අමිහිරි මතකයන් මැදින් විල්පත්තු වන උයනට…

153

සංචාරේ විශේෂාංගය මගින් අප ඔබව නිරන්තරයෙන්ම කැඳවාගෙන යන්නේ සොම්නසින් පිරි සුන්දර චාරිකාවකි. ඒ අනුව දැනටමත් අප විසින් ඔබව විල්පත්තුව ජාතික උද්‍යානයට කැඳවාගෙන ගිය වාර කිහිපයකදීම එහි සෞන්දර්යයට මුල්තැනදී සොම්නසින් එම මිහිර විඳ ගත්තා ඔබට මතක ඇති.

එනමුත් අද අප ඔබව විල්පත්තුව වෙත කැඳවාගෙන යන්නේ එවන් සෞන්දර්ය චාරිකාවකම නොවේ. ජගත් කීර්තියට පත් මෙම අභයභූමිය අවස්ථා කිහිපයකදීම ලෙයින් තෙත් වුණු අතර, මීට හරියටම වසර 38 කට පෙර ඉතාම ඛේදනීය සිද්ධියකට මුහුණ දෙන්නට විල්පත්තුව ජාතික උද්‍යානයට හා එහි කාර්ය මණ්ඩලයට සිදුවිය.

එනම්, 1985 මැයි මස 14 වැනිදා අලුයම පුත්තලමට ඔබ්බෙන් වන වනාතවිල්ලුව ප්‍රදේශයෙන් රජයේ බස් රථයක් පැහැර ගත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් එහි ගමන් කර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සිටි බැතිමතුන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර, ආපසු පැන යන අතරේ නොච්චියාගමින් හුණුවිලගම හරහා ගොස් විල්පත්තුව ජාතික උද්‍යානයේ සේවයේ නියුතු වූ වන ජීවී නිලධාරීන් 24 දෙනකු මරා දැමූහ.

ඉතා ඛේදනීය හා නින්දිත ප්‍රහාරයක් වූ මෙහිදී උද්‍යාන මූලස්ථානයේ එදා සේවයේ නියුතු වූ නිලධාරීන්, සෆාරි ජීප් රථකරුවන් ඇතුළු 09 දෙනෙක් ඝාතනය කරන ලද අතර, උද්‍යාන මූලස්ථානයේ සිට කිලෝමීටර් 9 ක් දුරින් පිහිටි මරදන්මඩුව ප්‍රදේශයේ මාර්ග තැනීමේ කාර්යයේ යෙදී සිටි වන ජීවී කම්කරුවන් 14 දෙනෙක් හා මුහුදු ඉමේ පිහිටි පූකුලම ප්‍රදේශයේදී තමන්ට මාර්ගය පෙන්වීමට ගිය වන ජීවී නිලධාරියකු ඇතුළු 24 දෙනකු මරණයට පත් කළහ.

එනම්, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පුදබිමට හා විල්පත්තුව ජාතික උද්‍යානයට එකම දිනකදී එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බැතිමතුන් හා වන ජීවී නිලධාරීන් ඇතුළු 153 දෙනකු මිය ගොස් තවත් 316 දෙනකු තුවාල ලබන්නේ මීට වසර 38 කට පෙර 1985 මැයි 14 වැනිදාය. ඉකුත් 14 වැනි ඉරිදා දිනයට මෙම ඛේදජනක සිද්ධියේ, එම ම්ලේච්ඡ ප්‍රහාරයේ මතකයට වසර 38 ක් සපිරිණි.

එම මතකය අවදි කරමින් සැමරුම් උත්සවයක් ඉකුත් 14 වැනි ඉරුදින විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයේදී පැවත්වූයේ එම සිද්ධියේදී මියගිය වනජීවී නිලදරුවන් 24 දෙනකු සිහිපත් කර ඔවුන්ට පින් අනුමෝදන් කරනු සඳහාය. මේ දක්වා යම් සිද්ධියකදී එකවර, එකම තැනකදී වැඩිම වන ජීවී නිලධාරීන් පිරිසක් දිවිදී ඇත්තේ ද මේ සිද්ධියේදීය.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගිය පිරිසට පිං අනුමෝදන් කර, එම දුක් බර සිද්ධිය සිහිපත් කිරීමත්, සිද්ධියේදී ඉතා අසීරුවෙන් දිවි ගලවාගත් පිරිසට සෙත් ශාන්තිය පුදකිරීම සඳහාත් වත්මන් උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා විසින් සැමරුම් උත්සවයක් සැමරුම් දිනයේදී සංවිධානය කර තිබිණි.

මේ අනුව උද්‍යාන මූලස්ථාන කාර්යාලයේදී සියයකට වැඩි පිරිසකගේ දායකත්වයෙන් ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කර තිබිණි. අනුරාධපුර ලේ බැංකුව මගින් රුධිර පරිත්‍යාග භාරගන්නා ලද අතර, රුධිරය පරිත්‍යාගකරුවකු සඳහාම කිරි වීදුරුවක්, දිවා ආහාරය හා වටිනා පලතුරු පැළයක් බැගින් බෙදා දෙන ලදි. දිවා ආහාරය සඳහා දායකත්වය ලබාදී තිබුණේ 1985 දී උද්‍යානයට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවූ මොහොතේ 10 හැවිරිදි දරුවකුව සිට උද්‍යාන කාර්යමණ්ඩල නිවහනක් තුළදී තම අම්මා සමග ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව අසීරුවෙන් දිවි ගලවාගත් වත්මන් රේගු නිලධාරියකු වන දර්ශක වීරසේකර මහතා විසිනි.

අමිහිරි මතකයන් මැදින් විල්පත්තු වන උයනට…

බනිස් හා කිරිපිටි ලබාදීමෙන් ගිහාන් කනගරත්නම්, පැළ ලබාදීමෙන් මනිලාල් ද සිල්වා, දියර කිරි ලබාදීමෙන් විල්පත්තුව හන්දිය සෆාරි ජීප් සාමාජිකයන් වන අශෝක, සාගර, දිසානායක, රවීන්‍ද්‍ර හා කැළුම් උපකාර කර තිබිණි.

දර්ශක වීරසේකර මහතා සහ මරදන්මඩුව ප්‍රහාරයේදී දරුණු ලෙස වෙඩි වැදී ජීවිතය ගලවා ගත් වන ජීවී නියාමක (විශ්‍රාම) හේමපාල මහතාගේ සහභාගිත්වයෙන් තවත් ආගමික උත්සවයක් උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා සහ කාර්ය මණ්ඩලය විසින් මරදන්මඩුවේදී සංවිධානය කර තිබිණි.

වනජීවී අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා සහ වයඹ කලාපය භාර වන ජීවී සහකාර අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සහ උද්‍යාන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද මරදන්මඩුවේදී එදා සිද්ධිය වූ ස්ථානයේදී දිවි පිදූවන් සිහිපත් කර කුඩා ස්මාරකයක් මත පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදි. 1985 ප්‍රහාරයේදී ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යන ලද අවස්ථාවේදී මරදන්මඩුව වැවට පැන අසීරුවෙන් දිවි ගලවා ගත් එවක වැඩබලන උද්‍යාන පාලකව සිට පසුව දිවංගත ඒබ්‍රහම් වීරසේකර මහතා (දර්ශක වීරසේකර මහතාගේ පියාණන්) සහ මියගිය පිරිස සිහිකර අටපිරිකර පූජාවක්ද මෙහිදී සිදුකෙරිණි.

වනෝද්‍යානයක් තුළදී එනම්, අභය ස්ථානයක් තුළදී සිදුවූ මෙවන් ඛේදවාචකයකින් ත්‍රස්තවාදීන් යනු කෙතරම් ම්ලේච්ඡයින් පිරිසක්ද යන්න පැහැදිලි වේ. මෙම සිද්ධිය පමණක් නොව, ඉන්පසු අවස්ථා දෙකකදීම ත්‍රස්තවාදීහු අහිංසක සංචාරකයින් සහ වන ජීවී නිලධාරීන් එල්ල කරමින් ප්‍රහාර දෙකක් ක්‍රියාත්මක කළහ. මේ එක් අවස්ථාවකදී විල්පත්තුව පළමු නිලධාරී, උද්‍යාන භාර නිලධාරී වසන්ත පුෂ්පානන්ද මහතාද ඝාතනය කෙරිණි.

අමිහිරි මතකයන් මැදින් විල්පත්තු වන උයනට…
පිං අනුමෝදනාව

වනෝද්‍යානයක සොම්නස දනවන කාරණා අතර එවන් දොම්නස දනවන සිද්ධීන්ද පවතින බව බොහෝ දෙනකු දන්නේ නැත. සැබැවින්ම වන සතුන්ට අභය භූමියක් වන තැනක මිනිසුන් වන අපට ද ඒ තුළ අභය දානය ඇත. නමුත්, සදාචාරය, මිනිසත් බව වියැකුණු සමාජයක අපට එවන් සාධාරණත්වයක් අත් නොවන බව විල්පත්තු ප්‍රහාර අපට හඬගා කියයි.

ඒ අතර හද පාරවනම ප්‍රහාරය මෙසේ 1985 දී සිදුවූ වන ජීවී නිලධාරීන් එක තැනකට ගෙනවිත් සමූහයක් ලෙස ඝාතනය කරන ලද මෙම සිද්ධියයි. කිසිදා අමතක නොවන මෙම ම්ලේච්ඡත්වය යළි යළිත් හාරා අවුස්සනවා නොව, එහිදී දිවිදුන් නිලධාරීන් සිහිපත් කර සැමරුම් පින්කමක් සිදුකරන්නට උද්‍යාන භාර නිලධාරී සුරංග රත්නායක මහතා විසින් ගන්නා ලද තීන්දුව ඒ අතින් අගනේය. මෙම පිංකමට සහභාගී වීම සඳහා “සංචාරේ” අපට ද අවස්ථාව උදාවීම එක අතකින් භාග්‍යයකි. මන්ද මිය ගිය අය වෙනුවෙන් පින් පෙත් පුරන්නට අපට ද අවස්ථාව මින් උදාවූ නිසාය. ඒ සඳහා අපට ප්‍රවාහන අනුග්‍රහය ලබාදෙමින් ආරාධනය කරන ලද්දේ 1985 දී සිදු වූ මෙම අවාසනාවන්ත ප්‍රහාරයේදී වයස අවුරුදු 10 දී ත්‍රස්තවාදී අත්අඩංගුවට පත්ව අසීරුවෙන් දිවි ගලවා ගත් දර්ශක වීරසේකර මහතා සහ උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා විසිනි. ඒ දෙපළට මෙන්ම, මිය ගිය සියලුම නිලධාරීන්ට හා මරදන්මඩුව ප්‍රහාරයේදී වෙඩි වැදී මළ කඳන් අතර සිට ජීවත් වන්නට වාසනාව ලැබූ හේමපාල (සෝමපාල) අයියාටත් දීර්ඝායුෂ පතමින් විල්පත්තු ප්‍රහාරයට වසර 38 ක් ගතවන මේ මොහොතේ අපගේ “සංචාරේ” විශේෂාංගය ඒ සියලු දෙනාට උපහාරයක් වශයෙන් මෙවර පුද කරන්නට අප අවස්ථාවක් කර ගනිමු.

ඡායාරූප සහ සැරිසර – ජගත් කණහැරආරච්චි
වන සතුන්ගේ විශේෂ ඡායාරූප –
නීල් ප්‍රනාන්දු සහ අන්තර්ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment