අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි – පක්‍ෂව 153යි – විපක්‍ෂව 60යි

115

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරි වසර (2022) සඳහා ඉදිරිපත් කරන ලද මංගල අයවැය යෝජනාවලිය ඊයේ (22 දා) දෙවැනි වර කියවීමේ ඡුන්ද විමසීමේදී වැඩි ඡන්ද 93කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අයවැයට පක්‍ෂව ඡුන්ද 153ක් ලැබුණ අතර ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු මිත‍්‍ර පාර්ශ්ව ඊට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ. ඩයනා ගමගේ, පූජ්‍ය අතුරලියේ රතනහිමි, ඒ. ඒ. එස් එම්. රහිම්, නසීර් අහමඞ්, ඉෂාක් රහුමාන්, මොහොමඞ් මුෂාරෆ්, එච්. එම්. එම්. හාරිස්, ෆයිසාල් කාසිම් යන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් හා සමස්ත ලංකා මහජන කොංග‍්‍රස් මන්තී‍්‍රවරු කිහිපදෙනෙක් අයවැයට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ.

එහිදී අයවැයට විරුද්ධව ඡුන්ද 60ක් ලැබුණු අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂය නියෝජනය කරන සුළු පක්‍ෂ අයවැයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළහ.

මන්ත‍්‍රිවරුන් 11ක් ඡුන්දයට පැමිණ සිටියේ නැත.

මුදල් ඇමැතිවරයා පසුගිය 12 දා සවස මෙම අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පසුගිය 13 දා සිට ඊයේ දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.

දෙවැනිවර කියවීමේ විවාදය අවසන් වීමෙන් පසුව ඊයේ පස්වරු 5.10ට පමණ ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයට ඡුන්දය විමසීම ආරම්භ කෙරිණි.

අයවැය දෙවැනිවර කියවීමේ ඡුන්ද විමසීම් සිදු කිරීමෙන් අනතුරුව (23 දා) සිට ලබන මස (දෙසැම්බර්) 10 දා තෙක් දින 16ක් අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අයවැය තුන්වැනි වර කියවීමේ ඡුන්ද විමසීම ලබන 10 දා පස්වරුවේ සිදු කෙරේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment