අම්මා තාත්තා විකුණාගෙන කන්නේ නෑ – ඩිල්මින් පෙරේරා

254

මිල්ටන්ගේ මුණුබුරාගේ අලුත්ම වැඩක් එළියට
සීයාගේ සින්දුවක් රීමේක් කළා

පරම්පරාවෙන් සහ මාපිය ආභාෂයෙන් සහ උරුමයෙන් ලද හැකියාවන් ඔප් නංවාගෙන ඔවුන්ගේ ජනප්‍රියත්වයෙන් තමන්ගේ ජනප්‍රියත්වය ගොඩනඟා ගැනීමට උත්සාහ නොකළ යෞවනයෝ බොහෝ නිහඬ ගමනක් යන චරිතයක් සමග තමයි අද අපි පිළිසඳරක යෙදෙන්න හදන්නේ. මොහු නමින් ඩිල්මින් පෙරේරා හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ ප්‍රියංකර – දිල්හානිගේ පුතු විදිහට. හැබැයි ඩිල්මින් නම් තාත්තා – අම්මා සීයාගේ නම් පාවිච්චි කරලා වැඩේ ගොඩදාන්න ට්‍රයි කරන කොල්ලෙක් නොමෙයි. පහළින් තියෙන ඔහුගේ කතාව ඊට හොඳම සක්‍ෂියක් වේවි.

ඩිල්මින් කවුද මේ ශෝබනා

මේක මගේ අලුත්ම ගීතය. මේ ගීතයේ පද රචනය දුලාන් ඒ ආර් එක්ස්ගේ. සංගීතය චමිත කුරේගේ. රූප රචනාවට රංගනයෙන් දායක වුණේ රොෂෙල් රොජර්ස්. ගීතයේ නිෂ්පාදනය එස් ජී එම් රෙකෝඩ් රේබල් එකෙන් සරිගම මියුසික්.

ශෝබනා ගැන කට්ටිය මොනවද කියන්නේ?

තවම ගීතය එළිදක්වපු ගමන් හින්දා කට්ටිය ලොකුවට මොනවත් කියන්නේ නැහැ. නමුත් එහෙන් මෙහෙන් පොඩි පොඩි ප්‍රතිචාර තියෙනවා.

ශෝබනා ඔබ මෙතෙක් ගායනා කළ ශෛලයට වඩා වෙනස් ආරක් ගන්නවා?

වෙනස් කියන්නේ වෙන කෙනෙක්ගේ මෙහි සංගීතය සහ පද රචනය. සාමාන්‍යයෙන් මම ගායනා කරන ගීත මම තමයි නිර්මාණය කරගන්නේ.

මෙවර වෙනස් හැඩයක් ගන්නද උත්සාහ කළේ?

මගේ උමයංගනා මියුසික් වීඩියෝ එක දැකලා තමයි එස්. ජී. එම්. නිෂ්පාදන ආයතනය මට මේ ආරාධනාව සිද්ධ කළේ. මුලින්ම මම වැඩේට අකමැති වුණත් අන්තිමේ සින්දුව ඇහැව්වට පස්සේ ඒ ගීතය කරන්න මට ආශාවක් ආවා.

ප්‍රසංගවලට ලැබෙන ආරාධනා එහෙම කොහොමද?

එහෙම ලොකුවට නැහැ. නමුත් මම වැඩකරන පොයින්ට්ෆයිව් බෑන්ඩ් එකට කොන්සර්ට් තියෙනවා.

පොයින්ඩ් ෆයිව් බෑන්ඩ් එක ගැන කතා කළොත්?

නදීමාල් පෙරේරා සහ මම තමයි ගායකයෝ විදිහට වැඩ කරන්නේ. මේ අවුරුද්දේ බෑන්ඩ් එකේ අලුත්ම ගීතයත් රිලීස් කරනවා. අපේ බෑන්ඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය කාලයේ අපි දෙන්නම කාර්ය බහුල වුණ හින්දා බෑන්ඩ් එකට ලොකු වෙහෙසක් ගන්න බැරිවුණා. නමුත් දැන් ඒ වැඩ ඉවර හින්ද පොයින්ඩ් ෆයිව් බෑන්ඩ් එකට මුල්තැන දුන්නා.

අම්මයි තාත්තයි ශෝබනා ගැන මොනවද කිව්වේ?

ශෝබනා ගැන ඇත්තටම ඒ දෙන්නත් එක්ක කතා කරන්න වෙලාවක් තිබ්බේ නැහැ.

අම්මා තාත්තා විකුණාගෙන කන්නේ නෑ - ඩිල්මින් පෙරේරා

ඩිල්මින් පෙරේරා මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ?

මම බොහොම හෙමින් සතුටින් තමයි මේ ගමන යන්නේ. මම හිතනවා කලාකරුවෙක් විදිහට මගේ අඩිතාලම පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන යනවා කියලත් හිතෙනවා. ලොකුවට මගේ සින්දු හිට් වෙලා නැතිවුණාට මගේ ගමන සතුටින් යනවා.

දඩයම චිත්‍රපටයේ අත්දැකීම මොන වගේද?

මට මහලොකු සිනමා අත්දැකීම් නැහැ. මීට කලිනුත් චිත්‍රපටයක පොඩි කොටසක් රඟපෑවා. හැබැයි මේ පාර තමයි දෙබස් එක්ක චිත්‍රපටයක රඟපෑවේ. නමුත් ප්‍රධාන චරිතයක් නෙමෙයි සහය නළුවකුගේ චරිතයක් තමයි රඟපෑවේ.

රඟපාන්න ආසයිද?

හිරු නාලිකාවෙනුත් මට ටෙලිනාට්‍යයක රඟපාන්න ආරාධනා කළා. මම වැඩිපුර කැමැති සංගීතයට.

තාත්තාගේ සීයාගේ ගීතවලින් වැඩක් ගන්න අදහසක් තියෙනවාද?

තාත්තාගේ උමයංගනා කියන ගීතය මම පසුගිය දවස්වල එළිදැක්වූවා. තව තාත්තා කියපු ‘මා ඩිංගක්’ කියන ගීතය ලබන මාසේ එළිදක්වනවා. මේවත් ඔක්කොම ආතල් එකට හදපුවා. එහෙම මොකුත් ප්ලෑන් එකක් නැතිව හදපුවා. මම කොහොමත් සීයාගේ සින්දු බෑන්ඩ් එකත් එක්ක ගායනා කරනවා. ඒත් එක්කම සීයාගේ පැරණි ගීතයක් තිබෙනවා ‘මුතු පරෙයිය’ කියලා ඒක මම රීමේක් කරනවා. මම ඒ ගීතයට ආසයි.

තාත්තා ප්‍රියංකර පෙරේරාගේ අසනීප තත්ත්වයන් එහෙම කොහොමද?

අසනීප තත්ත්වය අවුලක් නෑ. දැන් තාත්තා සුවෙන් ඉන්නවා. බැහැයි ඉස්සර තරම් ප්‍රංසගවලට සහභාගී වෙන්නේ නැහැ. තෝරාබේරාගෙන තමයි ප්‍රසංගවලට සහභාගි වෙන්නේ.

වැඩි සද්ද බද්දයක් නැතිවම කසාදත් බැන්දනේ?

ඔව්නේ. මටත් එහෙම හිතෙනවා.

ඩිල්මින් ඇයි මේ නිහඬ?

මම බොහොම නිහඬ චරිතයක්. ඇත්තටම එළියට යනවා අඩුයි. බොහොම කිට්ටුම යළුවෝ කිහිපදෙනෙක් තමයි ඉන්නේ. මගේ මුහුණ ප්‍රසිද්ධ කරන්නේ නැතිව මගේ සින්දු මිනිස්සු අතරට යනවා නම් තමයි කැමැති. මගේ ආර්ට් එකට ෆෑන් බේස් එකක් හදාගන්න තමයි ට්‍රයි කරන්නේ.

සංගීත වැඩවලට බිරිඳගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ඇඳුමේ ඉඳලා එයා තමයි බලන්නේ. මගේ මියුසික් වීඩියෝ එකක් ගියොත් අනිවාර්යයෙන්ම එයා ඉන්නවා.

ඇයි මේ ශෝබනාගේ වැඩේට බිරිඳව ගත්තේ නැත්තේ?

ඒක ඇත්තටම එස් ජී එම් ලාගේ වැඩක් නේ. ඔවුන් තමයි සියලුම සැලසුම් හැදුවේ.

දිගටම සංගීත වැඩකටයුතු කරනවාද නැතිනම් ආපසු විදෙස්ගත වෙනවාද?

ලංකාවේ ඉඳලා සංගීත වැඩ කරන්න තමයි මගේ ප්ලෑන් එක. දන්නේ නැහැ කියන්න. ඉස්සරහට විදෙස් ගත නොවී වනගත වෙන්නත් පුළුවන්.

ප්‍රසංග වේදිකාවේදී ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර හොඳයි. බහුතරයක් මාව දන්නවා. බහුතරයක් මාව දන්නේ නැහැ.

ඩිල්මින් කියන්නේ ප්‍රියංකර දිල්හානිගේ පුතා කියලා ගොඩක් අය දන්නේ නැතිද?

නැහැ. දන්නේ නැහැ. මොකද මම ඒ දෙන්නගේ නම ඉස්සරහට ගේන්නේ නැහැ.

ඇයි මේ අම්මා තාත්තාගේ ජනප්‍රියත්වය ඔබේ ගමනට පාවිච්චි කරන්නේ නැත්තේ?

මම හිතන්නේ මගේ කියලා දෙයක් හදාගත්තා නම් දිගු ගමනකට හොඳයිනේ. අම්මා තාත්තා විකුණාගෙන කනවාට වඩා ඒක වටිනවානේ.

ඇත්තටම අම්මා තාත්තාගේ උදව් ඉල්ලන්න අකමැතිද?

මම අම්මා තාත්තාගෙන් උදව් ඉල්ලනවා හරි අඩුයි. අමාරු තැන්වලදී ඒ දෙන්නටම කතාබහ නොකර ඉන්නේ නැහැ. මට ඒ දෙන්නා කොහොමත් උදව් කරනවා.

ඩිල්මින් කියන්නේ මොන වගේ චරිතයක්ද?

මම ගොඩක් සංවේදී චරිතයක්. සංගීතයට හරි ආදරෙයි. සංගීතය තමයි මගේ ජීවිතය.

වායෝ සංගීත කණ්ඩායමට ගීතයක් කළා නේද?

තවම ඒ ගීතය රිලීස් කරලා නෑ. තනු නිර්මාණය සහ පද රචනය තමයි මම කළේ. ඇත්තටම මට මේ ආරාධනාව ආවේ වායෝ සංගීත කණ්ඩායමේ සවුන්ඩ් ඉංජිනියර් විනෝද්ගෙන්.

ඩිල්මින් ජනප්‍රියත්වයට අකමැතිද?

ජනප්‍රියත්වය පස්සේ යන්නේ නෑ. ජනප්‍රිය වෙන එක හොඳයි මගේ සිංදුවලට. මොකද මම ජනප්‍රිය වුණොත් මගේ සින්දු අහනවා. එතකොට මට ඒක ඇතුලේ ඕනෑ තරම් අත්හදා බැලීම් කරන්න පුළුවන්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment