අම්පිටියේ හිමි ඝාතන තැතට සැකපිට ඥාතියෙක් අත්අඩංගුවට

239

මඩකලපුව කෙවිලියාමඩුව අභිනවාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (14 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සුමනරතන හිමියන්ගේ ඥාතියකු බවත්, එම හිමියන් සමග පැවැති ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකරු අම්පාර රජගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කලක් සුමනරතන හිමියන් සමග විහාරස්ථානයේ නවාතැන් ගෙන සිටි බව කියන මෙම පුද්ගලයා කාලයක සිට උන්වහන්සේ සමග ගැටුම් ඇති කරගෙන සිටි අයකු බව ද පොලිසිය පවසයි. එහෙත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී සුමනරතන හිමියන් පැවසුවේ මෙම ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් නොවන බවයි.

මේ අතර සුමනරතන හිමියන්ගේ විහාරස්ථානයට වෙඩි තැබූ අවස්ථාවේ එම විහාරයේ ආරක්‍ෂාවට යොදා සිටි සිවිල් ආරක්‍ෂක බළකායේ භටයන් පස්දෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයිනට ඊයේ පැවසීය.

මෙම පස්දෙනාට අමතරව සිවිල් පුද්ගලයන් තිදෙනකු ද මෙම හිමිනගමගේ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා යොදවා සිටි බව ද, විහාරස්ථානයට වෙඩි තබා ඇත්තේ කොටන තුවක්කුවකින් බව ද පොලිසිය පවසයි.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පොලිස් භාරයට ගෙන සිටින ‘කර්පට්’ නමැත්තාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

මෙම සිද්ධියට දේශපාලනය මුල්වී නැති අතර පෞද්ගලික කෝන්තරයක් බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment