අමුද්‍රව්‍ය ගේන්න ඩොලර් නැහැ – පාවහන් කර්මාන්තය අනතුරක!

303

ඇපල්, චීස් වැනි අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය සඳහා වැයකරන විදේශ විනිමය (ඇමරිකන් ඩොලර්) මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමට වැය කරන ලෙස පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටී. කොවිඞ් නිසා බැටකා සිටින නිෂ්පාදකයන් අමුද්‍රව්‍ය හිඟයෙන් තවත් අසරණවී ඇතැයි ද එම සංගමය කියයි.

අමුද්‍රව්‍ය ආනයනය කර රටේ පාවහන් නිෂ්පාදනයෙන් සියයට 95ක් පමණ මෙරටදී නිපදවීමට හැකියාව තිබියදී එයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබානොදී ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය අකර්මණ්‍ය කර විදෙස් රටවලින් ගජමිතුරන්ට බාල නිමිභාණ්ඩ ගෙන්වීම ලබාදීමටද යන සැක මතුවන බව එම සංගමයේ උප සභාපති ප‍්‍රියංක නෙවිල් මහතා ඊයේ ( 28 දා) පැවැති මධ්‍ය හමුවකදී පැවසීය.

රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා හා කර්මාන්ත ඇමැතිවරයා කටයුතු කරමින් සිටින විට ඇතැම් නිලධාරීන් සහ මූල්‍ය ආයතන එය කඩාකප්පල් කිරීමට වැඩ කටයුතු කරමින් සිටින බව ද ඔහු කීය.

රටේ කොඳුනාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සීමා පැනවුවහොත් නිෂ්පාදන ක‍්‍රියාවලිය නැවතී රැුකියා අහිමිවීමට අමතරව මූල්‍ය ආයතන හා බැංකු පද්ධතියට සිදුවන අවදානම ඉතා අධික විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

එම නිසා රජය මැදිහත්වී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැුකගැනීම සඳහා අමුද්‍රව්‍ය ආනයනයට විදේශ විනිමය භාවිතා කිරීමට ප‍්‍රමුඛත්වයක් දෙන ලෙස මූල්‍ය ආයතන සහ බැංකුවලට උපදෙස් දිය යුතු බව ද නෙවිල් මහතා පැවසීය.

රට තුළ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදනය සඳහා සෘජු හා වක‍්‍ර ආකාරයෙන් ලක්ෂ 05ක පමණ පිරිසක් සම්බන්ධ වන බවත් අමුද්‍රව්‍ය නොමැතිව මෙම කර්මාන්තයද වැසී ගියහොත් එහි බරද පැටවෙන්නේ රජය මත බවත් ඔහු කීය. රටේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ප‍්‍රමාණය ලක්ෂ 30කට අධික බවත්, මින් වැඩි පිරිසක් අමුද්‍රව්‍ය හිඟය නිසා සිය නිෂ්පාදන කරගෙන යෑමේ දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් ඔහු කීය.

රජය මැදිහත් වී අමුද්‍රව්‍ය ගෙන්වීමට විදෙස් විනිමය ලබා දෙනවා නම් රට තුළ නිෂ්පාදනයන් වැඩිකර පාසල් දරුවන් ඇතුළු රටේ අවශ්‍යතාවයට නිෂ්පාදනයන් කර අතිරික්තය අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීමටත්, රැුකියා පද්ධතියත් ආරක්ෂා කර, බැංකු ණය ගෙවා බැංකු පද්ධතියද ශක්තිමත් කිරීමටත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට හැකියාව ලැබෙන බව ද නෙවිල් මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment