අමාරුම කාලෙත් එලවළු මාෆියාවක්

311

● ලාභ ගන්නෙ අතරමැදියො

● එළවළු ප්‍රවාහනයට දුම්රිය දුන්නොත් 50%කින් මිල අඩු කරන්න පුළුවන්

● අපෙන් දෙසීයට ගන්න කිලෝ එක කොළඹ විකුණන්නෙ 800ට

● නිෂ්පාදන වියදම සියයට දාහකින් ඉහළ ගියත් අපට සහනයක් නෑ… ගොවීහු කියති

● නුවරඑළියෙ එළවළු මිල කියන තරම් ගණන්ද?

අදින් වසර 100කට පෙර අසල්වැසි ඉන්දියාව විසින් එළවළු ප්‍රවාහනය පිණිස භාවිතා කරන ලද්දේ ගොන් කරත්තය. කල්යත්ම එහි අසාර්ථකත්වය සහ පාඩුව තේරුම්ගත් ඉන්දියාව ඒ සඳහා දුම්රිය තෝරා ගැනීමත් සමග ගොන් කරත්තයෙන් එළවළු ප්‍රවාහනය කිරීමේ ‘ගොන්කම’ අවබෝධ වී ඇත. ඒ සඳහා දුම්රිය තෝරා ගැනීමත් සමග ගොන් කරත්තයෙන් එළවළු ප්‍රවාහනය කිරීමේදී සිදු වූ 40%ක නාස්තිය නැති වූ අතර අපට වඩා විශාල රාජ්‍යයක් වූ ඉන්දියාවේ ඕනෑම තැනකට දින හතරක් ඇතුළත එළවළු ප්‍රවාහන කටයුතු කඩිනමින් සිදු කිරීමේ ක්‍රමවේදය ආරම්භ විය. එවැනි ගමනක් පිණිස ගොන් කරත්තයකට දින 21ක් පමණ ගත වී ඇත.

අසල්වැසි ඉන්දියාවෙන් ලබාගත් උදාහරණයක් සහිතව මෙම සටහන ආරම්භ කරන ලද්දේ මේ දිනවල මෙරට පවතින එළවළු මිල ගණන් සම්බන්ධව යම් හෙළිදරව්වක් සිදු කිරීම පිණිසය. ඉන්ධන, ගැස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු දේ දිනෙන් දින මිල ඉහළ යන වටපිටාවක එළවළු මිලට සිදු වූ සන්තෑසිය පිළිබඳව පාර්ශ්ව කීපයක් ඔස්සේ සිදුකළ සොයා බැලීම තුළ හෙළිදරව් වූ වැදගත්ම කරුණු බවට පත්වූයේ මිල වැඩි වීමේ ‘සතුට’ සහ ‘වාසිය’ අතරමැදියන් විසින් භුක්ති විඳින බවක්ය. එළවළු වගාකරුවන් සහ පාරිභෝගිකයන් කබලෙන් ලිපට ඇද දැමූ එම අමිහිරි කතාව අප හමුවේ හෙළිදරව් කර සිටියේ මහ පොළොවත් සමඟ ඔට්ටු වන නුවරඑළිය ප්‍රදේශයේ එළවළු ගොවියන් කීප දෙනකු විසින්ය. ඔවුන් සඳහන් කර සිටින්නේ පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ සහ රටවටා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන තුළ අලෙවි වන එළවළු මිල ගණන් ‘ඒ තරම් ගණන්’ බව ඔවුන් දැන ගන්නේ රූපවාහිනී හා පුවත්පත් හරහා බවය.

එය නුවරඑළියට පමණක් සීමා වී නැත. හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ ආදී ප්‍රදේශවල එළවළු ගොවීන් ද මුහුණ දී සිටින පොදු ගැටලුවක් බවට පත්ව ඇත්තේ තම අස්වැන්න පිණිස නිසි වටිනාකමක් නොලැබෙන වටපිටාවක් තුළ එළවළු මිල ගණන් මේ දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යෑම පිළිබඳවය. ඒ පිළිබඳ අදහස් දැක්වූ එළවළු වගාකරුවන් කීපදෙනෙක් තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර සිටියේ මේ ආකාරයෙන්ය.

“එළවළු මිල ගණන් ඉහළ දැමීම පිටුපස්සෙ ලොකු ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. අපි එහෙම කියන්නෙ හේතුවක් ඇතිව. උදාහරණයකට ගත්තොත් අපෙන් රුපියල් 100ට 150ට ගන්න එළවළු කිලෝ එකක් කොළඹදී මේ වෙද්දි රුපියල් හාර පන්සියකට අලෙවි කරනවා. නිෂ්පාදන වියදම සියයට දාහකින් විතර වැඩි වෙලා තිබෙන වෙලාවක තමයි අපි දැන් වගා කටයුතු කරන්නෙ. නමුත් අපේ නිෂ්පාදන මිලදී ගනිද්දි ඒක ගන්නෙ සොච්චම් මුදලට. ඒක ප්‍රතිශතයක් ලෙස ගත්තොත් වෙළඳපොළේ මේ දිනවල අලෙවි වන මිලට වඩා සියයට හැත්තෑවක්, අසූවක් පමණ අඩුවට තමයි ගොවියන්ගෙන් එළවළු ටික මිලට ගන්නෙ.”

මේ ටික අරන් කොළඹ යන ටිකට තමයි හතර පස් ගුණයක් මිල ඉහළ දාලා ඒක පාරිභෝගිකයාට අලෙවි කරන්නෙ. මෙතනදි එළවළු වගාකරුවා සහ පාරිභෝගිකයා කියන පාර්ශ්ව දෙකම පීඩාවට පත් වෙනවා. මේවා ගැන ගොවියෝ ලෙස අපි වෙළෙන්දන්ගෙන් විමසද්දී ඔවුන් කියන්නෙ ඩීසල් මිල ඉහළ යෑම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු- වැඩි වුණා කියලා.

සාමාන්‍යයෙන් මේ පළාතෙන් එළවළු පටවගෙන පල්ලම් බහින ලොරියක කිලෝ 5000ක් 6000ක් අතර ප්‍රමාණයක් පටවනවා. ඩීසල් වැඩිවීමේ මිල ගණන් එක්ක සසඳලා බලද්දි කිලෝ එකකට රුපියල් දාහතක් විතර මුදලක් ප්‍රවාහන ගාස්තු ලෙස වෙන් කරන්න වෙනවා. එළවළු ප්‍රවාහනය කරන පිරිස තමන්ගෙ ලාභයත් වෙන් කරා කියමුකෝ. ඒත් මේ තරම් මිල ඉහළ යෑමක් සිද්ධ වෙන්න බෑ. මේ අමානුෂික මිල වැඩි කිරීම්වලින් ලැබෙන විශාල මුදලක් අතරමැදිරියන් අතට යනවා. නුවරඑළියේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද (03 දා) මිල ගත්තොත් ගෝව කිලෝ එකක් ගොවියගෙන් ගන්නෙ රුපියල් 240යි. තොග මිල 260යි. කැරට් කිලෝ එක අපෙන් ගන්නෙ රුපියල් 270ට. තක්කාලි කිලෝවක් 450යි. නමුත් මේවා කොළඹට එද්දි හතර පස් ගුණයකින් වැඩි වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද කියන එක ගැන අපි දිගින් දිගටම ප්‍රශ්න කර සිටිනවා.”

අමාරුම කාලෙත් එලවළු මාෆියාවක්

මෙම අසීමාන්තික මිල වැඩිවීමේ ප්‍රතිලාභ අහිමි උඩරට ගොවි ප්‍රජාව තම නිෂ්පාදන අලෙවි කිරීම පිණිස පැවති වාසිදායකම ක්‍රමවේදය අහිමිවීමේ කම්පනයෙන් ද පීඩා විඳිමින් ඇත.

ගොවීහු පෙන්වා දෙන්නේ තම නිෂ්පාදන පාරිභෝගිකයාට අලෙවි කිරීමේදී එම කටයුත්ත තම තමන්ටම සිදු කළ හැකි බවත් එවැනි ක්‍රමවේදයක් හඳුන්වාදීම මගින් ගොවියාගේ ආර්ථිකය මෙන්ම පාරිභෝගික ජනතාවට ඒ හරහා 50%ක පමණ වට්ටමක් ලබාදිය හැකි බවත්ය.

කොරෝනා වසංගතය අපේ රටට එනකම් දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීමේ පහසුකම තිබුණා. නමුත් කොරෝනා පැමිණීමත් එක්ක ඒ ක්‍රමවේදය නතර වුණා. දැන් නැවතත් දුම්රියෙන් අපේ එළවළු ටික ප්‍රවාහනය කරන්න පුළුවන්. නමුත් තාමත් ඒක සිද්ධ වෙන්නෙ නෑ. රජය දැන්වත් මේ ගැන සොයා බලන්න ඕන. අපිට සැකයක් පවතිනවා මේක කරන්නෙ නැත්තෙ කාගෙහරි බලපෑමක් හේතුවෙන් ද කියලා. දුම්රියෙන් එළවළු ටික ප්‍රවාහනය කරන්න නැවත අවස්ථාව දුන්නොත් සතියක් ඇතුළත එළවළු මිල 50%කින් අඩු කරලා පෙන්වන්න අපට පුළුවන්…”

මේ දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යන එළවළු මිල හේතුවෙන් බැට කනු ලබන්නේ පාරිභෝගික ජනතාවය. ඊට අමතරව මිල වැඩි වීමේ කිසිම ප්‍රතිලාභයක් එළවළු වගාකරුවන්ට ලැබෙන්නේ ද නැත. දැඩි දුෂ්කරතා මධ්‍යයේ වගා කටයුතුවල නිරත ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරමින් ඇත. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම තුළ තම නිෂ්පාදන සාධාරණ මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත අලෙවි කළ හැකි බව ඔවුන් අවධාරණය කර සිටින්නේ එලෙසින්ය.

මෙම සටහන ආරම්භ කිරීමේදී මීට වසර 100කට පෙර ඉන්දියාව විසින් එළවළු ප්‍රවාහනය පිණිස ගොන් කරත්ත වෙනුවට දුම්රිය යොදා ගත් බව සිහිපත් කර සිටියේ එවැනි ඉදිරිගාමී වැඩපිළිවෙළක් පිණිස බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමුවනු ඇතැයි යන අපේක්ෂාවෙන්ය. නැවත දුම්රිය මගින් එළවළු ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් වඩාත් සාර්ථක අයුරින් ආරම්භ කළ හැකි නම් ඉදිරියේ හෝ දිනෙන් දින ඉහළ යන එළවළු මිල යම් පාලනයක් ඇති කළ හැකි බව අපගේ ද වැටහීමය. නුවරඑළිය, හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ ආදී ප්‍රදේශවල එළවළු වගාකරුවන් ද දැඩිව අවධාරණය කර සිටින්නේ එළවළු සම්බන්ධයෙන් රට තුළ හිස ඔසවන කළුකඩ මාෆියාව ගොවියාට කිසිසේත් යහපත් නොවන බවත් පාරිභෝගික ජනතාව ද ඉන් පීඩාවට පත්ව ඇති බවත්ය. දුම්රියට හිතක් පපුවක් නැතත් එම දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු මේ සම්බන්ධව සංවේදී වේ නම් ඉදිරියේදී රටේ එළවළු මිල මේ තරම් ඉහළ නොයනු ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment