අයගම කිරිඇල්ල මාර්ගයේ දේශපාලනඥයන්ගේ අතයට ගැහිල්ල ප්‍රදේශවාසීන්ගේ කරමතට

272

පාලම් වෙනුවට පස් කන්දක් ගොඩ ගැසීමෙන් බස් රථයක් පාර මැද එරිලා

ඊයේ (23 දා) පෙරවරුවේ කිරිඇල්ල – අයගම හරහා කලවාන මාර්ගයේ පහළ ගලතුර එකේ කණුව ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් මාර්ගයේ එරීම නිසා හේතුවෙන් ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල විය. මේ හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු මගීන් දහස් ගණනක් දැඩි දුෂ්කරතාවට පත් වු අතර පා ගමනින්වත් යාමට නොහැකි මාර්ගයේ කිලෝ මීටර් 2 පයින් ගමන් කිරීමට එම පිරිසට සිදුවිය.

පීඩාවට පත් වූ මගීහු මෙසේ අදහස් දැක්වූහ.

දිනකට සියගණනක් වාහන ගමන් කරන මෙම මාර්ගයේ දැන් ගමන් කරන්නේ බස් රථ පමණයි. නිතර ගංවතුරට යට වෙන බව පවසමින් මෙම ප්‍රදේශයේ මාර්ගය කිලෝ මීටර් 3 ක දුරක් පස් දමා ඉස්සීමට දේශපාලන අධිකාරිය තනි මතයට පියවර ගත්තා. ඇත්තටම කළ යුතුව තිබුනේ මෙම කිලෝ මීටර් 3 තුළ තිබෙන පාලම් 3 ගැසීමයි. නමුත් එම කාර්ය පසක දමා මුළු මාර්ගයම පස්දමා ගොඩකර මේ වන විට කොන්තරත්කරු පැනලා ගිහින්. එම කොන්ත්‍රාත්කරු ආරක්ෂා කිරීමට රත්නපුර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විටෙන් විට පැමිණ පැලැස්තර දැමීමයි දැන් සිදු වන්නේ. රුපියල් 5000ක් මිල නියම වු මාලා මැටි පස් කියුබ් 3 ට රුපියල් 7500 ය ගානේ අරගෙන තමයි මේ ගොඩ කිරීම කරලා තියෙන්නේ.

මීට මාස 6ට පෙර මෙම ප්‍රදේශයේ කිලෝමීටර් 3 පමණ මාර්ගය අඩි 6ක් උසට පස් දමා ම ගොඩකර සැකසීමට රත්නපුර මාර්ග සංවර්ධන අධිකාරය මගින් කොන්ත්‍රාත්කාර සමාගමකට ලබා දුන්නේ රුපියල් මිලියන 240 ටය. ඒ දින 90කින් වැඩ නිම කිරීමේ කොන්දේසියකට යටත්වය. කෙසේ වෙතත් හොදට තිබුණු මාර්ගය කාපට් කඩා දමා ප්‍රමිතියෙන් තොර පස් ගෙනත් මාර්ගය ගොඩකර අදාළ කොන්ත්‍රාකාර සමාගම වැඩ නවතා දැට මාස 2ක් බව ප්‍රදේශවාසීහු පැවසූහ.

මේ පිළිබඳ අදාළ කොන්ත්‍රාත්කාර සමාගමේ නිලධාරියකුගෙන් ‘දිවයින’ දුරකථනයෙන් කළ විමසීමේදී කියා සිටියේ තම සමාගමට මිලියන 140ක් ලබා ගැනීමට තියෙන හෙයින් මාර්ගයේ සංවර්ධන වැඩ අතරමග නැවතූ බවයි.

කිරිඇල්ල – ඩී. කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment