අයවැයෙන් සෞඛ්‍යයට මුදල් අඩු කළේ රෝගීන්ගෙන් මුදල් අයකිරීමටද? – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

92

අද (14දා) ඉදිරිපත් කරන අයවැය මගින් සෞඛ්‍ය සේවාවට වෙන්කරන මුදල් අඩුකර තිබෙන්නේ රෝගීන්ගෙන් මුදල් අයකර ගැනීමේ අරමුණකින් දැයි සැකයක් මතුවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (13දා) පැවැසීය.

වෙනත් වසරවල අයවැය මගින් සෞඛ්‍යයට සමස්ත අයවැයෙන් සියයට 07 ක් 08 ක් වෙන්කරනු ලැබුවත් මෙවර එය සියයට 04 ක් දක්වා අඩුකර ඇතැයි ද බණ්ඩාර මහතා කීය.

දැනටමත් සෞඛ්‍ය සේවාව ලබාගැනීමේදී ජනතාව ඒ සඳහා සියයට 47 ක් මුදල් වැයකරන බවත්, අයවැයෙන් වෙන් කරන මුදල අඩුවීම නිසා ඖෂධ ලබාගැනීමේදී සියයට 47 ටත් වඩා වියදමක් දැරීමට ජනතාවට සිදුවන බවත් පැවසූ වෛද්‍ය බණ්ඩාර මහතා සෞඛ්‍ය සේවාවට අඩුවෙන්ම මුදල් වෙන්කරන රටවල් 37 අතර අපේ රටත් තිබෙන බවද කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයද සෞඛ්‍යය සඳහා මුදල් වෙන්කරන රටවල් අතර අපේ රට පහළ මට්ටමක පවතින බව පෙන්වා දී ඇති බවත් මේ ආකාරයෙන් සෞඛ්‍යයට වෙන්කරන මුදල් ප්‍රමාණය අඩුකිරීමට කටයුතු කළහොත් අපේ රට සෞඛ්‍ය අතින් තවත් පිරිහීමට ලක්වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

රට තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින බව පැවසුවද එය වචනයට පමණක් සීමාවන තත්ත්වයක් උදාවී ඇති බවත් දැනට පවතින තත්ත්වය අනුව නොමිලේ රෝහල්වලට ඇතුළත්වීමේ අවස්ථාව පමණක් තිබෙන බව පෙනෙන්නට ඇති බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment