අම්මා නැති නිවසේ තනිවූ දැරියට පියාගෙන් අඩන්තේට්ටම්

523

දැරිය ළමා නිවසකට – පියා පළා ගිහින්

දාසය හැවිරිදි තම දියණියට පහරදුන් බව කියන පියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

පහරදීමට ලක්ව ඇත්තේ ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් දැරියකි. පියා විසින් මෙම පාසල් දැරියට දිගින් දිගටම සිදුකරන පහරදීම් ඉවසා දරා ගැනීමට නොහැකිව ඇය මේ පිළිබඳ පාසලේ ගුරුවරියකට පවසා ඇත. පසුව මෙම දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියන් දෙදෙනෙකු විසින් පාසල් දැරිය සමග පැමිණ මේ ගැන වරාය පොලිසියට පැමිණිලිංකොට ඇත.

මීට මාස කිහිපයකට පමණ ඉහතදී මහත් ආන්දෝලනයකට ලක්වු වේයන්ගොඩ ප්‍රදේශයේ දි ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුවකරන අයෙකු ළගට ගොස් වේවැලකින් පහරදීම නිසා මෙම දැරියගේ

නැගණිය මියගොස් තිබුණි. ඒ සඳහා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ මෙම පාසල් දැරියගේ මව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පොලිසිය පවසයි. එම නිසා මෙම පාසල් දැරිය පියා සමග තනිවම නිවසේ පදිංචිව සිටී. දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකොට ඇති අතර ඇයට පහරදී ඇති බව එම පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. දැරිය ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයට යොමුකොට ඇති අතර සැකකාර පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment