අම්පාර හාඩි උසස් තාක්‍ෂණ ආයතනය තාක්‍ෂණ සරසවියක් කරන්න

1105

මොරටුව විශ්වවිද්‍යාලයට රැගෙන ගිය ඉංජිනේරු පාඨමාලා නැවත හාඩි තාක්‍ෂණික ආයතනයේ ආරම්භ කර විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බව වර්ෂ 2013 දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව යෝජනා වූවද එය ද බලාත්මක වුණේ නැත.

ශ‍්‍රී ලංකා සහ අග්නිදිග ආසියානු කලාප උසස් තාක්‍ෂණික අධ්‍යාපන ඉල්ලූම සලකා අම්පාර හාඩි උසස් තාක්‍ෂණ ආයතනය මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් බවට පරිවර්ථනය කර ගැනීමේ ඉලක්කයට මේ වනවිට දශක හයක් ඉක්ම ගොස් ඇත. මෙරට පළමු තාක්‍ෂණික විශ්වවිද්‍යාලය ගොඩනැ`ගීමේ අරමුණින් කැනේඩියානු මහාචාර්ය ඒවන් ඇලන් හාඩි මහතා (Pro. Evan Alan Hardy) විසින් ඊට මූලික පියවර ගනු ලබන්නේ වර්ෂ 1956 දීය.

මහාචාර්ය ඒවන් ඇලන් හාඩි මහතා (Pro. Evan Alan Hardy)  කැනඩාවේ සස්කච්වාන් විශ්වවිද්‍යාලය (University of Saskatchewan) කෘෂි ඉංජිනේරු පීඨයේ ආචාර්යවරයෙකු සහ පීඨාධිපති වශයෙන් වසර 30 ක් කටයුතු කළ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ
(FAO)  සංවර්ධන උපදේශක වශයෙන් අත්දැකිම් බහුල කෘෂිකර්ම ඉංජිනේරුවරයෙකි.

1953 දී ඇරඹූ ගල්ඔය සංවර්ධන යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමේදී ප‍්‍රබලතම අභියෝගයක් වූයේ අවශ්‍යතාවට සරිලන පරිදි දේශීය ඉංජිනේරුවන් සහ තාක්‍ෂණිකඥයින් ප‍්‍රමාණවත් නොවීමයි. ඒ අනුව ව්‍යාපෘතිය වෙනුවෙන් තාක්‍ෂණිකඥයින් පුහුණු කිරීමේ ආයතනයක් ගොඩනැංවීමට තීරණය විය. යෝජිත ආයතනයේ සැලැස්ම පාඨමාලාවන් සහ එහි අන්තර්ගතයන් සැලසුම් කර ක‍්‍රියාත්මක කිරීමේ වගකීම මහාචාර්ය ඒවන් ඇලන් හාඩි මහතාට පැවරුණි.

කැනඩාවේ සස්කච්වාන් විශ්වවිද්‍යාලයේ ගොඩනැ`ගිලි ආකෘතියට අනුව යෝජිත තාක්‍ෂණිකඥයින් පුහුණු කිරීමේ ආයතනය එතුමා ගොඩනැංවූ අතර 1956.01.15 දා කාර්මික පුහුණු කිරීමේ ආයතනය  (Technical Training Institute- TTI) ලෙස ආරම්භ කෙරිණි.

අම්පාර – ඉගිනියාගල ප‍්‍රධාන මාර්ගයට යාබද අක්කර 193 කට අයත් භූමි භාගයක පිහිටුවන ලද තාක්‍ෂණිකඥයින් පුහුණු කිරීමේ ආයතනය විශ්වවිද්‍යාලයකට අවශ්‍ය සියලූම යටිතල පහසුකම්, භෞතික සම්පත් සහ ශිෂ්‍ය නේවාසිකාගාර, ගෘහස්ථ හා එළිමහන් ක‍්‍රීඩාංගණ, නවීන සිනමා තාක්‍ෂණික  ශ‍්‍රවණාගාරයක්, පරිපාලන සහ අධ්‍යයන ගොඩනැගිලි  රැසකින් පරිපූර්ණය. වර්තමානයේ හාඩි ගම්මානය ලෙස හැඳින්වෙන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සියලූ පහසුකම් සහිත නිල නිවාස සංකීර්ණයකින්ද සමන්විතය.

ගල්ඔය මිටියාවත් සංවර්ධනයේ ආරම්භක මැනුම් කටයුත්තේ සිට ව්‍යාපෘති අවසන් ඉලක්කය වූ කෘෂි අස්වනු නෙළා අවසන් කිරීම දක්වා වූ සමස්ත සංවර්ධන ක්‍ෂේත‍්‍රයන් ආවරණය වන පරිදි එතෙක් ලංකාවේ නොතිබුණ ප‍්‍රායෝගික විෂය සංකලනයන් සහිත පාඨමාලාවන් ලංකාවේ පළමුවරට මෙම ආයතනය මගින් ආරම්භ කෙරිණි.

රටක සංවර්ධනය ඉලක්කගත ප‍්‍රායෝගික අධ්‍යාපන පාඨමාලා, වසර දෙකක නේවාසික ආයතනික අධ්‍යාපනයක් ද, වසර 03 ක ගල්ඔය සංවර්ධන යෝජනා ක‍්‍රමයේ අර්ධ කාලීන රැකියා පුහුණුවක් ද සහිත සිවිල් ඉංජිනේරු, යාන්ත‍්‍රික ඉංජිේනරු, විදුලි ඉංජිේනරු, කෘෂි ඉංජිනේරු, මිනින්දෝරු සහ පාංශු රසායන පාඨමාලා ඊට ඇතුළත් විය. ආරම්භයේදී කනිෂ්ඨ කාර්මික නිලධාරී පාඨමාලා Junior Technical Officers (JTO) course ලෙස පාඨමාලා හඳුන්වාදුනි.

නව ආයතනය තාක්‍ෂණික උගතුන් බිහිකිරීමේ තිඹිරි ගෙය ලෙස ඉතාමත් කෙටි කලෙකින් අග්නිදිග ආසියාවේ ප‍්‍රචලිත විය. ඉන් බිහිවන ලාංකේය උගතුන්ට මෙරට මෙන්ම විදේශයන්හි ද ඉහළ රැුකියා අවස්ථා නිර්මාණය විණි. පාඨමාලාවන්ගේ සාර්ථකත්වය නිසා අග්නිදිග ආසියානු කලාපීය කාර්මික පුහුණු කිරීමේ ආයතනයක් ලෙස වර්ගීකරණයකට ලක් වූයේය. (Regional Technical Training Institute- RTTI)

මේ අනුව බුරුමය, මැලේසියාව, බෝර්නියෝ, වියට්නාමය, සිංගප්පූරුව, පිලිපීනය වැනි කලාපීය රාජ්‍යයන්හි ශිෂ්‍යයෝද ආයතනයට අනුයුක්තව පාඨමාලා හැදෑරූහ. 1960 දශකය වන විට මෙරට කීර්තිමත් තාක්‍ෂණික අධ්‍යාපන ආයතනය ලෙස විශිෂ්ට නමක් දිනාගන්නා ලදී.

කාර්මික පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ මෙන්ම අධ්‍යක්‍ෂ ධූරයද ඉසිලූ මහාචාර්ය හාඩි මහතා 1963 වර්ෂයේ දී මියගිය අතර එතුමාට කෙරෙන ගෞරවයක් ලෙස එතැන් පටන් කාර්මික පුහුණු කිරීමේ ආයතනය, හාඩි කාර්මික පුහුණු කිරීමේ ආයතනය (Hardy Technical Training Institute – HTTI) ලෙස නම් කරන ලදී.

ආයතනය 1967 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කළ පසු හාඩි ජේ්‍යෂ්ඨ කාර්මික ආයතනය ලෙස නම් විය. (Hardy Senior Technical Institute –
HSTI)
පාඨමාලා, ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා (National Diploma in Technology – NDT) ලෙසින් නාමකරණය වන්නේ එම වර්ෂයේදීමය.

එවකට මෙරට NDT  පාඨමාලා පවත්වාගෙන යන ලද්දේ හාඩි ජේෂ්ඨ කාර්මික ආයතනයත්, ලංකා විශ්වවිද්‍යාලයීය කටුබැද්ද මණ්ඩපය ලෙස ක‍්‍රියාත්මක වූ ලංකා තාක්‍ෂණ විද්‍යාලයත් (Ceylon College of Technology – CCT)  තුළ පමණි. හාඩි උසස් තාක්‍ෂණ ආයතනය බිහිකළ පාඨමාලා, විශ්වවිද්‍යාල පරිසාධන මට්ටමේ පැවැති බවට එය කදිම සාක්‍ෂියකි.

හාඩි ජේෂ්ඨ කාර්මික ආයතනය තුළ අඛණ්ඩව පැවැති ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා ඉංජිනේරු (NDT) පාඨමාලාවන්හි දෙවන වසර අධ්‍යයනය 1974 වර්ෂයේ සිට ලංකා තාක්‍ෂණ විද්‍යාලය, කටුබැද්ද වෙත ගෙනයන ලදී. 1978 වර්ෂයේ දී යථෝක්ත ලංකා විශ්වවිද්‍යාලයීය කටුබැද්ද මණ්ඩපය (ලංකා තාක්‍ෂණ විද්‍යාලය, කටුබැද්ද) මොරටුව විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය කළ ද හාඩි ජේෂ්ඨ කාර්මික ආයතනය ඊට සමගාමීව ලාංකේය විශ්වවිද්‍යාලයක් බවට පත්විය යුතු වුවද එසේ වූයේ නැත.

1986 දී ආයතනයේ සමස්ත පරිපාලනය කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතට ගෙන හාඩි ජේෂ්ඨ කාර්මික ආයතනය (HSTI) හාඩි කාර්මික විද්‍යාලය (HTC) ලෙස නම් කරන ලදී. විශ්වවිද්‍යාලය බවට පරිවර්ථනය විය යුතු ආයතනයේ තත්ත්වය පහත හෙළීම තව දුරටත් මෙසේ සිදුවිය.

මෙරට ආරම්භ වූ සිවිල් යුද්ධය හේතුවෙන් අම්පාර අනාරක්‍ෂිත ප‍්‍රදේශයක් ලෙස සලකා එතෙක් පැවැති ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා ඉංජිනේරු පළමු වසර පාඨමාලා ද 1988 දී මොරටුව විශ්වවිද්‍යාලයට සම්පූර්ණයෙන්ම ගෙනයන ලදී. (කෘෂි ඉංජිනේරු පාඨමාලාව හැර) ඒ වන විටත් මිනින්දෝරු සහ පාංශු රසායන පාඨමාලා නවතා තිබුණි. එලෙස කීර්තිමත් හාඩි කාර්මික පුහුණු කිරීමේ ආයතනය ආරම්භක පාඨමාලා හයෙන් පහක් අද දක්වා අක‍්‍රීය කරනු ලබන්නේය.

හාඩි කාර්මික විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම උදෙසා වන ක‍්‍රියාන්විතයේ තීරණාත්මක අවස්ථාවක් උදාවන්නේ වර්ෂ 1992 දී තරුණ අසහනය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කැඳවීමත් සම`ගය. එහි නිර්දේශයනට අනූව අනුබද්ධ විශ්වවිද්‍යාල (Affiliated University) පිහිටුවීම වෙනුවෙන් පැවැති සාකච්ඡුාවන්හිදී හාඩි කාර්මික විද්‍යාලය ද, අනුබද්ධ විශ්වවිද්‍යාලයක් කළ යුතු බවට යෝජනා කෙරිණි. එනමුත් එවකට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය අර්ජුන අලූවිහාරේ මහතා සහ ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා කෘෂිකර්ම (NDT Agri) ශිෂ්‍ය නියොජිතයන් අතර සිදුකළ සාකච්ඡුාවකින් අනතුරුව හාඩි කාර්මික විද්‍යාලය අනුබද්ධ විශ්වවිද්‍යාලයක් නොව ස්වාධීන තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් වියයුතු බවට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිර්දේශ කරන ලදී. නමුත් මෙම නිර්දේශයන්ද ක‍්‍රියාත්මක නොවීය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ශ‍්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) පිහිටවනු ලබන්නේ මෙරට තාක්‍ෂණික අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා යම් සැලකිල්ලක් දක්වමින්ය. එහි පරිපාලනයට වර්ෂ 1997 දී හාඩි කාර්මික විද්‍යාලය අනුයුක්ත කර ගැනුණි. මෙහිදී හාඩි කාර්මික විද්‍යාලය (Hardy Technical Collage – HTC) හාඩි උසස් තාක්‍ෂණික අයාතනය (Hardy Advanced Technological Institute –
HATI) ලෙස නම් කරන ලදී.

මෙහිදී වූ ඛේදනීයතම සිද්ධිය නම් තාක්‍ෂණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ අරමුණින් ආරම්භ කළ කීර්තිමත් හාඩි තාක්‍ෂණ ආයතනය එකම භූමියක් තුළ :

කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ – හාඩි කාර්මික විද්‍යාලය (COT)  සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ – SLIATE යටතේ – හාඩි උසස් තාක්‍ෂණික අයාතනය
(ATI) ලෙස ආයතන 2 කට බෙදා වෙන් කිරීමයි.

මොරටුව විශ්වවිද්‍යාලයට රැුගෙන ගිය ඉංජිනේරු පාඨමාලා නැවත හාඩි තාක්‍ෂණික ආයතනයේ ආරම්භ කර විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බව වර්ෂ 2013 දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව යෝජනා වූවද එය ද බලාත්මක වුණේ නැත.

අද දවසේ තවත් අර්බුදකාරී වාතාවරණයක් උද්ගතව ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් දක්වා සංවර්ධනය විය යුතු හාඩි උසස් තාක්‍ෂණික ආයතනය රට වසා තිබුණ covid-19 වසංගතය සමය තුළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන ඇත. මේ පිළිබඳව වර්තමාන ශිෂ්‍යයන්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් සහ අම්පාර ජනතාවට කිසිදු පූර්ව දැනුවත් කිරීමක් සිදුකර නොමැත. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සංවර්ධනය කළ යුතු ආයතනය රාජ්‍ය අමාත්‍යාංශයට පවරා ඇත. හාඩි උසස් තාක්‍ෂණ ආයතනය බිහිකිරීමේදී ඉලක්ක ගත වූ අරමුණු සපුරා ගැනීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තුළම සිදුවිය යුතු නමුත් අවාසනාවකට ඉහත ගැසට් නිවේදනයට ප‍්‍රකාරව උසස් අධ්‍යාපනය යන විෂය පථයෙන් පරිබාහිර රාජ්‍ය අමාත්‍යාංශයට පැවරීම හරහා ආයතනය තවදුරටත් විනාශය කරා ළ`ගාවීම සිදුවන බව ස්ථිර ය.

මොරටුව විශ්වවිද්‍යාලය හා සම`ග ඒකාබද්ධ ක‍්‍රියාවලියක් ලෙස තාක්‍ෂණික ඥාණය විදෙස් සිසුන්ටද දුන් හාඩි තාක්‍ෂණික ආයතනයේ මූලික සැලැසුම වූයේ ලංකාවේ පළමු තාක්‍ෂණික විශ්වවිද්‍යාලය බවට පත්වීමයි. එය කාර්මික අධ්‍යාපනය (Technical Education) නොව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තාක්‍ෂණික අධ්‍යාපනය (Technological Education) දක්වා දිවෙන පුළුල් ගමනකි.

ශ‍්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස ලැබුණු කිර්තිමත් හාඩි තාක්‍ෂණික ආයතනය නැවත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරාගෙන ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකරදෙනු ඇතැයි අපි උදක්ම අපේක්‍ෂා කරමු. බලධාරීන්ගේ රටට හිතෛශී බුද්ධිමත් දෑස් මේ කෙරෙහි සැබවින්ම යොමුවීම ලාංකීය තාක්‍ෂණික අධ්‍යාපනයට සුභ නිමිත්තකි.

හාඩි වෘත්තිකයන් සහ ශිෂ්‍ය සහයෝගීතාවය



































































































































































































































































































































































































































































































































































































































 

advertistmentadvertistment
advertistmentadvertistment