අමිල ජීවන්ත පියතුමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි අයිතිවාසිකම් පෙත්සමක්

115

නිර්පාක්‍ෂික තරුණ තරුණියන් ඇතුළු ජනතාව පුරා මාස තුනකට අධික කාලයක් තිස්සේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමහින් ගාලුමුවදොර පිටියේ පැවැත්වූ අරගලයට සක්‍රීයව දායකත්වය දැක්වූයේ යැයි චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙසත්, එලෙස අත්අඩංගුවට ගැනීමෙන් හා ඒ සඳහා වෑයම් දැරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිගමනය කරන ලෙස ඉල්ලා අමිල ජීවන්ත පීරිස් පියතුමා ඊයේ (02දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ උදාර මුහන්දිරම්ගේ හා නීතිඥ නාමල් කරුණාරත්න යන මහත්වරුන් මගින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා,එහිඅපරාධඅංශයේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තොන්නකෝන්, යුද ගුවන් හා නාවික හමුදාපතිවරුන් හා නීතිපතිවරයා නම් කර ඇත.

රටේ පුරවැසියකු සතු වගකීමක් ඉටුකිරීමේ පරමාර්ථයෙන් එකී සාමකාමී අරගලයට තමන් සක්‍රීයව දායකත්වය දැක්වූ බවත් පොදු දේපළ අලාභ හානි කිරීමකට හෝ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට කිසිදු දායකත්වයක් නොදැක්වූ තමන්ව අසත්‍ය චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම හෝ ඒ සඳහා වෑයම් දැරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ මූලික අයිතිවාසිකම් ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, සිය පෙත්සම මගින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි. එබැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම පෙර කී වගඋත්තරකරුවන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙසත් අමිල ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment