අයවැයෙන් බදු වැඩිවෙයි සුබසාධන ගෙනෙයි

584

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් ගැලරිය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණයි

පාර්ලිමේන්තුවට හෙට (14 දා) ඉදිරිපත් කෙරෙන මෙවර අයවැයෙන් (2023) ලබන වසරේ රජයේ මුළු වියදම රු. බිලියන 1785 කින් වර්ධනය වනු ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇතැයි රාජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

අයවැයෙන් බදු වැඩිවෙයි සුබසාධන ගෙනෙයි

මේ අනුව ගිය වසරේ (2021) රජයේ ඇස්තමේන්තු ගත වියදම රු. බිලියන 6100 ක් වූ අතර ඒ අනුව මෙය ලබන වසරේ (2023) දී රු. බිලියන 7885 ක් දක්වා ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙය රාජ්‍ය වියදම සියයට 29.2 කින් වර්ධනය වීමක් බව ද මීට සාපේක්‍ෂව රාජ්‍ය ආදායම ද වර්ධනය කරගත යුතු බව ද ඇමැතිවරයා පවසයි.

සෞඛ්‍ය සඳහා රු. බිලියන 432 ක්, අධ්‍යාපනය සඳහා රු. බිලියන 504 ක්, ආරක්‍ෂක වියදම සඳහා රු. බිලියන 367 ක් සහ සමාජ ආරක්‍ෂණය වෙනුවෙන් රු. බිලියන 572 ක් ද මෙවර අයවැයෙන් වෙන්කිරීමට සැලසුම් කර ඇති බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

රටේ මුළු පවුල් ලක්‍ෂ 68 න් ලක්‍ෂ 40 ක් හෙවත් පවුල් සියයට 69 ක් ජීවත්වීම සඳහා සහනාධාර ඉල්ලා සිටින තත්ත්වයක් තුළ මේ අයවැය ඉදිරිපත් වන බව ද ඇමැතිවරයා කියයි.

මේ අතර රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.5 මට්ටමේ සිට මද්‍යකාලීනව සියයට 17-18 මට්ටම දක්වාත් වර්ධනය කරගත යුතුයි. මින් ලබන වසර (2023) සඳහා වන රාජ්‍ය ආදායම අවම වශයෙන් රු. බිලියන 700 කට වැඩි අගයකින්වත් වර්ධනය කරගත යුතු බව තමා අපේක්‍ෂා කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට පහසුකම් සලසන සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය අවධානය යොමුකර ඇති බව ද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලබන වර්ෂය (2023) සඳහා රාජ්‍ය අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (14 දා) ප. ව. 1.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

ආර්ථික අර්බුදය හමුවේ මෙවර ඉදිරිපත් වන්නේ ලංකා ඉතිහාසයේ අභියෝගාත්මකම අයවැය බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් “දිවයින ඉරිදා සංග්‍රහය’ට කීවේය.

මුදල් ඇමැතිවරයා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරෙන හෙට (14 දා) දින පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, ඊට දෙදිනකට පෙර (11 වැනි සිකුරාදා) මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ම, ආරක්ෂක පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන හෙට දින මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ.

පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තැබේ. මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ වෙනත් රථගාල් වෙත යොමු කරන අතර, එදින පාර්ලිමේන්තුවට පැමිණීමේදී, හැකිතාක් දුරට රියැදුරකු කැටුව පැමිණෙන ලෙස ද කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවනු ලබන බව ද කථානායක දන්වා සිටී.

මීට අමතරව, මෙදින රථ වාහන පොලිසිය සහ අවට පොලිස් ස්ථාන මඟින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment