අයවැයට රජය බෙදෙයි…අරගලයට විපක්ෂය බෙදෙයි

191

මේ ගෙවී යන්නේ අපි සංචාරක ව්‍යාපාරය ගැන වැඩිපුර කතා කරන්න කාලයයි. යුරෝපයේ මෙන්ම අනිකුත් සීත රටවල සංචාරකයෝ මේ කාලයේ ඝර්ම කලාපීය උණුසුම් රටවල සංචාරය කරන්නේ තම රටවල තිබෙන පීඩාකාරී කටුක සීතල දේශගුණයෙන් මිදෙන්නට පමණක් නොවේ. ලෝකයේ අනෙකුත් සුන්දර රටවල සුන්දරත්වය නිදහස හා සුව පහසුවද අත්විඳින්නට ය. ලෝ පුරා සංචාරකයන් මේ අයුරින් සංචාරය කරන්නට තෝරා ගන්නා සුන්දර රටවල් අතර අපේ රටට ද හිමිවන අවධානය සුළුපටු නැත.

මෙසේ පැමිණෙන සංචාරකයන්ගෙන් අපේ රටට ලොකු ආදායමක් ද ලැබෙන බැවින් සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලුම දෙනා අවුරුද්දේ අන්තිම මාස දෙක තුන සලකන්නේ සංචාරක කර්මාන්තයේ වසන්ත සමය කියාය.

වසන්ත සමය තුළ සංචාරක කර්මාන්තයේ නිරත වන අයට පමණක් නොවේ. ආණ්ඩුවට ද ඒ තුළින් ලොකු ආදායමක් ලැබිය හැකි බව නොදන්නා කෙනකු නැති තරම්ය. ආණ්ඩුව මේ වසරේ සංචාරක ව්‍යාපාරය තුළින් ඉදිරි මාස කිහිපය තුළ ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් ලබන්නට අපේක්ෂා කරගෙන සිටින බව රහසක් ද නොවේ.

මේ නිසා ආණ්ඩුවේ ද දැඩි අවධානය සංචාරකයන්ගේ පැමිණීම කෙරෙහි මේ දිනවල යොමුව ඇති බව සත්‍යයකි. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට බාධාකාරී මොනම දෙයක්වත් රටේ සිදුවනවාට රජය අකමැති වී ඇත්තේ ද ඒ නිසා බව පැහැදිලිය.

● විපක්ෂයේ විරෝධතා සංචාරකයන්ට බලපායිද

පසුගිය දිනවල රජයට එරෙහි උද්ඝෝෂණ රැල්ලක් විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කරනු ලැබුවේ රජයේ ක්‍රියාකලාපයට එරෙහිව මිස සංචාරක ව්‍යාපාරය වර්ධනයට එරෙහිව නොවූවත් රජය මේ සියලු විරෝධතා භාරගත්තේ සංචාරක ව්‍යාපාරයට එරෙහිව කරනු ලබන ක්‍රියාන්විතයක් ලෙසයි. සංචාරක ව්‍යාපාරය තුළින් මේ දිනවල රජයේ අපේක්ෂා කරන ඩොලර් බිලියනයකටත් වඩා වැඩි ආදායම වළකා රජය අපහසුතාවයට පත් කිරීම විපක්ෂයේ බලාපොරොත්තුව බව රජයේ මැති ඇමැතිවරු හා නායකයෝ චෝදනා කළේ එනිසාය.

පසුගිය සතියේ එම චෝදනාව අපේ දේශපාලන කරලියේ වැඩි වැඩියෙන් අහන්නට ලැබුණේ පසුගිය සති දෙක තුළ සංචාරකයන්ගේ පැමිණීම වැඩිවූ නිසාත් ඒ හා සාපේක්ෂව විපක්ෂය විසින් රජයට එරෙහිව සූදානම් කළ විරෝධතා ව්‍යාපාරයන්හි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණ නිසාත්ය.

මේ ආකාරයේ පළමු උද්ඝෝෂණය රජයට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සූදානම් කර තිබුණේ පසුගිය සතියට පෙර සතියේය. ජාතික ජනබලවේගයේ ඇතැම් නායකයෝ මේ සඳහා ජනතාවට කොළඹට එන්නැයි ආරාධනා කළේ මහ විශාල සෙනඟක් කොළඹට එක්රොක් වේ යැයි දැඩි බලාපොරොත්තුවකින් යුතුව ය. රැලියට මහ සෙනඟක් එක් වේ යැයි දැඩි විශ්වාසය තැබූ ඇතැම් නායකයෝ එදින ආණ්ඩුව වාෂ්ප කර හරින බව කීවා අපිට මතකය.

එහෙත් ජාතික ජන බලවේගය පමණක් එදා එම සටන තුළ හුදෙකලා වූහ. මහ සෙනඟක් එක්රොක් වූයේ නැත. විපක්ෂයේ බලවත් කණ්ඩායම් මෙම සටන මඟහැර ඇති බව රහසක් නොවීය.

ඒ අතර ජාතික ජනබලවේගය හැර විපක්ෂයේ සිටින අනෙකුත් කණ්ඩායම් සියල්ලම තවත් උද්ඝෝෂණයක් කොළඹ දී පවත්වන්නට සැලසුම් කළහ. එහි ප්‍රධානත්වය ගත්තේ සමගි ජනබලවේගයයි. නොවැම්බර් 2 වැනිදා හවස කොළඹ දී පවත්වන්නට සැලසුම් කෙරුණු මෙම උද්ඝෝෂණයට හා පෙළපාලියට සහභාගි වන්නට ඔවුන් ජනතාවට ආරාධනා කළේ රනිල් – පොහොට්ටු හවුල් ආණ්ඩුව ගෙදර හරින්නට එදාට කොළඹ පැමිණෙන ලෙස විශේෂ ඉල්ලීමක් කරමිනි.

එහෙත් මෙහිදී ජාතික ජනබලවේගය එම උද්ඝෝෂණයට තමන් කිසිදු දායකත්වයක් දක්වන්නේ නැතැයි පැහැදිලිවම රටට හෙළිදරව් කළේය. ජාතික ජනබලවේගය එසේ කීවත් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අන්තරය නියෝජනය කරන පෙරටුගාමී පක්ෂය, චම්පිකලාගේ 43 කණ්ඩායම, සරත් ෆොන්සේකාගේ බලවේගය, ජෝසෆ් ස්ටාලින්ගේ ගුරු වෘත්තීය සමිතිය, ආනන්ද පාලිතගේ විදුලිබල වෘත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක්ද කොළඹ වටලන මේ දැවැන්ත උද්ඝෝෂණයට හා මහජන
බලවේගයට සහභාගි වන බව කල්තියාම දැනුම් දී සිටියහ.

කෙසේ වෙතත් දවස් ගණනාවක් යනතුරු මේ පිළිබඳ වාද විවාද ඇති විය. රජය කෙලින්ම මෙම බලවේගවලට චෝදනා කළේ සංචාරක ව්‍යාපාරය වට්ටන්නට උද්ඝෝෂණ සූදානම් කරනවා යැයි කියමිනි. ලංකාවට ඩොලර්වලින් ආදායම් රැගෙන එන සංචාරකයන් ටික දෙනාටවත් එන්නට ඉඩ නොදී මේ රට අනාරක්ෂිත රටක් ලෙස පෙන්වන්නට මෙවන් උද්ඝෝෂණ සංවිධානය කරනවා යැයි රජය නැඟූ චෝදනාව සුළු පටු නොවීය. කෙසේ වෙතත් ජාතික ජනබලවේගය මෙම චෝදනාවලින් නම් ගැළවී ගියේය.

● දේශගුණික විපර්යාස රජයට ආදායමක්ලු…

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වූ තවත් කාරණාවක් අපට පසුගිය සතියේ දැකගත හැකි විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ විදේශ සංචාරයක් සඳහා සූදානම් වෙමින් සිටියේය. නොවැම්බර් 6 වැනිදා ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ “ක්‍ ධ ඡ 27” සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධනත් ඊජිප්තුව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි. මේ නිසා ජනාධිපතිවරයා රුවන් විජයවර්ධනත් සමඟ සාකච්ඡා කළේ මෙකී සමරුව තුළින් ශ්‍රී ලංකාවට වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සඳහාය. එහිදී කලාපීය වශයෙන් සහයෝගිතාවය ඇති කර ගනිමින් කටයුතු කිරීම සඳහා මාලදිවයිනේ කථානායක නෂීද් අහමද් මහතාවද අන්තර්ජාලය ඔස්සේ සහභාගි කරගත්හ. ඊට අමතරව අවශ්‍ය අවස්ථාවන්හි එරික් සෝල්හයිම් මහතාද සාකච්ඡාවන්ට සහභාගි විය.

“මේක නිල සංචාරයක් වුණත් හතර දෙනාට වැඩි සාමාජික පිරිසක් දූත කණ්ඩායමේ ඉන්න බෑ..” ජනාධිපතිවරයා හා රුවන් විජයවර්ධනට උපදෙස් දුන්නේ එසේය.

ජනාධිපති උපදෙස් මත ඊට අදාළ සාකච්ඡාවක් පසුගිය සඳුදා විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් ඊට සහභාගි වූහ. දේශගුණික මූල්‍ය උත්පාදන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ කරුණු ගණනාවක් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

“ජනාධිපතිතුමා පෙන්වා දුන්නා ලෝක බැංකුවේ දේශගුණික මූල්‍යකරණයට අදාළව වෙනම අරමුදලක් තියෙන බව. මෙරට දේශගුණික ව්‍යාපෘති වෙනුවෙන් මෙම අරමුදලින් මුදල් ගන්න පුළුවන්. ජනාධිපතිතුමා කිව්වේ ඊට අදාළ වාර්තාවක් හදන්න කියලායි…” රුවන් කීවේය. කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි. රපෝර්තුව සෑදීම සඳහා රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කෙරිණි. එදින හවස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට කතා කරමින් විශේෂ කාරණාවක් ගැන අවදානය යොමුකරමින් ජාතික පත්තරයක පළව තිබූ ප්‍රවෘත්තියක් පෙන්නුවේය.

“දිඹුලාගල දරුවන් කන්න දෙයක් නැතුව කැලෑ අල කොළ ගලවන් කනවා කියලා කියනවා. පහුගිය කාලය පුරාම මේ වගේ ප්‍රවෘත්ති පත්තරවල ගියා. රටේ හැම තැනම දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා කියනවා. අපි මේවා ගැන මීට වඩා හොයලා බලන්න ඕන. මේ කියන කතා ඇත්තද… එහෙම නැත්තං මේවයි ඇතුළාන්තයේ වෙන වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවද කියලා හොයන්න…” ජනාධිපති උපදෙස් දුන්නේය.

ලේකම් මේ පිළිබඳව සොයා බලන ලෙස පොලොන්නරුව දිසාපතිවරයාට නියෝගයක් නිකුත් කළේය.

නියෝගයට අනුව පොලොන්නරුව දිසාපතිවරයා පහුවදාම එම ප්‍රදේශයට පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර හැරියේය.

පසුදාම ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට ලැබුණු අතර එහි සඳහන් වූයේ පොලොන්නරුවේ දිඹුලාගල ප්‍රදේශයේ ආදිවාසීන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙවන් පුවතක් නිර්මාණය වී පිටතට පැමිණි බව වාර්තාවේ කරුණු සඳහන් වී තිබිණි. ජනාධිපති ලේකම්වරයා එම වාර්තාව පිළිබඳ කරුණු සියල්ල ජනාධිපතිවරයාට දන්වා සිටි අතර ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳ රටට හෙළිදරව්වක් කළේය.

පසුගිය සතිය වාර්තා වූයේ අයහපත් කාලගුණයක් සහිත සතියක් ලෙසය. ඉන්දීය සාගරයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමෙන් මීට සති දෙකකට පෙර ලංකාවට බලපා තිබූ මහවැසි දින දෙක තුනක් නතර වුවත් මේ සතිය පටන්ගත්තත් සමගම යළි සක්‍රීය විය. කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම යළි මහ වැසි ඇද හැළෙන්නට විය.

මහ වැසි මධ්‍යයේ වුවත් එක්තරා දේශපාලන කල්ලි කණ්ඩායම් කිහිපයක් එක්වී කොළඹ ආරක්ෂාව අනතුරේ හෙළමින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් ගැන පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී කතාබහට ලක්විය.

මෙම සාකච්ඡාවෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ සාකච්ඡාවක් ද පැවැත්විණි.

● විපක්ෂයේ අරගලය රනිල්ට වැඩක් නෑලු…

අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ කළමනාකරණ කමිටුව රැස්වූයේ ජනාධිපති මන්දිරයේය. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩකටයුතු ගැන කෙරුණු සාකච්ඡාවකින් අනතුරුව සමගි ජනබලවේගය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්වී දෙවැනි දා කොළඹ පවත්වන්නට යෙදෙන විරෝධතාවය ගැනද මෙහිදී අදහස් හුවමාරු වූහ.

“පහුගිය කාලේ දස දහස් ගණන් පාරට බැහැලා මිනිස්සු උද්ඝෝෂණය කළේ විවිධ අඩුපාඩු නිසා. ඒ දවස්වල තෙල් ටික නෑ, ගෑස් නෑ, ලයිට් නෑ,

ගොවියන්ට වගාකරන්න පොහොර ටික නෑ, ලෙඩකට දුකකට බෙහෙත් නෑ වගේ අඩුපාඩු ගොඩක් නිසා ප්‍රශ්න තිබුණා.

දැන් රටේ තෙල් හිඟයක් නෑ. ගෑස් ඕනතරම් තියෙනවා. මුළු රටේම ගොවියෝ කුඹුරු හාමින් ගොවිතැන් කරන්න ලෑස්ති වෙනවා. බඩඉරිඟු ගොවියන්ට තේ ගොවියන්ට ලූනු ගොවියන්ට, එළවළු ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ලැබිලා තියෙනවා. රටේ තිබුණු ප්‍රශ්න ටික ටික විසඳෙනවා. ආයෙත් සංචාරකයෝ එන්න පටන් අරන් තියෙනවා. මෙහෙම වෙනකොට අපේ සමහර දේශපාලන පක්ෂවලට බලාගෙන ඉන්න බෑ. ඒකයි මේ ජනතාව පාරට බස්සන්න මේගොල්ලෝ මේ තරම් වලිකන්නේ. හැබැයි එදා වගේ අද ජනතාව මෙයාල කියන දේවල් අහන්නේ නෑ.”

“ඒ විතරක් නෙවෙයි. අද මේගොල්ලෝ දෙකට තුනට බෙදිලා ගහගන්නවා. සජබෙ එක පැත්තක්. අන්තරේයි ජවිපෙයි දකින දකින තැන ගහගන්නවා. අර ගොල්ලන්ගෙ උද්ඝෝෂණයට මෙයාලා මිනිස්සුන්ට යන්න එපා කියනවා. මෙයාලගේ වැඩේට එයාලට එන්න එපා කියනවා. විපක්ෂයට වෙලා තියෙන්නෙ දැන් මණ්ඩලය කචල්…”

මේ අයුරින් අදහස් හුවමාරු කර ගනිද්දී සමගි ජනබලවේගය දෙවැනිදා සංවිධානය කරන රැලිය හා පෙළපාලිය ගැන කතාබහක් ආරම්භ විය.

“ඔව්වා ගැන කතා කරල වැඩක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ කරන්න පුළුවන්. හැබැයි නීති විරෝධීව වැඩ කරන්න ගියොත් නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය බලා ගනියි.

රට කරන දේශපාලනඥයෝ හැටියට අපි බලන්න ඕන මේවා ගැන නෙවෙයි. ජනතාවට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ජීවත් වීම. අපි අවධානය යොමු කරන්න ඕන ඒ මිනිස්සුන්ට ජීවත් වීම පහසු කරන වැඩපිළිවෙළක් ගැනයි. අන්න ඒ ගැන යෝජනා තියෙනවා නම් දැන් කතා කරන්න..” ජනාධිපතිවරයා වෙනත් පැත්තකට ඇදෙමින් තිබූ සාකච්ඡාව අනිත්පැත්ත හැර වූයේ එසේය.

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සංජය රාජරත්නම් අතර පැවැතියේ ඉකුත් අඟහරුවාදාය. එම සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ජනපති විසින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ද ගෙන්වූවේ මේ ගැන වැඩිදුර තොරතුරු හුවමාරු කර ගන්නටය.

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ගැනීමේ කටයුතු අපි ඉක්මන් කරන්න ඕනේ.” ජනපති කීය.

“මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් පවා තියෙනවා. මේ නිසා අපිට ජාත්‍යන්තර බේරුම්කරණ නඩුවකට යන්න හැකියාව තිබෙන බව නීතිපතිතුමා කියනවා.” සාගල ද කතාවට එක්වූවේය.

“නීතිපතිත් කියනවා නම් අපි සිංගප්පූරුවේ තිබෙන බේරුම්කරණ අධිකරණය හමුවේ අදාළ නැව් සමාගමට විරුද්ධව නඩු පවරමු. ඊට පෙර අපි මේ ගැන කැබිනට් එකට කියන්න ඕනේ. ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව වගේම අපි ඉල්ලන වන්දි ප්‍රමාණයත් එයට ඇතුළත් කරන්න.” ජනපති විජයදාසට උපදෙස් දුන්නේය.

● නොපිපි පොහොට්ටුවට අවුරුදුම හයක් පිරේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පිරිත් පිංකම පසුගිය (2දා) වැනිදා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ. ඇමැති ප්‍රසන්න රණතුංග ද එම පිරිත් පිංකමට සහභාගවන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියහ.

“දෙරණේ 360 නියමයි ඇමැතිතුමා. කියන්න ඕන ටික වෙඩි වගේ කිව්වා” පිරිත් පිංකමට සහභාගි වූවකු කීවේ ඇමැතිවරයාගේ පිටට තට්ටුවක් ද දමමිනි.

“මගේ කතාව වගේම වැඩත් කෙලින්. හැංගිල කරන වැඩ මං ගාව නෑ” ඇමැති ප්‍රසන්නද කීවේය.

“ඒ වුණාට අපිට ආරංචි වුණේ ඔබතුමා ට්‍රැක් පනිනව කියලයි.” තවකෙකු කීය.

“පිස්සුද මල්ලි. මේක අපි හදපු පක්ෂය. මේ පක්ෂය එක්ක රට වටා ගියේ අපි. ඉතිං මොකටද මම ට්‍රැක් පනින්නෙ.”

“ඔව්.. මහින්ද සුළඟ හදන්න ඔබතුමා වෙච්ච මහන්සිය අපිට මතකයි.”

“මම පක්ෂ මාරු කරන්නෙ නෑ. හැබැයි මේ රට ගොඩගන්න මම ජනාධිපතිතුමාට උදවු කරනවා. මම ඉන්නේ පෙහොට්ටුව එක්කයි” ඇමැතිවරයා කෙලින්ම කීය.

“මේ පක්ෂය ගොඩගන්න පුළුවන්. හැබයි ඊට කලින් අපි අපේ මිනිස්සු ටික රකින්න ඕන. ඒක ගොඩ දාගත්තොත් ඊළඟ ඡන්දෙත් අපි දිනුම්” ඇමැති ප්‍රසන්න යළි කීය.

“අරගලේ ආපහු පටන්ගන්නවා. ඔබතුමා මොකද කියන්නේ?” එහි සිටි මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් විමසීය.

“දැන් රටේ ප්‍රශ්න විසඳෙනවනේ. පසුගිය මාසයේදී සංවාරකයන්ගේ පැමිණීම වැඩියි. සංචාරක පැමිණීම වැඩිවෙනකොට රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ රට කාබාසිනියා වෙනකම් බලාගෙන ඉන්න පිරිසට මේව දරාගන්න බැහැ. ඒ ගොල්ල බලන්නෙ මිනිස්සු කුලප්පු කරල පාරට බස්සල ඉදිරියට යන රට නැවත ආපසු හරවන්නයි. ඕවට මිනිස්සු අහුවෙන්නේ නෑ මල්ලි” ඇමැති ප්‍රසන්න කීවේ දැඩි විශ්වාසයෙනි.

● බස් දෙදහසකින් රජම ගැහිල්ලක්…

රාජ්‍ය ආදායම් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩ භාර ගත්තාට පසු රජයට ආදායම් ලැබෙන ක්ෂේත්‍රවල පරීක්ෂණ රැසක් ආරම්භ විය. රේගුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ අවුරුදු ගණනාවක් තිස්සේ තිබූ යම් යම් හිල් නිසා රාජ්‍ය ආදායම් රජයට අහිමි වූ ආකාරය ගැන පසුගිය දිනවල පරීක්ෂණ රැසක් සිදුවිය. සිදුවූ පරීක්ෂණවල ප්‍රතිඵල ද සතුටුදායක විය. ආදායම් බදු වංචා සුරාබදු වංචා මෙන්ම රේගුවේ හිල් ගැන ද තොරතුරු එකිනෙක අනාවරණය වෙන්නට පටන් ගත්තේය. පසුගිය සතියේ තවත් තොරතුරක් ලැබුණේ ප්‍රවාහන අමාත්‍යාංශය එක්තරා සමාගමක් හරහා ගෙන්වන ලද බස් 2000කින් කරනු ලැබ ඇති රජ
ගැහිල්ලක් ගැනය.

ගනුදෙනුවේ දී එක බසයක් අදාළ සමාගම විසින් ගෙන්වා ඇත්තේ /25000 බැගින් වූ මුදලකටය. ඒ වෙනුවට අමාත්‍යාංශය විසින් ගෙවා ඇති මුදල එක බසයක් ඩොලර් /30000 බැගින්ය. එක බස් රියකින් කාගේ හෝ සාක්කුවට යන ලද මුදල ඩොලර් 5000 කි. මේ අයුරින් එක බසයකින් ඩොලර් 5000 බැගින් රජයට අහිමි වූ මුළු මුදල සොයා ගැනීමට 5000 දෙදහසින් වැඩි කළ යුතුය. (5000ං2000=/10,000,000) සුළුපටු නැත. හිලෙන් එළියට ගිය මුළු මුදල ඩොලර් කෝටියකි. රුපියල්වලින් නම් ඒ වංචාව කෝටි තුන්සිය 385 කි. වරද කාගේ වුවත් දැන් ඒ සමාගමට සිදුව ඇත්තේ හිඟ මුදල නැවත රජයට ගෙවීමට ය.

● සිරිසේන නොයයි දයාසිරි තනි වෙයි…

ජන ජීවිතයට අහිතකර අන පනත් ගෙන එමින් විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටිතැයි යන චෝදනාව පක්ෂයක් පසුගිය දිනවල බරපතළ ලෙස ජනගත කළේය. විපක්ෂයේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී උදාහරණයට ගත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වසන්ත මුදලිගේ ඇතුළු කිහිපදෙනාය. 2 වැනිදා කොළඹ දී පවත්වන්නට යෙදෙන වටලීමේදී විපක්ෂය ප්‍රධාන චෝදනාවක් ලෙස ගත්තේ ද මෙයයි.

දෙවැනිදා උද්ඝෝෂණයට සහභාගි වන්නේ ද නැද්ද කියා ලොකු සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ ද සිදුවිය. පක්ෂයේ නායකයා මේ සම්බන්ධයෙන් මාධ්‍යවලට නිකුත් කරමින් කිව්වේ ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව දෙවැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් උද්ඝෝෂණයට එකතුවෙන බවය. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ ඉතුරු වී සිටින කිහිප දෙනා අතර වත් මේ සම්බන්ධයෙන් එකඟතාවයක් නම් වූයේ නැත. දයාසිරි හැරුණ විට සෙසු කීපදෙනා මේ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටීමම ප්‍රහේළිකාවක් වූහ.

පසුගිය දවස් කීපය පුරාම කොළඹට ධාරානිපාත වැසි වැස්සේ ය. උද්ඝෝෂණවලට හෝ පෙළපාලිවලට හිතකර කාලගුණයක් වූයේම නැත. දෙවැනි බදාදා උදේ වරුවේ කොළඹට මදක් පායා තිබුණ ද සවස වැහිබර ලකුණු පහළ වී තිබිණි. එහෙත් කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් හන්දිය අසලින් පටන් ගන්නට නියමිතව තිබූ අන්තරේ හා සමගි ජනබලවේගයේ පෙළපාලිය හවස නිසි වේලාවට ආරම්භ විය. පෙරමුණ ගත්තේ අන්තරය නියෝජනය කළ පෙරටුගාමී පක්ෂයේ නියෝජිත පිරිසය. වෘත්තීය සමිති ඇතුළු සමගි ජනබලවේගයේ නායකයෝ ද පෙරටුව ගමන් කළහ. සජිත් ප්‍රේමදාස, මුජිබර් රහුමාන්, සරත් ෆොන්සේකා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චම්පික රණවක, ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර සහ හෙක්ටර් බෙත්මගේ මෙන්ම වෘත්තිය සමිති නායකයෝ ද පෙරමුණෙහි සිටියහ.

එහෙත් පෙළපාලියට යන්නට සිදුවූයේ ටෙක්නිකල් වටරවුම අසලට පමණි. එතනින් එහාට යන ගමන පොලිසිය නතර කර තිබුණේ දහස් ගණනක පොලිස් භට පිරිසක් පාරේ රඳවා තබමිනි.

තත්ත්වය සතුටුදායක නොවන බව පිළිගත් සමගි ජන බලවේගයේ නායකයෝ තම පෙළපාලිය හා උද්ඝෝෂණය එතනින් නතර කරන්නට තීරණය කළහ.

ඒ අනුව එතන පාර මැද මහජන රැස්වීමක් තබන්නට සමගි ජන බලවේගය උත්සාහ කළේය. පෙළපාලියේම සිටි කලහාකාරී පිරිසකගේ අවහිරතාවය මත එයද අසාර්ථක විය.

අවසානයේ සජිත් ප්‍රේමදාස මාධ්‍යවලට කතා කරමින් කීවේ තමන් නීත්‍යානුකූලව යුක්තිගරුකව පවත්වාගෙන ගිය විරෝධතාවය ආරක්ෂක අංශවල විරෝධතාවය මත මෙතෙකින් සමාප්ත කරන බවය.

එහෙත් අන්තරයේ බහුතර පිරිසකට අවශ්‍ය වූයේ කොටුව ජනාධිපති මන්දිරය තෙක් පෙළපාලිය පවත්වාගෙන යෑමටය. සජිත්ගේ පසුබැසීම ඔවුන් අනුමත නොකළ නිසා එතනදී දෙපිරිස අතර මත ගැටුමක් ඇති විය. අවසානයේදී සමගි ජන බලවේගයේ නායකයෝ සහ සෙසු පක්ෂවල නායකයෝ එතනින් බැහැරව ගියේ අන්තරයේ පමණක් නොව හිරුණිකාගේද හූ හඬ මධ්‍යයේය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඒ උද්ඝෝෂණය තුළත් වැඩි දෙනාගේ කතාබහට ලක් වූ කැපී පෙනෙනම කාන්තාව බවට පත්ව ඇති බව එදින හවස සමාජ මාධ්‍ය බලන කල තහවුරු විය.

●“ප්ලේන්ටිය හා රාගය” රතන හිමිගේ විග්‍රහය

නිදහස ජාතික සභාවේ නායකයෝ පසුගිය සතියේත් සෙසු පක්ෂ හමු වූහ. පවත්නා දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ගැන ඔවුන් සෙසු පක්ෂ හා වෙන් වෙන්ව සාකච්ඡා කිරීම ආරම්භ කළ තිබුණේ මීට සති කිහිපයකට පෙර සිටය. ඒ අනුව පසුගිය සතියේ පැවැත් වුණේ ඔවුන් හා උත්තර සභාව අතර සාකච්ඡාවයි. උත්තර සභාව නියෝජනය කරමින් මේ සාකච්ඡාවට විමල් වීරවංශ නිසි වේලාවටත් පෙර පැමිණ සිටියේය. ඩිලාන් පෙරේරාත් ඒ අවස්ථාවේම පැමිණ විමල් හා කතාබහ කරන්නට පටන් ගත්තේ මෙසේය.

“මොනවද විමල් බොන්නේ…”

“තේ එකක් තමයි ඉතින්… වෙන මොනවා වත් නැහැනේ…”

“ඒක මේක ඇතුලෙ තහනම් වචනයක්. සුරාව නුරාව දෙකම බෑ. ඩලස් සහෝදරයා ඒක කලින්ම තහනම් කරා” ඩිලාන් එක දිගට කියාගෙන ගියේය.

“එහෙනම් ඉතින් කහට එකක් ගහමු….” එසේ කියා කහට කෝප්පයක රස බලමින් සිටියදී එතැනට ආවේ උදය් ගම්මන්පිලයි.

“මොනවද බොන්නේ…” ඩිලාන් සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන්ද ඇසුවේය.

“ප්ලේන් ටී එකක් බොමු…” ගම්මන්පිල කීවේය.

“සීනි තත්ත්වය කොහොමද…”

“ප්ලේන්ටී කියන්නේ සීනි නැතිව” උදය කීවේය.

“නෑ මං කියන්නේ ලංකාවේ හරි වෙනස් නේ. ලංකාවේ භාවිතාව තමයි ප්ලේන්ටිය කිව්වොත් සීනි දාලා. නැත්තම් ඒකට කියන්නේ කහට කියලා.

ඔතනට වාසුදේව නානායක්කාර ආවේ සීනි යාන්තමට දැමූ ප්ලේන්ටියක් ඉල්ලගෙනය. රතන හාමුදුරුවෝත් පැමිණ කතාවට හවුල් වූයේය. ටී එක ප්ලේන්ටිය හා කහට එක ගැන ලොකු කථාවක් ඇති විය. රතන හාමුදුරුවෝ ඒ ගැන ලොකු විග්‍රහයක් කරමින් විමල්ගෙන් ඇසුවේ පැණි රසට කැමති ද කියාය.

“මම නම් කැමතියි…” වාසු කීවේය. මමත් ආසයි කියා ඩිලාන් ද උත්තර දුන්නේය.

“ඇයි… පැණි රසට කැමති නම් මොකක්ද ප්‍රශ්නේ…” ප්‍රශ්නය විමල්ගෙන් ය.

“නෑ මං කිව්වේ … පැණි රසට කැමති අය රාගී සිතුවිලි වලට ගොඩක් බරයි…” රතන හිමි කියද්දි කවුරුත් සිනාවෙන්නට පටන්ගත්හ.

“හරිනෙ ඉතින්… ඩිලානුයි වාසුයි පැණි රසට කැමතියි කියනකොටම ඒ කතාව ඔප්පු වෙනවා නේ….” ගම්මන්පිල ඌනපූරණය කළේය.

එම විනෝද බර කතාබහට පසුව හරවත් සාකච්ඡාව ආරම්භ විය. රටේ අනාගතය සම්බන්ධයෙන් දේශපාලනඥයාගේ වගකීම හා පක්ෂවල කාර්යභාරය ගැන සාකච්ඡාව දිගින් දිගටම ඇදී ගියේය. තම තමන්ගේ අනන්‍යතාවයක් අනුව කුඩා කුඩා පක්ෂ වෙනුවෙන් ම ජනතාව අතර දේශපාලනය කරමින් පොදු ප්‍රවාහයේදී කළ යුතු කාර්යභාරය මෙහිදී ඉතා පුළුල්ව සාකච්ඡා විය.

සාකච්ඡාව තවදුරටත් රැගෙන යෑම සඳහා උත්තර සභාව පැත්තෙන් ගම්මන්පිලත් නිදහස ජාතික සභාව පැත්තෙන් ඩිලානුත් සම්බන්ධීකරණ කටයුතු භාර ගත්හ.

පැය කිහිපයකට පස්සේ සියල්ලෝම විසිර යද්දී යළිත් විහිළු කතාබහ ආරම්භය විය.

“මෙතන තහනම් දේවල් අනිත් තැන්වල අපට තහනමක් නෑ නේ” කියමින් ඩිලාන් තරප්පු පෙළ පහළට බැස්සේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment