අමුද්‍රව්‍ය හිඟකමින් නෝර්ත් සී ආයතනය වැසී යෑමේ අවදානමක: නිලධාරීන්ට කොමිස් ලැබෙන හින්ද ඇණවුම් ලබාදෙන්නෙ පෞද්ගලික අංශයට

446

කෝටි ගණනක යන්ත‍්‍ර සූත‍්‍ර දිරාපත් වෙනවා සේවක වැටුප් පවා ගෙවන්න නොහැකි වෙලා

ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන වෙන්නප්පුව – ලූනුවිල ප‍්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන නෝත් සී කර්මාන්ත ශාලාවේ වර්තමානයේ පවතින ගැටලූ රැුසක් හේතුවෙන් එහි සේවකයන්ට දුෂ්කරතා රැුසකට මුහුණ පෑමට සිදුව ඇත.

ධීවර දැල් ආම්පන්න නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාවේ සිදු කරනු ලබයි. 1982 වර්ෂයේ සී-නෝර් ආයතනය නමින් ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාව 2016 එවකට පැවැති රජයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නෝත් – සී නමින් නම් කර තිබේ. එලෙස ආරම්භයේ පැවති නම වෙනස් කිරීම සම්බන්ධව එවකට සේවකයන් මෙන්ම විවිධ පාර්ශව දැඩි ලෙස විරෝධය පළ කළහ.

ධීවර ජනතාවට අවශ්‍ය දැල් ආම්පන්න විශාල වශයෙන් නිෂ්පාදනය කරන නෝර්ත් සී ආයතනය මේ වන විට වැසී යෑමේ තර්ජනයට ලක්ව ඇති බව එහි සේවකයෝ පවසති.

දැල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟකම මීට ප‍්‍රධානම හේතුව බව සේවකයෝ පෙන්වා දෙති.

රුපියල් කෝටි ගණන් වැයකර ඇති දැල් ආම්පන්න නිෂ්පාදනය සඳහා භාවිතා කරන යන්ත‍්‍ර සූත‍්‍ර විශාල ප‍්‍රමණයක් කිසිදු ප‍්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් පවතී. ආරම්භයේදී සේවකයන් දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් සේවය කළ අතර මේ වනවිට සේවය කරන සේවකයන්ගේ

සංඛ්‍යාව අනූහතකි. ආයතනයට වර්තමානයේ එම සේවකයන්ගේ වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් ද උදාවී ඇති බව සේවකයන් පෙන්වා දෙති.

වර්තමානයේ පවතින ඩොලර් අර්බුදයට මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයෙන් විශාල දායකත්වයක් සපයා දීමට හැකි බවත්, කඩිනමින් කර්මාන්ත ශාලාව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන මෙන් එහි සේවකයෝ ඉල්ලා සිටිති.

කර්මාන්ත ශාලාවේ වර්තමානයේ පවතින ගැටලූ සම්බන්ධව සේවකයෙක් ‘විසිදැල’ ට අදහස් පැවසුවේ මෙලෙසිනි.

ප‍්‍රියංකර පෙරේරා (ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්) –

මේ ආයතනය වසර හතළිහකට පෙර එවකට සිටි ධීවර අමාත්‍ය පෙස්ටස් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ඇරැුඹුවේ ප‍්‍රදේශයේ ධීවර ජනතාවගේ දැල් ආම්පන්න අවශ්‍යතාව සපුරාලීම සඳහා. වර්තමානය මේ ආයතන දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී ඇති බව පාලන අධිකාරිය දැනුම් දෙනවා. දැල් සැකසීම සඳහා අවශ්‍ය මුදල් නොමැතිකමින් නිෂ්පාදන කටයුතු නැවතිලා. අපිට නියමිත දිනට අපේ පඩිය ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතිනවා.

ඊට අමතරව ගිනිගත් නැවෙන් හානියට පත් ධීවර ජනතාවගේ දැල් ආම්පන්න ඔවුනට ලබාදීමට ඒවා නිෂ්පාදනය කිරීමට අපගේ ආයතනයට හැකියාව තිබියදී පෞද්ගලික අංශයට පාලනාධිකාරිය ලබාදීම ගැන දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා. ඇත්තෙන්ම එසේ ලබාදීම ගැන අපි සොයා බලන විට අපට හැෙඟන්නේ නිලධාරීන් කිහිපදෙනකුගේ

අවශ්‍යතාව මත සිදුකළ යුත්තක් බවයි. මේ පවතින අර්බුදය කඩිනමින් විසඳුවේ නැත්තං විශාල ධනස්කන්ධයක් නාස්ති වෙනවා. මේ කර්මාන්ත ශාලාව යළි පටන් ගැනීමට, අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

කර්මාන්ත ශාලාවේ සේවා පරීක්ෂක ජේ. ජේ. එස්. පී. කුමාර –

‘‘මම මේ ආයතනයේ සේවයට ඇවිල්ල වසර විසි තුනක් වෙනවා. ඒ කාල වකවානුවේ මේ ආයතනය ප‍්‍රදේශයේ ඉතා දිදුලන ආයතනයක් බවට පත්වෙලා තිබුණා.

නමුත් දැනට වසර කීපයක සිට ආයතනය ක‍්‍රමයෙන් පරිහානියට පත්වෙලා. ඒකට ප‍්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මෙම ආයතනයට වරින් වර පැමිණෙන පාලනාධිකාරියේ අවිධිමත් ක‍්‍රියා පිළිවෙතයි.

මෙම ආයතනයත් යාපනය සහ වීරවිල තවත් ආයතනය සමඟ තමයි ලංකාවේ දැල් ආම්පන්න සැපයුම සිදු කරන්නේ. රජය සතු එකම ආයතනය. ඒ වගේම තව පෞද්ගලික අංශයේ ආයතන කීපයක් තියෙනවා. අපට පේන විදිහට මේ අපේ නිලධාරීන් වැඩිපුරම දැල් ආම්පන්න සඳහා ඇණවුම් බාර දෙන්නෙ පෞද්ගලික අංශයට. මොකද ඒ හේතුවක් තියෙනවා ඒ ගොල්ලෝන්ට කොමිස් යනවා. ඒකට හොඳම උදාහරණය තමයි අර ගිනි ගත්තු නැවෙන් හානියට පත් ධීවර ජනතාවට අවශ්‍ය දැල් ආම්පන්න ලබා දුන්නේ පෞද්ගලික අංශය.

දුමින්ද රාජපක්ෂ – (නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන සංවිධායක)

‘‘මම මෙම ආයතනයේ සේවයට පැමිණිලා වසර 15 ක් වෙනවා. අපි සේවයට පැමිණි කාලයේ තමයි ලංකාවේ සුනාමි අනතුරු සිදු වුණේ. ඒ මොහොතෙත් මේ ආයතනයේ අමුද්‍රව්‍යවලින් පිරිලා තිබුණේ. එදා පැය 24 ම යන්ත‍්‍රසූත‍්‍ර ක‍්‍රියාත්මක වුණා. ඒ වකවානුවේ සේවකයන්ට වැටුප නියමිත වෙලාවට ගෙව්වා. ඒ වගේම ලබාදිය යුතු වරප‍්‍රසාද සියලූ දේවල් අපහසුවකින් තොරව අපිට ලබා ගැනීමට හැකිවුණා. අපි කියන්නෙ මේ ආයතනය යළි නඟා සිටුවන්න. ඒ වගේම සේවකයන් නිසි ලෙස ආරක්ෂා කර ආයතනය යළි ගොඩ නඟන්න කටයුතු කරන්න කියලා.

ටී‍්‍රෂියා පිම්රෝස් –

මම දන්න දා ඉඳන් දැල් ආම්පන්න ගත්තෙ මේ ආයතනයෙන්. ඒත් මේ මෑත කාලෙදි අපිට ඒවා ලබාගන්න හැකියාවක් නෑ.

අපිට වැඩි මිලට තමා ලබාගන්න සිද්ධ වුණේ. ඇත්තෙන්ම ඒ දවස්වල මේ වෙන්නප්පුව මාරවිල ඇතුළු පුත්තලම් දිස්ත‍්‍රික්කයේ කල්පිටිය මේ හැම ප‍්‍රදේශයකම ධීවර ජනතාව පැමිණුනේ මේ ආයතනයට දැල් ආම්පන්න ලබා ගන්න. ඉතින් අපිට හරි දුකයි ආයතනය පත්වෙලා තියෙන තත්ත්වෙ ගැන දැක්කම. අපි කියන්නේ තව තවත් මේ විදිහට තිබ්බොත් කෝටි ගාණක් වටින මැෂින් දිරලා යයි. ඒ නිසා අපි කියන්නේ ඉක්මනින් මේකට විසඳුමක් ලබා දෙන්න කියලා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment