අයහපත් කාලගුණයෙන් 5කට තුවාල: 220ක් පීඩාවට

71

බදුල්ල – ගාල්ල – මාතලේට නාය අනතුරු නිවේදන
ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 05 දෙනකු තුවාල ලබා පවුල් 62 කට අයත් 220 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත.

මෙම ආපදා තත්ත්වය බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සිදු වී තිබේ. මෙහිදී නිවාස 03 ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 20 කට අර්ධ හානි සිදු වී ඇත. පීඩාවට පත් පිරිස ආරක්‍ෂක ස්ථානයක රැඳවීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ද දිස්ත්‍රික්ක 03කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02 (කහ) අවදානාත්මක නිවේදන නිකුත් කර ඇත.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර 01 (රතු) යටතේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

පස් කඳු සහ ගල් වැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව ඊයේ (20 දා) විවෘත කර තිබුණි. 18 වංගුව දෙවන වංගුව ප්‍රදේශයට පෙරේදා (19 දා) සවස පස්කඳු සහ ගල් කඩාවැටීම හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා තිබුණි. ඊයේ වන විට පස් සහ ගල් ඉවත්කර රථවාහන ගමනාගමනයට එක් මංතීරුවක් විවෘත කර අවසර ලබා දී තිබුණත් වර්ෂාපතනය සමඟ යළි මාර්ගයට පස්කඳු සහ ගල් කඩාවැටීමේ අවදානම පවතින බව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ප්‍රදේශ කිහිපයකට වර්ෂාපතනය ලැබුණත් ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැත. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment