අයර්ලන්ත සටන ටෙස්ට් දෙකක් වෙයි

284

මූලික සැලසුමට අනුව ශ්‍රී ලංකාව සමග එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 2 කට සහභාගිවීමට නියමිතව සිටි අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ටෙස්ට් තරග 2 කින් යුතු තරග සංචාරයක් බවට එය පත් වී තිබේ.

දෙපාර්ශ්වය ඒ සඳහා එකඟත්වය පළ කර තිබෙන අතර ඒ අනුව එක්දින තරග දෙක වෙනුවට තවත් ටෙස්ට් තරගයක් අයර්ලන්තයේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් වේ.

එම තරග සංචාරය සඳහා අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ දී ටෙස්ට් තරග 6කට මුහුණ දීමට නියමිත අතර මෙම වසරේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග අඩුවීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමු දෙකකදී සිය කනගාටුව ප්‍රකාශ කර සිටියහ.

අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වේ. 20 වැනිදා දක්වා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය 24 වැනිදා ආරම්භ වී 28 වැනිදා දක්වා පැවැත්වේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ගත් 11 වැනි රට ලෙසින් අයර්ලන්තයට 2017 වසරේදී ටෙස්ට් වරම් හිමි වුවද ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරනු ලබන්නේ පළමු වතාවටය. මීට පෙර අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් එක්දින ජාත්‍යන්තර තරග 4 කදී මුණ ගැසී ඇතත් ඒ සියල්ලෙන්ම ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් අනතුරුව අයර්ලන්ත කණ්ඩායම පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගය බැගින් ක්‍රීඩා කර ඇතත් එම තරග 3 න්ම පරාජයට පත්ව තිබේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ටෙස්ට් තරග ඉතිහාසයේදී තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරනු ලබන පළමු තරගාවලිය ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.

අප්‍රේල් 16-20 – පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අප්‍රේල් 24-28 – දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment