අම්මා සමග තරහා වෙලා සංගීතය බලන්න ආ  දියණිය රංචු ගැසී දූෂණය කරලා

2478

සැකකරුවෝ 8 දෙනා සහ හෝටල් කළමනාකාරිය 6 වැනිදා තෙක් රිමාන්ඞ්

සිය මව සමග ආරවුලක් ඇති කරගෙන නිවසින් පිටවී ගොස් සංගීත ප‍්‍රසංග භූමියක රැුඳී සිටියදී බාලවයස්කාර පාසල් දැරියක රවටා රැගෙන ගොස් දින දහයක් තිස්සේ විවිධ ස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගනිමින් රංචු  ගැසී ඇය බරපතළ ලෙස දූෂණය කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් අටදෙනකු සහ අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන හෝටල් කළමනාකාරිය අපේ‍්‍රල් මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් පී.එම්.ගස්සාලි මහතා නියෝග කළේය.

කැකිරාව, රත්මල්කන්ද, තිබ්බටුවැව සහ ඉපලෝගම යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන ටී. කුමාරසේකර, අසිස් අහමඞ්, සහරාන් නියාස්, එස්.විශ්වනාත්, එම්.අයාස්, එස්.එල්.ඒකනායක, කිත්සිරි ඉලංගසිංහ, කරුණාතිලක ජයසිංහ යන සැකකරුවෝ සහ ඉපලෝගම කැකිරාව මාර්ගයේ හෝටලයක කළමනාකාරිනිය වූ සබීතා කුමාරිහාමි යන සැකකාරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

ලිංගික අතවරයට ලක්වූ වින්දිත දැරිය දැඩි ආරක්ෂාව සහිතව පරිවාස භාරයට පත් කරන ලෙසට කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතාට නියෝග කළ විනිසුරුවරයා දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියකු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර අදාළ වෛද්‍ය වර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළේය.

එම දැරිය අපයෝජනයට ලක් කිරීමට සම්බන්ධ අනෙකුත් සියලූම සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන්ට ද වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

වින්දිත දැරිය ඉකුත් 14 වැනිදා සිය මව සමග ඇති කරගත් ආරවුලක් හේතු කර ගෙන අමනාපවී නිවසින් පැන ගොස් ප‍්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පැවැති ස්ථානයක සිටියදී සැකකරුවන් කීපදෙනකු ඇය රවටා කැඳවා ගෙන ගොස් රංචු ගැසී බලහත්කාරයෙන් බරපතළ ලෙස දූෂණය කර ඇති බව අධිකරණය හමුවේ කරුණු දැක්විණි.

සැකකරුවන් විසින් වින්දිත දැරිය කැකිරාව සහ ඉපලෝගම යන පොලිස් බල ප‍්‍රදේශවලට අයත් පැන්නුම, වලව්වේගම සහ කන්නන්මඩුව මෙන්ම තවත් ප‍්‍රදේශ කීපයක පිහිටි හෝටල් සහ නිවාස කීපයක දී දින දහයක පමණ කාලයක් බලහත්කාරයෙන් රඳවා ගෙන දූෂණය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පැවසූ පොලිසිය තම දියණිය ආ ගිය අතක් නොමැති බව පවසමින් ඇගේ මව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

මේ අතර දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරනු ලබන තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත ඉපලෝගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි හේරත් සහ කැකිරාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න වැලිකල යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු
 

advertistmentadvertistment
advertistmentadvertistment