අම්මල පුතාල බෑණලා එකතුවී කළ ඇඹිලිපිටියේ මහා පරිමාණ කූඩු ජාවාරම

1018

කෝටි 50කට ආසන්න කුඩු පොලිස් අත්අඩංගුවට….
ඩුබායි ඉඳන් එවන්නේ හරක් කටා…

නදීකා දමයන්ති ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. රූමත් තරුණියක් වන ඇය විවාහ වූයේ දැනට දශක දෙකකටත් පමණ ඉහතදීය. ඒ එම ප්‍රදේශයේම තරුණයෙකු සමගින්ය. ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ වුවද නදීකාගේ දෙමව්පියන් මුල සිටම ඇයගේ ස්වාමිපුරුෂයාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. විවාහයෙන් පසු දෙදෙනා වෙනම ජීවත් වූහ.

විවාහයෙන් වසරක් ගත වූ පසු ඔවුන්ට දරු සුරතල් බැලීමේ වාසනාවද උදාවිය. ඔවුන්ට ලැබුණු දරුවා පිරිමි ළමයෙකු විය. නදීකා මහත් ආදරයෙන් යුතුව ඔහුව උස්මහත් කළාය. එම දරුවාට වයස අවුරුදු දහයක් වූ පසු ඇය තවත් දරුවකු බිහි කළාය. ඔහුද පිරිමි ළමයෙකි. එම දරුවා බිහිවීමෙන් පසු ඇයගේ ස්වාමිපුරුෂයා ක්‍රමක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය. සුළු සුළුවට ඇති වූ පවුල් ආරවුල් දුරදිග යෑමට පටන් ගත්තේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ස්වාමිපුරුෂයා ඇය අතහැර යෑමයි. ඒ වසර දහයකට පමණ පෙරයි.

ස්ථිර ආදායම් මාර්ගයක්, නවාතැනක් නොතිබූ ඇය ස්වාමිපුරුෂයා හැරගිය පසු ජීවත්වීම සඳහා නොයෙක් දෑ සිදු කළේය. කුඩා කල සිටම මැහුම් ගෙතුම්වලට ඇය දක්ෂ කාන්තාවක් වූවාය. එම නිසා ඇය කාන්තා ඇඳුම්, ගමන් මලු ආදී දේවල් මැසීම සිදුකරමින් තම දරුවන් දෙදෙනා පෝෂණය කළාය. එයින් හරිහමන් ආදායමක් නොලැබුණත් කෙලෙස හෝ ලැබෙන මුදලින් ඇය ජීවත්වීමට පුරුදු වූවාය. ඒ වන විට ඇය කුලී පදනම මත පදිංචිව සිටියේ ඇඹිලිපිටිය තෙල් බදුආර ප්‍රදේශයේය.

දැනට වසර දහයකට පමණ ඉහතදී නදීකාට තවත් තරුණියක මුණ ගැසුණි. ඇය මධුරි චම්පිකාය. විවාහක කාන්තාවක් වන ඇය දෙදරු මවකි. ඇයගේ දරුවන් දෙදෙනාම දියණියන්ය. ඇය ද සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ බව පෙනෙන්නට තිබුණේ නැත. ජීවත්වීම සඳහා ඇය ද සිදු කළේ මැහුම් ගෙතුම්ය. නදීකා සහ මධුරි දැන හැඳිනගෙන මාස කිහිපයක් ගත වූ පසු දෙදෙනා ඉතාමත් ළඟින් ඇසුරු කළහ. තම තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා කතා බස් කළහ. ඒ තරමටම එම මිතුදම වැඩි විය.

මධුරිගේ දියණියන් දෙදෙනා පවා නදීකාගේ නිවසට පැමිණීමට පටන් ගත්හ. ඇය එම දියණියන් දෙදෙනාට සැලකුවේ තමන්ගේ දරුවන්ට මෙන්ය. අවසානයේ ප්‍රදේශවාසීන් පවා සිතුවේ මෙම පවුල් දෙක ඥාතීන් ලෙසයි. වසර හත අටක් පමණ එම පවුල් දෙකේ උදවිය එලෙස ඇසුරු කළහ. 2017 වර්ෂයේ දී මධුරි තම දියණියන් දෙදෙනා සමග මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචියට ගියහ. එලෙස ගිය පසු දෙදෙනා අතර තිබූ මිතුදම බිඳ වැටුණි. තවත් මාස කිහිපයක් ගත වූ පසු ක්‍රම ක්‍රමයෙන් නදීකාට, මධුරි ගැන තිබූ මතකය ද අමතක වී ගියාය. නදීකා සුපුරුදු රැකියාව සිදු කරමින් තම දරුවන් දෙදෙනා උස්මහත් කළාය. ඒ වන විට ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුද 22ක් වූ අතර බාලයාගේ වයස අවුරුදු 10 කි. ඒ වන විටත් වැඩිමහල් දරුවා පාසල් අධ්‍යාපනය හමාර කර තිබුණත් හරිහමන් අධ්‍යාපනයක් ලැබුවේ නැත. එම නිසා ඔහුට හරිහමන් රැකියාවක් සොයා ගැනීමට ද නොහැකි විය. මිතුරන් සමග රස්තියාදු ගැසීම ඔහුගේ තවත් එක් නරක පුරුද්දක් විය.

නදීකා දැනට මාසයකට පමණ ඉහතදී ඇඹිලිපිටිය සති පොළ වෙත ගියාය. ඒ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහාය. එලෙස සති පොළ තුළදී ඇය බඩු මිලදී ගන්නා අවස්ථාවේදී කිසියම් කාන්තාවක් පිටට තට්ටු කරමින් මෙලෙස ඇසුවාය.

අම්මල පුතාල බෑණලා එකතුවී කළ ඇඹිලිපිටියේ මහා පරිමාණ කූඩු ජාවාරම

“ නදීකා කොහොමද?” ඇය ක්‍ෂණිකවම පිටුපස බලා තමාගේ පිටට තට්ටු කළේ කවුරුන්දැයි කියා බැලුවාය. එක්වරම දුටු දෙයින් ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි වූවාය. “ අනේ මේ මධුරි නේ.”“ ඔව් ඔව් නදීකා. අපි මෙහෙන් ගියාට පස්සේ ් ෆෝන් නම්බරය වෙනස් කළා. ඒ එක්කම ඔයාගේ නම්බරයත් නැතිවෙලා. ඒකයි කතා කරන්න බැරි වුණේ.”

“ ඕක තමයි මමත් ගොඩක් උත්සාහ කළා ඕගොල්ලන් කන්ටැක් කරගන්න ඒත් බැරිවුණා.”“ ඒක තමයි නදීකා ගියාට පස්සේ තිබුණු වැඩත් එක්ක එන්නත් බැරි වුණා. තරහ වෙන්න එපා.” “ මොකට මං තරහා වෙනවද? ආයි අපි හම්බ වුණානේ මධුරි කොහොම හරි.”“ ඒක ඇත්ත මම අහම්බෙන් ඔයාව දුර තියලා දැක්කේ.” “ ඒක නෙවෙයි දැන් කොහෙද ඉන්නේ.” “තවම මිද්දෙණියේ ඉන්නේ. එතකොට ඔයා.” “ මම තවමත් පරණ තැන තමයි.”

“ එහෙමද?. ළමයි දෙන්නා එහෙම කොහොමද දැන් ගොඩක් ලොකු ඇති දැක්කේ නැහැනේ කාලෙකින්.”

“ වරදක් නැහැ හොඳින් ඉන්නවා. ලොකු එක්කෙනා නං දැන් මොකුත් කරන්නෙ නැහැ ගෙදරට වෙලා ඉන්නවා. පොඩ්ඩා ඉස්කෝලේ යනවා තවම. කොහොමද කෙල්ලො දෙන්නා.”

“ හොඳින් ඉන්නවා. ලොකු කෙල්ලගේ පළවෙනි කසාදේ අවුල් ගියානේ. ආයි කසාද බැන්දා දැන් ඉන්නවා හොඳ මනුස්සයෙක්. එයා බිස්නස් කරන්නේ. ගොඩක් සල්ලි තියෙනවා කෙල්ලගේ වාසනාව.” “ එහෙමද දෙන්නම ආදරෙන් මතක් කළා කියන්න.” “ ඒක නෙවේ නදීකා. මම බෑණත් එක්ක හදිසි වැඩ වගයකට ආවේ ඉක්මනට යන්න ඕනා. මට ඔයාගේ නම්බර් එක දෙන්න. මම අනිවාර්යෙන්ම කෝල් කරලා අනිද්දා ගෙදරටම එන්නම්. තවම පොලීසිය ළඟ ගෙදරනේ ඉන්නේ.”

“ ඔව් පොලිසිය පහුකරලා ටික දුරක් ගියාම තියෙන දෙවැනි පටුමගේ ගෙදර තමයි ඉන්නේ.”

එලෙස කියා ඇය තම ජංගම දුරකථනයද මධුරිට ලබා දුන්නාය. එලෙස දුරකථන අංකය ලබා ගත් මධුරි ඇගෙන් සමුගත්තේ යළි නිවසට පැමිණෙන පොරොන්දුව මතයි. දින දෙකක් ගත විය. මධුරි තම බෑණා සමඟ නදීකාගේ නිවස වෙත පැමිණියාය. එලෙස ඇය පැමිණියේ විශාල තෑගි බෝග ප්‍රමාණයක්ද රැගෙනය. එලෙස පැමිණි මධුරි සහ ඇයගේ බෑණාව මහත් හරසරින් නදීකා පිළිගත්තාය. “ මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඔයා එයි කියලා.” “ දන්නවනේ නදීකා ඒ කාලේ ඉඳන් මම කිව්වොත් කිව්වා. ඒක නෙවෙයි මේ මගේ බෑණා. එයා බිස්නස් කරන්නෙ.” “ ඇත්තද.” “මම ඔයා ගැන විස්තර සේරම බෑණට කියලා තියෙන්න. ඉතින් කොහොමද දැන් ඔයාගේ බිස්නස්.” “ ගන්න දෙයක් නැහැ. දන්නවනේ රටේ තත්ත්වෙත්. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කොච්චර මැරුණත් වැඩක් නැහැ. ” “ ඒක තමයි ඔයා දිහා බලපුවම පේනවා. ගොඩක් මහන්සි වෙනවා කියලා. දැන් බයවෙන්න එපා. හැමදාම මෙහෙම ඉන්න බැහැනේ. ඔයාට මං ගොඩ යන මාර්ගයක් කියන්නම්. හැබැයි බය වෙන්න එපා මේක අහලා.”

“ නැහැ මම මොකට බය වෙනවද?”

“ අද තියෙන රටේ තත්ත්වෙත් එක්ක හොඳින් සල්ලි හොයල ගොඩයන්න බැහැ.” “ ඒකනම් ඇත්ත. බලන්න මම අවුරුදු කීයක් දුක් විඳිනවද කියලා. තවමත් එකම තැන.”

“ මම කෙලින්ම කතාවට එන්නම්. කැමති නම් විතරක් මේකට සම්බන්ධ වෙන්න.” “ කියන්න මධුරි දැන්නම් මම ඕන එකකට කැමතියි. ඒ තරම් එපාවෙලා තියෙන්නෙ දුක්විඳලම.” “ අපේ බෑණා ගංජා බිස්නස් එකක් කරනවා. ඔයාට තියෙන්නේ ගංජා විකුණන්න නෙවෙයි. අපි දෙන බඩු ටික පරිස්සමෙන් තියාගන්න විතරයි. ඔයාට ඒකට ලොකු ගාණක් අපි ගෙවන්නම්”

“ ඔය වගේ වැඩ කරල මට පුරුදු නැහැ.” “ විශේෂයෙන් පුරුදු වෙන්න දෙයක් නැහැ. ඔයාට විකුණන්න නැහැ. අපි දෙන බඩු පරිස්සම් කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒව ගෙනියන්න එන අයට දෙන්න එච්චරයි. කිසි දේකට බය වෙන්න එපා අපේ බෑණා අවුරුදු ගාණක් මේ බිස්නස් එක කරනවා අද වෙනතුරු පොලිසියට අහුවෙලා නැහැ. මමත් දැන් සම්බන්ධ වෙලා අවුරුදු ගාණක් වෙනවා.”

“ එහෙමද. මට නම් බයයි මධුරි.”

“ බයවෙන්න එපා. ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අනික පොලිසිය සැක කරන්නෙත් නැහැ නිතර දෙවේලේ මෙතනට මිනිස්සු ආවට. මොකද ඔයා බිස්නස් එකක් කරනවානේ. මම කියනවට මාසයක් කරල බලන්න. ඔයාට හිතාගන්න බැරි ගාණක් හොයාගන්න පුළුවන්. හැමදාම මෙහෙම දුක් විඳින්නත් බැහැනේ ඔයාට. ගෙයක් දොරක් හදා ගන්නත් ඕනා නේද තමන්ගේ කියලා.” “ඔව් ඒක නං ඇත්ත. ප්‍රශ්න ගොඩයි.”

“ හරි හරි එහෙනම් මේකට කැමති වෙන්න.” ඒ අනුව නදීකා මධුරිගේ යෝජනාවට කැමැති වූවාය. එදින පිටත් වන මොහොතේ මධුරි වියදමට කියා ඇයට රුපියල් 10,000 ක මුදලක් ද ලබාදුන්නාය. දිනක් මධුරිගේ බෑණා පැමිණ කිලෝ විස්සක කංසා පාර්සලයක් ඇයගේ නිවසේ තබා මෙලෙස පැවසුවේය.

“ මේ පාර්සලය ගන්න හෙට එක්කෙනෙක් එනවා. ඇන්ටි එයාට පාර්සලය දෙන්න. ඒකට මම ඇන්ටිට රුපියල් 20000ක් දෙනවා.” ඔහු කියූ පරිදිම පසුදින පුද්ගලයකු පැමිණියේය. එලෙස පැමිණි පුද්ගලයාට ඇය එම කංසා පාර්සලය ලබා දුන්නාය. එදින ඇයට රුපියල් 20,000ක මුදලක්ද ලැබුණි. තවත් දින කීහිපයක් ගතවිය. එදින මධුරි සහ ඇගේ බෑණා පැමිණියේ විශාල ප්‍රමාණයේ හෙරොයින් පාර්සලයක් රැගෙනයි. එලෙස පැමිණි ඔහුන් නදීකාට එම හෙරොයින් තොගය පිළිබඳව සියලු තොරතුරු පවසා එය ලබාදෙන පුද්ගලයා ගැන ද සඳහන් කළහ. ඇය එම හෙරොයින් පාර්සලේ ද නියමිත දින අදාළ පුද්ගලයාට ලබාදුන්නාය. එදින ඇයට රුපියල් 50,000ක මුදලක් ලැබුණි.

එතැන් පටන් ඇය නොබියව මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූවාය. එපමණක් නොව ඇයගේ වැඩිමහල් පුතාවද කිසිදු හිරිකිතයකින් තොරව මෙම ජාවාරමට සම්බන්ධ කර ගත්තාය. ඒ වන විටත් අවුරුදු 22ක් වයසැති එම තරුණයා හෙරොයින් පානයට ද පුරුදුවී සිටියේය. තොග වශයෙන් ගෙනෙන හෙරොයින් පාර්සල් කිරීම, බෙදාහැරීම සහ විකිණීමද ඉතා සූක්ෂම අයුරින් මෙම මව සහ පුතා ජයටම කරගෙන ගියහ. ඒවා ගැනීම සඳහා නිතරම නිවසට මිනිසුන් පැමිණිද අසල්වාසීන් ඒ ගැන සැක නොකළේය. ඒ ඇය ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් සිදුකරගෙන යන නිසාය. එම නිසා ඔවුන් සිතුවේ ඇයගේ ඇඳුම් මිලදී ගැනීම සඳහා නිතරම එලෙස මිනිසුන් පැමිණෙන බවයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජයටම හෙරොයින් විකුණන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණි. පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටියහ. දිනක් ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙකුට හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදී ඔහු පැවැසුවේ තවත් පුද්ගලයෙකුගෙන් ඔහු හෙරොයින් මිලදී ගත් බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් එම පුද්ගලයාවද අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදී නදීකා සහ ඔහුගේ පුතා ගැන තොරතුරු දැන ගන්නට ලැබුණි. පොලිස් නිලධාරීන් පුදුමයට පත්විය. පොලිසිය ආසන්නයේ නිවසක හෙරොයින් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ඇති බව දැන ගත් කල පොලිස් නිලධාරීන් පුදුමයට පත්විය. ඔවුන් වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළේය. පරීක්ෂණයට අනුව පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් පසුගිය දිනක එම නිවස වැටලීමට ගියේය. නිවසේ ඉදිරිපස ගේට්ටුව වසා තිබුණි. එමනිසා පොලිස් නිලධාරීන් පිටුපසින් එම නිවසට ඇතුළු විය. එලෙස ඇතුළු වී පරීක්ෂා කරන අවස්ථාවේදී එම මව සහ පුතා හෙරොයින් පාර්සල් කරමින් සිටියහ. එදින එම නිවස තුළ තිබී කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් තිස් අටක් පමණ සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකිවිය.

මව සහ පුතා පොලිස් අත්අඩංගුවට පත්වූහ. එලෙස අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදී ඇය පවසා සිටියේ මිද්දෙණියේ පදිංචි තම මිතුරිය සහ බෑණා විසින් මෙම හෙරොයින් තමන් වෙත ලබාදෙන බවත් ඒවා ඔවුන් කියන අය වෙත තමන් ලබා දෙන බවත්ය. එලෙස ඇය හෙරොයින් ලබාදෙන්නේ කිලෝ ගණන් වලින්ය. පොලිසිය පැමිණීමට මොහොතකට පෙර කිලෝ 25ක හෙරොයින් තොගයක් ඇය වෙනත් පුද්ගලයකුට ලබාදී තිබුණාය. ඒ පිළිබඳව විමසීමේදී එම පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් ඇය නොදන්නා බවද පවසා තිබුණි. සැකකාර ස්ත්‍රියගෙන් ලද තොරතුරුවලට අනුව මිද්දෙනිය ප්‍රදේශයේ සිට මහා පරිමාණයෙන් රටපුරා හෙරොයින් බෙදාහරින කාන්තාව සහ තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පොලිසිය මෙම ලිපිය ලියන මොහොත වන විටත් ආරම්භ කර තිබුණි.

වැඩිදුරටත් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල සාමාජිකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැති පුද්ගලයාගේ හෙරොයින් තොගයක් බවයි. මෙම පුද්ගලයා විදෙස්ගතව සිට මෙරටට මහා පරිමාණයෙන් හෙරොයින් එවනු ලබන අයෙකි. මොහුගේ හෙරොයින් ජාවාරම රටපුරා ඉතාම සූක්ෂම අයුරින් කරගෙන යන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සිද්ධියත් සමග අනාවරණය වී ඇති තව කරුණක් වනුයේ වර්තමානය වනවිට කොළඹට වඩා හෙරොයින් තොග බෙදාහැරීමේ ස්ථාන පවත්වාගෙන යන්නේ පිට පළාත්වල බවයි. ඇඹිලිපිටිය පොලිසිය ආසන්නයේ තිබූ නිවසද ඉන් එක් ස්ථානයකි.

මෙම හෙරොයින් ජාවාරම්කරුවන් අතට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට ඇඹිලිපිටිය පොලිසිය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. ඇඹිලිපිටිය කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක තිලක් රත්නායක ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment