අම්බලන්ගොඩ හෝටලයක ද්විත්ව ඝාතනය දකුණේ පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක්

615

අම්බලන්ගොඩ දෙල්දුව ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී ටී. 56 ගිනි අවියකින් ප්‍රහාර එල්ල කර තරුණන් දෙදෙනකු ඝාතනය කිරීම දකුණේ පාතාල කල්ලි දෙකක් අතර කාලයක සිට පැවති ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

 පෙරේදා (21 වැනිදා) රාත්‍රි දෙල්දුව ප්‍රදේශයේ හෝටලයක මත්පැන් පානය කරමින් සිටි පිරිසක් වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුහු බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

 මුහුණු ආවරණය කර ගනිමින් හිස්වැසුමක් පැළඳ ටී56 ගිනි අවියක් රැගෙන හෝටලයේ උඩුමහලට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයා එහි මත්පැන් පානය කරමින් සිටි පිරිස වෙත දිගට හරහට වෙඩි තබා ඇත.

 කුලී ඝාතකයා පසුව යතුරුපැදියකින් පලා ගොස් තිබිණි. ප්‍රහාරයෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 33 හැවිරිදි වියේ පසු වන තරුණයන් දෙදෙනකු මියගොස් ඇත. මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් යොදවා තිබේ.

 සැකකරුවන් කිසිවකු ඊයේ දහවල් වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment