අයවැය 2/3 න් සම්මතයි: පක්ෂව ඡන්ද 157 යි විරුද්ධව 64 යි

168

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් 2022 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියේ තෙවැනි වර කියැවීම තුනෙන් දෙකක බහුතරයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) සම්මත විය.

අයවැයට පක්‍ෂව ඡන්ද 157 ක්ද විපක්‍ෂව ඡන්ද 64 ක්ද හිමිවූ අතර ඒ අනුව වැඩි ඡන්ද 93 ක් හිමිවිය.

අයවැය 2/3 න් සම්මතයි: පක්ෂව ඡන්ද 157 යි විරුද්ධව 64 යි

අයවැයට පක්‍ෂව ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ඇතුළු පක්‍ෂ ඡුන්දය ප‍්‍රකාශ කළ අතර අතුරලියේ රතන හිමි, සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන්, නසීර් අහමඞ්, මොහොමඞ් මුෂාරෆ්, අලි සබ්රි රහීම්, එම්. එච්. එම්. හාරිස්, ෆයිසාල් කාසීම් යන මන්ත‍්‍රීවරු අයවැයට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ.

අයවැයට විරුද්ධව සමගි ජනබලවේගය ජාතික ජනබලවේගය, එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ඇතුළු විපක්‍ෂය නියෝජනය කරන සුළු පක්‍ෂ ඡන්දය ප‍්‍රකාශ කළහ.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පසුගිය 12 වැනිදා 2022 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පසුගිය 13 වැනිදා සිට 22 වැනිදා දක්වා දින හතක් දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණ. දෙවැනිවර කියැවීමේ විවාදය අවසන් වීමෙන් පසුව 22 දා පස්වරු 05.10 ට පමණ ඡන්ද විමසීම සිදුවිය. ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදයට පැවැත්විණි. අයවැය දෙවන වර කියැවීමේ විවාදය අවසන් වීමෙන් පසුව අයවැය පිළිබඳ තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා සිට ආරම්භ විය. නොවැම්බර් 23 දා සිට ඊයේ (10 දා) දක්වා පුරා දින 16 ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැති අතර ඊයේ (10 දා) පස්වරු 5.00 ට ඊට අදාළ ඡුන්ද විමසීම සිදු කෙරිණි.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ පිළිතුරු කතාවෙන් පසුව 2022 වසර සඳහා වන අයවැය තෙවන වර කියැවීමට අදාළ ඡුන්ද විවමසීම ඊයේ (10 දා) පස්වරු 6.00 ට ආරම්භ විය. අයවැය විවාදය අවසාන වීමෙන් පසුව සම්ප‍්‍රදායික ලෙස කතානායකවරයා විසින් ලබාදෙන තේ පැන් සංග‍්‍රහය කතානායක නිල නිවසේ දී ලබා නොදී මෙවර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවත්විණි.

ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් වන විජේදාස රාජපක්‍ෂ, ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න හා විපක්‍ෂ මන්තී‍්‍ර කුමාර වෙල්ගම යන මහත්වරු ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභා ගැබට පැමිණ සිටියේ නැත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment