අයවැය වැඩි ඡන්ද 115 කින් සම්මතයි

79

පක්ෂව 120යි විරුද්ධව 5යි 43ක් ඡන්දය දීමෙන් වැළකෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි මාස හතර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය දෙවනවර කියැවීම වැඩි ඡන්ද 115කින් පාර්ලිමේන්තුවේ ඊයේ (02 දා) සම්මත කරනු ලැබීය. අතුරු අයවැය සඳහා පක්ෂව මන්ත්‍රී ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබිණි. එමෙන්ම මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ඡන්දය ප්‍රකාශ කළහ. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනා, ජී. ජී. පොන්නම්බලම් සහ එස්. ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.

සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ පාර්ශ්වයේ හා පක්ෂ නවයේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඡන්ද විමසීම ඩිජිටල් ක්‍රමයට සිදු කෙරිණි.

ජනාධිපතිවරයා අතුරු අයවැය යෝජනාවලිය පසුගිය 30 දා පස්වරුවේ ඉදිරිපත් කළේය. පසුව ඒ පිළිබඳ විවාදය ඊට පසුදින (31 දා) සිට ඊයේ (02දා) දක්වා පැවැත්විණි.

පසුගිය වසරේදී (2021) එවකට මුදල් ඇමැතිවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම වසර (2022) සඳහා ඉදිරිපත් කර තිබූ අයවැය සංශෝධනය කරමින් වත්මන් මුදල් ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු අයවැය ඉදිරිපත් කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment