රිය අනතුරකින් මව මියගිය ඇලහැර දම්පුරගම පදිංචි දැරියකට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ප්‍රවාහන පහසුකම් ලබාදී රුපියල් 50000 ක් පමණ වටිනා පාසල් උපකරණද ලබාදීමේ සත්කාරයක් බකමූණ පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (18දා) සිදු කරන ලදී.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් පරිදි බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකඳුර මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම සත්ක්‍රියාව සිදු කරන ලදී. ඉකුත් නොවැම්බර් මස 23දා නිරෝෂණී සඳමාලි නමැති 38 හැවිරිදි දෙදරු මව සිය දියණිය සමග යතුරුපැදියෙන් දමනයාය විදුහලට ගමන් කරමින් සිටියදී දැව සංස්ථාවට අයත් ලොරියක යතුරුපැදිය ගැටීමෙන් බරපතළ තුවාල ලැබුවාය. පොලොන්නරුව රෝහලේදී මෙම මව මෙලොවින් සදහටම සමුගත් අතර ඇගේ දියණිය වන භාග්‍යා නෙත්සරණි බරපතළ තුවාල ලබා මේ වන විට ආබාධිත තත්ත්වයට පත්ව අසරණව සිටී.
තම මවද අහිමිව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට යෑමට පහසුකම් ද නොමැතිව අන්ත අසරණ වී නිවසේ සිටි මෙම දියණිය පිළිබඳ පුවත දැනගත් බකමූණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකඳුර මහතා ඇතුළු නිලධාරීහු භාග්‍යා නෙත්සරණි දැරියට ප්‍රවාහන පහසුකම් ලබා දීමට ඉදිරිපත් වූහ. බකමූණ පොලිසියේ නිලධාරීන්ගේ මෙම සත්ක්‍රියාවට ප්‍රදේශවාසීන් සිය ප්‍රශංසාව පළ කරති.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ බකමූණ පොලිසියේ නිලධාරීන් පොලිස් නිල රථයෙන් නෙත්සරණි බකමූණ මහසෙන් මහ විදුහලේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයට රැගෙන ගිය අයුරුයි.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර