අමුද්‍රව්‍ය මිල 200% කින් නැග්ගත් රසකැවිලි මිල වැඩි කළේ ඉතා අවම ගණනකින්

135

ශ්‍රී ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

සියයට සියයක් දේශීය ව්‍යවසායකයන්ගෙන් සමන්විත සිය කර්මාන්තය තුළ මිල ඉහළ දැමීම සිදුකර ඇත්තේ ලාභය ඉතා අවම වන ආකාරයෙන් බව ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්. එම්. ඩී. සූරියකුමාර මහතා පැවසීය.

අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමට සාපේක්‍ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවද පසුගිය කාලයේ රසකැවිලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් සියයට 200 කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවද සූරියකුමාර මහතා සඳහන් කළේය.

කොළඹ හිල්ටන් හෝටලයේ පෙරේදා (15දා) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූරියකුමාර මහතා මේ බව කීවේය. මේ මාධ්‍ය හමුවට ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සෙසු නිලධාරීහු සහ සාමාජිකයෝ රැසක් ද සහභාගි වී සිටියහ.

අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑමත් සමග වෙළෙඳපොළේ අනෙකුත් සියලුම භාණ්ඩ මිල ගණන් වැඩිවී තිබුණත් තම කර්මාන්තය තුළ ඇති ‘බිස්කට්’ නිෂ්පාදන සඳහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සමාජ මාධ්‍ය ජාල හරහා විශාල ප්‍රචාරයක් ගෙනයමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ භාණ්ඩ මිල වැඩිවීම් බිස්කට් නිෂ්පාදනයට පමණක් ලඝු කොට දේශීය කර්මාන්තයක් මෙලෙස අපහසුතාවට පත් කරන්නේ ඇයි දැයි සොයාබලමින් සිටිනවා. බිස්කට් පොඩි දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වාම ඉතාම ප්‍රචලිත ආහාරයක්. ඇත්තටම සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් යම්කිසි යටි අරමුණකින් මේ කර්මාන්තයට පහර ගසමින් සිටින බවද ශ්‍රී ලාංකික නිෂ්පාදන කර්මාන්තය රැකගැනීම තම අරමුණ බවද එස්. එම්. ඩී. සූරියකුමාර මහතා කීවේය.

රසකැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි කිලෝවක මිල සියයට 277 කින් ද, සීනි කිලෝවක මිල සියයට 180 කින් සහ එළවළු තෙල් මිල සියයට 195 කින් ද ඉහළ ගොස් තිබුණත් ඊට සාපේක්‍ෂව බිස්කට් මිල ඉහළ දමා ඇත්තේ සියයට 171 කින් බවද මෙහිදී කතා කළ සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක බණ්ඩාර මහතා පැවසීය.

මේ මිල වැඩි කිරීම් කැමැත්තෙන් කරන දෙයක් නොවන බවත් එසේ නැතහොත් තම සමාගම් පවත්වාගෙන යෑමට නොහැකි වන බවත් ඒ මහතා කීවේය.

මෙහිදී ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ උප සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා ද කතා කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත, චමින්ද සිල්වා
ඡායා – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment