගන්නට විය. ගොවියාට කාබනික පොහොර යොදන්නේ කුමන ආකාරයෙන්දැයි නිසි උපදෙස් නොලැබුණි. මාධ්‍ය මඟින් පවා නිසි ආකාරයෙන් ගොවීන් දැනුවත් කිරීමක් සිදු නොවන ලදී. මේ වැඩ සටහනට සම්බන්ධ නිලධාරි පැලැන්තියද සිය යුතුකම මැනවින් ඉටු නොකළ නිසා ගොවීන් අන්ත අසරණ වෙන ලදී. ඒ නිසා බොහෝ ගොවීන් හිතු මනාපයේ කාබනික පොහොර වගාවන්ට යොදන ලදී. ඒ අතර රාජකාරි දේවකාරියක් සේ කරන ඇතැම් කෘෂිකර්ම හා ගොවිජන නිලධාරීන් කාබනික වගාව පිළිබඳ ගොවීන්ට නිසි උපදෙස් දී හොඳ අස්වැන්නක් ලබා දීමට යොමු කරවන ලදී. පෙර දී ගත් රසායනික පොහොර තිබුණ ගොවීන් මෙවර සිය වගාවට යොදා ඉහළ අස්වැන්නක් ලබා අලෙවි කර ඉහළ ආදායමක් ලබා ගන්නා ලදි.

පිහිය රත්තරන් වුවත් ඇනගත්තොත් සිදුවන්නේ විපතකි. කාබනික වගාව හොඳ වුවත් ආරම්භ කළ ආකාරය වැරදිය. මේ නිසා සිදුවූයේ විපතකි. රටේ ආර්ථිකය කඩා වැටෙන විට කෘෂිකර්මාන්තය ද කඩා වට්ටවා ගැනීම මේ අවස්ථාවේ බරපතළ ගැටලූවකි. ආණ්ඩුව තදින් කාබනික පොහොර වගාවට ගියේ පොහොර සහනාධාරය දීමට මුදල් නොමැතිකම නිසා බවද ඇතැමුන් චෝදනා කරති.

රටටම අවශ්‍ය කාබනික පොහොර එකවර නිෂ්පාදනය කිරීමට නොහැකි වූ අතර චීනෙන් ගෙනා කාබනික පොහොරද ප‍්‍රමිතියක් නැති බව කියමින් ආපසු හරවා යැවුවේ නොලැබුණු දේට සල්ලි මිටි මිටි ලබාදෙමිනි.

අවසානයේ සිදුවූයේ නටපු නැටුමකුත් නැත බෙරේ පලූවකුත් නැත වැනි වැඩකි. ගොවීන්ට ලැබුණු කාබනික පොහොරවල ප‍්‍රමිතිය පිළිබඳව ද ගැටලූවක් තිබුණි. ගොවීන්ට කාබනික පොහොර තමන් විසින් සකස් කර ගන්නට කියා උපදෙස් දුන්නේය. එයද හිතූ තරම් සාර්ථක නොවිණි.

නමුත් ගොවීන් කාබනික පොහොර සැදීමට යද්දි වැව්වල තිබුණ ජලජ පැළෑටි ගැනීම නිසා වැව් සුද්ධ විණි. පාරවල් දෙපස කැලෑවට ගිය වැටහිරියා ඇතුළු කාබනික වගාවට අවශ්‍ය පැළෑටි සහ විවිධ අතු රිකිලි ගැනීම නිසා මාර්ග දෙපස තිබුණු කැලෑවද අතුරුදන්ව තිබුණි. ඒ නිසා ගොවීහු කාබනික පොහොර සකස් කරගන්නේ නම් ප‍්‍රතිලාභ කිහිපයක් හිමි වනු ලැබේ.

රජය ගොවීන්ට කාබනික වගාවට ගොස් හානියක් සිදුවුවහොත් වන්දි ලබා දෙන බව කීවේය. දිගාමඩුල්ල පුරවරයේ ගොවීන්ට තාමත් වන්දි නොලැබුණි.

අම්පාරේ ගොවීන් යල කන්නයේ වී වගාව අත්හරියි?…

පසුගිය මහ කන්නයේ සමස්ත රටේම කාබනික වගාව එකවරට යොමු නොකර අත්හදා බැලීමක් වශයෙන් ක‍්‍රමානුකූල පියවරෙන් පියවර මෙම වැඩසටහන කළා නම් රටපුරා මෙවැනි ව්‍යසනයක් සිදු නොවන්නට ඉඩ තිබිණි. ගොවියාගෙන් දැඩි විරෝධයක් පැන නැගෙන්නට ඉඩ නොතිබිණි. රජය ගත් හිතුවක්කාර තීරණයක් මත සමස්ත වී අස්වැන්න පසුගිය මහ කන්නයේ පහත වැටිණි.

ගොවියාට ඒ පාඩුව යන්තමින් හෝ පියවා ගන්නට, රුපියල් 55ට, 60ට තිබූ වී කිලෝවේ මිල රුපියල් 95 දක්වා ඉහළ යෑම තුළ හැකිව තිබුණි.

වල්නාශක සහ රසායනික පොහොර මේ පාරවත් එව්වේ නැත්නම් කොහොමද වගා කරන්නේ කීයමින් බොහෝ දෙනෙක් විවිධාකාර අදහස් දක්වති. ඒ අතර තැන් තැන් වලින් කාබනික පොහොර යොදා හොඳ අස්වැන්නක් ලබා ගත් ගොවියන්ද නැතුවාම නොවේ.

කෙසේ නමුත් රටටම බත සපයන්නට මහා දායකත්වයක් දෙන දිගාමඩුල්ලේ ගොවි රජවරු මෙවර යල කන්නයට කෘෂි රසායනික වල් නාශක සහ පොහොර ලබා නොදෙන්නේ නම් මෙවර යල කන්නය වර්ජනය කරන බවට ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ද මාධ්‍ය මගින් ප‍්‍රකාශ කරමින් එළඹෙන යල කන්නයේ රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක දුන්නේ නැන්නම් අම්පාරේ ගොවීන් වී වගාව සිදු නොකර වර්ජනය කරන බව මාධ්‍යට ප‍්‍රකාශ කර තිබුණි.

පසුගියදා අම්පාර දිසාපති කාර්යාලයේ පැවති වම් ඉවුරේ ගොවීන්ගේ පෙර කන්න රැස්වීමේදී රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක මෙවර යල කන්නයේ දී ලබා නොදෙන්නේ නම් වී වගාව සිදු නොකරන බව පවසමින් ගොවි සංවිධාන නියෝජිතයන් එම රැස්වීමෙන් නැගිට ඉවත්ව යන ලදී.

අම්පාර දිස්ත‍්‍රික් රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුවේ සභාපති සී. එච්. කුමාර මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.

පසුගියදා ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර කමිටුවේ පෙර කන්න රැස්වීම තිබ්බා. එහිදී කිව්වා වතුර දෙන්නෙ දවස් පහයි. වල්නාශක නෑ. පොහොර නෑ. දින පහක් තුළ ගොඩට හාලා වගා කරන්න කටයුතු කරන්න කියලා කීවා. වගා කරන්න නම් අනිවාර්යෙන්ම වල් නාශක ඕනි. ඒ වගේම වතුර දින පහළවක් ඕනි. රසායනික පොහොර ඕනි. එහෙම දුන්නොත් තමයි අපි වගා කරන්නේ. නැතුව අපිට වගා කරන්න බෑ. අපිට තුන් වතාවක් පාඩු වුණා. ඉ`ගිනියාගල සේනානායක සමුද්‍රය මෙවර ජලය තිබෙන්නේ අක්කර අඩි තුන් ලක්ෂ හතළිස් නවදාහයි. ගිය කන්නයේ වතුර නැහැ කියලා කියද්දී මාසයක් වතුර දුන්නා. දැන් වතුර නැති නිසා දවස් පහෙන් හාලා වගා කරන්න කියලා කියනවා. නමුත් අපිට පොහොර වල්නාශක කෘමිනාශක නැතුව හොඳ අස්වැන්නක් ලබාගන්න බෑ. එම නිසා අපි මෙවර යල කන්නයේදී රසායනික පොහොර වල්නාශක කෘමිනාශක නොදෙන්නේ නම් වගා නොකරන ස්ථාවරයෙන් සිටිනවා. මම විශ්වාස කරනවා අපත් සමඟ අම්පාර පුරවරයේ දෙමළ, මුස්ලිම් සිංහල සමස්ත ගොවියන් එකතු වෙයි කියලා යනුවෙන් කුමාර මහතා පවසා සිටින්නට විය.

ඒ අම්පාර දිස්ත‍්‍රික් රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුවේ හඬයි.

අම්පාර බොහෝ ගොවි සංවිධාන නියෝජිතයන් මේ ආකාරයෙන් රසායනික පොහොර, වල් නාශක, කෘෂි නාශක නොදෙන්නේ නම් වගා නොකරන මතය ක‍්‍රියාත්මක කරනවාදැයි මඬේ සිට වූ ඉන්නක් මෙන් වැනි වැනි සිටිති.

සමහරු පවසන්නේ කාබනික පොහොර වුණත් කමක් නෑ අපට වෙලාවට දෙනවනං අපි වගා කරන්න සූදානම් බවය.

සක් නද සංවිධානය සභාපති නාමල්තලාව ශෛලබිම්බාරාමාධිපති ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගම්පහ නාරද හිමියන් නිරන්තරයෙන් සාමාජීය ගැටලූවට මැදිහත් වෙන හිමිනමකි. උන්වහන්සේ වත්මන් අර්බුදය පිළිබඳ මෙලෙස අදහස් දක්වන්නට වූහ.

අපේ ප‍්‍රදේශයේ ජනතාව ජීවත් වෙන්නේ ගොවිතැනින්. එක්වරම රජය මගින් රසායනික පොහොර නවතා දැමීම තුළ ගොවීන් අසරණ වුණා. ඔවුන්ගේ අස්වැන්න අඩු වුණා. කාබනික වගාව කොච්චර හොඳ වුණත් කාබනික පොහොර යෙදීම කඩිනමින් සිදු කළ ආකාරයේ අඩුපාඩු සහ ඉක්මන් බව නිසා, නිසි පරිදි ගොවීන් දැනුවත් නොකරපු නිසා මෙවර මහ කන්නයේ අස්වැන්න අඩු වුණා. නමුත් මට ගොවි මහත්තයෙක් ඇවිත් කියනවා වෙනදා මං මගේ කුඹුරෙන් වී මිටි 40 ක් ගන්නවා. මේ පාර ගත්තේ 27යි. වී අස්වැන්න අඩු වුණත් වී කිලෝව රුපියල් 95ට වික්ක නිසා ගිය කන්නේ වගේ ආදායමක් ගන්න පුළුවන් වුණා කිව්වා. නමුත් වී අස්වැන්න අඩු වුණත් මිල ඉහළ නිසා ලොකු පාඩුවක් නැති බවත් කීවා.

අම්පාරේ ගොවීන් යල කන්නයේ වී වගාව අත්හරියි?…

ඒ ආකාරයට අස්වැන්න අඩු වුණත් වී මිල ඉහළ යෑම තුළ ගොවීන්ට යම් සහනයක් ලැබී තිබෙනවා. නමුත් රටේ ආර්ථික වයසේ කඩා වැටුණු මොහොතක රටේම කෘෂිකර්මාන්තය පසුගිය මහ කන්නයේ දී කඩා වැට තිබීම නිසා බරපතළ ගැටලූවක් මතුවෙලා තිබෙනවා. රජය කෘෂි කර්මාන්ත නැවත පෙර තිබූ තත්ත්වයට ගෙන ඒම සඳහා යම් තරමකින් රසායන දෙන්නේ නම් මෙවර යල කන්නයේ ගොවීන්ට හොඳ අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්. එනිසා එක්වරම මේ රසායනික පොහොර තහනම් කරන්නෙ නැතිව ක‍්‍රමානුකූලව පියවරෙන් පියවරට කළා නම් මෙවැනි ගැටලූවක් ඇති වන්නේ නැහැ. එකපාරම ලංකාව කාබනික වගාවට ගියපුවාම ගොවීන් ඒ ගැන මෙලෝ දෙයක් දන්නෑ. නිලධාරීන් නිසි ආකාරයෙන් ගොවීන් දැනුවත් කළේ නැහැ. ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවට පත් කරන්න කටයුතු කළ ආකාරය අපි දුටුවා. ඒ නිසා රජය දැන්වත් නිසි ආකාරයෙන් තීරණ ගත යුතුයි. කෙසේ නමුත් නාමල්ඔය ගොවීන් බොහෝ පිරිසක් පවසන්නේ අපිට රසායනික පොහොර ලැබෙනවානම් හොඳයි. නමුත් නොලැබෙන්නේ නම් අපේ දරුවන්ගේ කුස ගින්දර නිවා ගන්නේ කොහොමද කියලා අහනවා. එනිසා ලැබෙන මොනා හරි පොහොර කලට වෙලාවට දුන්නොත් උපදෙස් දුන්නොත්, වතුර වෙලාවට දුන්නොත් අපි වගා කරනවා.

අද මොන දේ වුණත් වී ගොවියාට වී ගොවිතැනින් ඉවත් වෙන්න බැරි වෙලා තියෙනවා.

වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට රජය උපක‍්‍රමශීලීව කටයුතු කළ යුතුයි. හිතුවක්කාර තීන්දු තීරණ නොගෙන මේ අවස්ථාවේදී ගොවියා සහ රටේ අනාගතය පිළිබඳව කල්පනා කර තීරණ ගැනීම රජයේ හෙට දවසට සහ රටේ හෙට දවසට සුබවාදී වෙනු ඇති බව නාරද හිමිපාණන් අදහස් දක්වමින් පවසා සිටින්නට විය.

අපට නාමල්ඔය ප‍්‍රදේශයේදී හමුවූ නාමල්ඔය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සහ දක්ෂ ගොවියෙකු වන නිශාන්ත සම්පත් කුමාර මහතා මෙලෙස අදහස් දක්වන්නට වූවේය.

මම අක්කර තුනක් පසුගිය කන්නේ කරා. මට ලොකු පාඩුවක් තිබුණේ නෑ. අපි වගා නොකර මොනාද කරන්නේ. රසායනික පොහොර තිබෙනවා නම් වල්නාශක තියෙනවා නම් හොඳයි. නමුත් ඒවා නොලැබුනත් කාබනික පොහොර දුන්නත් අපි වගා කරනවා. අපිට හරියට මේ පාර වතුර දෙනවා නම් අපි වගා කරනවා. වගා නොකර කුඹුර පුරන් වුණොත් ටික දවසක් යද්දි කැලෑවෙන් කුඹුරු වැහිලා යනවා. එතකොට ඒ අපේ කුඹුර කැලෑ කපල සුද්ද කරලා සකස් කර දෙන්නෙ කවුද? ඒ නිසා අපි කුඹුරු කැලෑවට යට වෙන්න දෙන්නෙ නැහැ. වතුරු දුන්නොත් කවුරු උපවාස වර්ජන කරත් අපි යල කන්නයේ වී වගා කරනවා. ඒ ඇරෙන්න විකල්පයක් නෑ යනුවෙන් නිශාන්ත මහතා පවසා සිටින්නට විය.

නාමල්ඔය හත ගොවි සංවිධානය නියෝජනය කරන පී. විජේරත්න ගොවි මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

මම පසුගිය මහ කන්නයේ අක්කර තුනක් වී වගා කරා. වෙනදා වී මිටි අසූවක් ගන්න ඉඩමෙන් මේ පාර ගත්තේ මිටි විසිහයයි. අපිට නිසි උපදෙස් නිලධාරීන්ගෙන් ලැබුණේ නැහැ. කාබනික පොහොර භාවිතා කරල කොහොමද කරන්නේ කියලා. මෙවර ගොවි සංවිධාන කියනවා වගා කරන්නේ නැහැ කියලා. වතුර දුන්නොත් මම නම් කුඹුරු වගා කරනවා. මොකද අපි ගොවිතැනින් ජීවත්වන අය. ගොවිතැනට ආදරෙයි. රසායනික පොහොර නොලැබුනත් අපිට වගා නොකර ඉන්න බෑ. වර්ජනය කරන්න යන්නේ නැහැ. අම්පාරේ ගොවි සංවිධාන මොනා කිව්වත් මම කාබනික පොහොර හරි ගහලා වගා කරනවා. ගියපාරත් වගා කරන්නේ නැහැ කියලා උද්ඝෝෂණ කළ අය පස්සේ වගා කරා. මේ පාරත් ඔය වගා කරන්නේ නැහැ කියන අය පස්සේ වගා කරයි.

ගිය පාර රජයෙන් වෙච්ච අඩුපාඩු අයින් කරලා රසායනික පොහොර දෙන්නෙ නැත්තං කාබනික පොහොර හරි නිසි ආකාරයෙන් නිසි වෙලාවට ලබාදෙන්න, නිසි උපදෙස් ලබා දෙන්න, ගොවීන් දැනුවත් කරන්න. අපි කුඹුරු වගා කරනවා. ඒ ඇරෙන්න විකල්පයක් නෑ. කුඹුරු කැලේට යන්න ඉඩ දෙන්න බෑ.

පසුගිය කන්නේ වී වගාවට වෙච්ච හානියට වන්දි ඉක්මනට දෙන්න. එහෙම වුණොත් අපිට මේ කන්නේ වෙලාවට වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. වන්දි ලැබුනොත් කාගෙවත් බලපෑමට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව අපි වී වගාවේ යෙදෙනවා යැයි විජේරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටින්නට විය.

වත්මන් අර්බුද සොයා බැලීම සඳහා යද්දි හමූවු ඊ. ආර්. ජී. කරුණාදාස ගොවි මහතා ද මෙසේ පැවසුවේය.

වී ගොවිතැන අවුල් ජාලාවක් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගොවි සංවිධානවල අය කියනවා පොහොර දුන්නේ නැත්නම් අපි වගා කරන්නෙ නෑ කියලා. රජයෙන් නිසි ආකාරයෙන් සහනාධාර දුන්නොත් සහයෝගය දුන්නොත් වී වගාව සාර්ථක කර ගැනීමට පුළුවන්. වෙන කරන්න දෙයක් නැහැ. අපිට වී වගා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම කොම්පෝස්ට් හදලා තියෙනවා. මේ කන්නේ මගේ කොම්පෝස්ට් වලින් වගා කරන්න පුළුවන්. මගෙ කොම්පෝස්ට් යොදලා එළවළු වගා කරලා හොඳ අස්වැන්නක් ලබාත්තා. නමුත් ගියපාර වී වගාවේදී වී මිටි හැත්තෑවක් ගත්තා. මේ. පාර ගත්තේ වී මිටි 35යි. නමුත් මේ පාර නම් මගේ කොම්පෝස්ට් තිබෙනවා. ඒ නිසා මේ පාර අපි වර්ජනය කරන්නේ නැහැ යැයි කරුණාදාස මහතා පවසා සිටින්නට විය.

මේ ආකාරයට දිගාමඬුල්ලේ මිටියාවතේ ප‍්‍රදේශ කීපයක අපි සංචාරය කළත් ගොවි සංවිධානයේ නියෝජිතයෝ ද සිටින්නේ අවිනිශ්චිතවය. සමහර ගොවි සංවිධානය පවසා සිටින්නේ රසායනික පොහොර ලැබෙනවානම් හොඳයි. නමුත් නොදුන්නත් අපිට ලැබෙන දෙයකින් වගා කළ යුතු බව ය.

කෙසේ නමුත් ගොවි සංවිධාන නියෝජිතයන් හඬ නගමින් අරගල කරමින් රසායනික පොහොර කෘමිනාශක සහ වල්නාශක ඉල්ලා සිටින්නේ පෙර මෙන් හොඳ අස්වැන්නක් ලබා ගන්නටය.

ඒවා නොලැබුනත් වගා නොකර වර්ජනය කරන බව ද ඔවුන් පවසා සිටියත් බොහෝ ගොවීන් පවසා සිටින්නේ අපිට වතුර දෙනවා නම් අපි වගා කරනවා යන අදහසයි.

මේ වන විටත් අම්පාර දිස්ත‍්‍රික්කය පුරාවට බොහෝ ගොවීන් පසුගිය දිනවල වැසි ඇද වැටීම නිසා සිය කුඹුරු සී සෑම වැව් වලින් ජලය දෙන්නට ප‍්‍රථම අරඹා ඇත.

ඒ නිසා ගොවි සංවිධාන නියෝජීතයන්ගේ වර්ජනය සාර්ථක නොවන තැනකට පත්වෙමින් තිබෙන බව දිගාමඩුල්ල මිටියාවත පුරා සංචාරය කරන අයෙකුට පෙනෙනු ඇත.

ඒ නිසා රජයේ යුතුකමක් වන්නෙ නිසි ආකාරයෙන් කාබනික වගාවට උපදෙස් දී ගොවියා රැකගැනීමට කටයුතු කිරීමය. ගොවිතැනින් ජනතාව ඈත් නොකර තියා ගැනීමට කටයුතු කිරීමය.

දිගාමඬුල්ලේ ගොවි රජවරුන්ගේ, අරගලය රජය මැනවින් සිහියට ගත යුතුව තිබේ. යල කන්නයේදී ගොවීහු වගා කරන්නේ එසේ නොකළහොත් කුසගින්නේ සිටීමට ඔවුන්ට සිදු වන නිසාවෙනි. එලෙස කරන්නේ වෙනත් විකල්පයක් නැතිකම නිසාය.

දිගාමඩුලූ ගොවි රජවරු රැක ගැනීම රජයේ වැඩකි. නිසි ලෙස ක‍්‍රියා නොකර නිලධාරී බුරුත්ත එකට එකතු කරගෙන මහකන්නයේදී මෙන් නාගන්නේ නැතුව දිගාමඩුලූ ගොවියා ගොඩ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ අදාළ නිලධාරීන්ට හැකි නොවුණහොත් හෙට දවසේ දිගාමඩුල්ලේ ආර්ථිකය පමණක් නොව රටේ ආර්ථිකයද වළපල්ලට යනු ඇත.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment