අයහපත් කාලගුණයෙන් 2352 ක් පීඩාවට

106

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 601 කට අයත් පුද්ගලයන් 2352 දෙනකු පීඩාවට පත් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්ව මේ වන විට සුරක්‍ෂිත මධ්‍යස්ථාන 3 ක රැඳී සිටින පුද්ගලයන් සංඛ්‍යාව 25 කි. පීඩාවට පත් පුද්ගලයන් 1362 ක් ඥාති නිවාසවල රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානය කියයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 82 කට අර්ධ හානි සිදුව ඇත.

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ ඊයේ (15 වැනිදා) කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පැවතුනි. මේ නිසා කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ගංවතුර අවදානමක් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

එසේම දිවයිනේ නිරිතදිග කොටසට ඇදහැලෙන වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 4 කට අයත් ප්‍රදේශ රැසක මේ වන විට ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබිණි.

පවතින අධික වර්ෂාවත් සමඟ කළු ගඟ පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඊයේ හටගෙන තිබිණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 372 කට අයත් පුද්ගලයන් 1492 දෙනකු අවතැන් වී සිටින බවත්, අර්ධ නිවාස හානි 63 ක් සහ වෙනත් දේපළ හානි 3 ක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

එසේම මැයි 12 වැනිදා හමා ගිය තද සුළං තත්ත්වත් සමඟ ගසක අත්තක් කඩා වැටීමෙන් පසු කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයකු මරුමුවට පත් වී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment