අයවැයෙන් වෙන් කළ පුනරාවර්තන ප්‍රතිපාදන 6%ක් කපන්න චක්‍රලේඛයක්

86

මේ වර්ෂය (2023) සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6 කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් දී තිබේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් මේ චක්‍රලේඛය යවා ඇත.

මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස්කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා රජයේ වියදම් වඩාත් අරපිරිමැසුම්දායී ලෙස භාවිත කිරීම හා අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීමේ අරමුණින් 2023 වසරේ රාජ්‍ය වියදම් සියයට 6 කින් කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව අයවැය මගින් වෙන්කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත.

වියදම් අවම කිරීම සඳහා හඳුනාගත් ක්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තු පෙබරවාරි මස 28 වැනිදාට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබේ.

මේ අයුරින් වියදම් කපා හැරීමෙන් පසුව සංශෝධිත ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවා අරපිරිමැසුම්දායී ලෙස වියදම් දැරීමට හැකිවන සේ වියදම් අවශ්‍යතා ප්‍රමුඛතාගත කිරීමට කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment