අම්පාර අහසේ නූල් වැනි දෙයක් පාවෙයි

571

අම්පාර දිස්ත‍්‍රික්කය පුරා පෙදෙස රැසක ඉහළ අහසේ පෙරේදා (02දා) උදෑසන 8.00 සිට දහවල් වන තෙක් නූල් වැනි දෙයක් පාවී ගිය බව ප‍්‍රදේශවාසීහු පවසති. අම්පාර, උහන, හිඟුරාණ, පාදාගොඩ, දෙහිඅත්තකණ්ඩිය වැනි ප‍්‍රදේශ රැසක ඉහළ අහසේ නූල්වලට සමාන ද්‍රව්‍යයක් මෙසේ පාවී ගොස් තිබේ.

මේ පිළිබඳව ‘දිවයින’ට අදහස් දැක්වූ දමන දිවියාගල පදිංචි කේ. ලලිත් කුමාර මහතා මෙසේ පැවසීය.

‘‘උදේ අටේ ඉඳන් දවල් දොළහ වෙනකම් අහසේ නූල් වගේ මකුළුදැල් වගේ දේවල් පාවෙලා ගියා. සමහර ඒවා පුළුන් කුට්ටි වගේ පාවෙලා ගියා. ඉහළ අහසේ පැය හතරක් විතර දිගින් දිගටම මේවා පාවෙලා ගියා. මොකක්ද කියලා හිතාගන්න බෑ’’

‘‘මකුළු දැල්වලට සමාන දිග දිග නූල් වගේ පාවෙලා යනවා හොඳට පෙනුනා. සමහර කුට්ටි කුට්ටි පාවෙලා ගිහින් ගස්වලත් රැඳුණා. සමහර ඒවා බිම වැටුණා. දවල් 12 වෙනකන් වගේ මේ දේ තිබ්බා’’ යැයි උහන පදිංචි අයෙක් කියා සිටියේය.

දිගාමඩුල්ලේ ජනතාව මේ පිළිබඳව විවිධ අදහස් පළ කරමින් කුතුහලයට පත්ව සිටියහ. මීට පෙරද අවස්ථා රැසකදී පොලොන්නරුව ප‍්‍රදේශයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබුණි.

ස්වාධීන තාරකා විද්‍යා පර්යේෂක කීර්ති වික‍්‍රමරත්න මහතා මෙලෙස ‘දිවයින’ට පැවසීය.

අම්පාර ඇතුළු ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට ඉකුත් දෙවැනිදා අහසේ නූල් වැනි යමක් විශාල ලෙස පාවී ගොස් තිබෙන බව වාර්තා වුණා. මේ පිළිබඳව ජනතාව බොහෝ කුතුහලයට පත්ව තිබෙනවා. මේ පිළිබඳව නිසි ලෙස පරීක්ෂණයක් කිරීමට එලෙස පාවී ගිය දේවල්වල නිදර්ශක ලබාගෙන පරීක්ෂණ සිදු කළ යුතුයි. ඒ සඳහා යම් අයකුට හැකියාවක් තිබෙනවා නම් එහි නිදර්ශකයක් අපට ලබා දෙන්න.

මේ සම්බන්ධයෙන් ලොව ප‍්‍රකට තාරකා ජීව විද්‍යාඥ, එංගලන්තයේ කාඩිප් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතාද දැනුවත් කළ අතර ඔහු කියා සිටියේ මෙය ඉතාම උනන්දුව දනවන සුළු සිදුවීමක් බවත් මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳව අදහස් දැක්විය යුතු බවත්ය. එම නිසා අහසේ පාවී ගිය දේවල් තුළ තිබෙන්නේ කුමක්දැයි නිසි පරිදි පරීක්ෂා කළ යුතු බවද කීර්ති වික‍්‍රමරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment