අයිඑම්එෆ් අනුමැතියට ශ්‍රී ලංකාවෙන්  කරුණු දෙකකට සහතිකයක් ඉල්ලයි

310

ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා දීමට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන අතර ඒ සඳහා නිශ්චිත කරුණු 2 කට සහතිකයක් අවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී පවසයි.

පළමු වැන්න ද්විපාර්ශවීය ණය හිමියන් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු සම්බන්ධව නම්‍යශීලීව කටයුතු කිරීමට සූදානම් වීම සහ දෙවැන්න ඒ ආකාරයෙන්ම පෞද්ගලික ණය සැපයුම්කරුවන් සමඟද එකඟත්වයකට පැමිණ කටයුතු කිරීමට සූදානම් වීමයි බව ඇය කියා සිටියාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව අමෙරිකාවේ වොෂින්ටන්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

“ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ණය සම්බන්ධයෙන් නීතිමය හා මූල්‍ය උපදේශකයන් සමග කටයුතු කරමින් සිටිනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කාලරාමුවක් ප්‍රකාශයට පත්කිරීමට අපහසුයි. මන්ද ණය පිළිබඳව තීරණයකට එළැඹීමට කාලයක් අවශ්‍යයි. විවිධ රටවල් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කාලසීමාවන්, ණය හිමියන් සම්බන්ධ වන ආකාරය මත පදනම්ව එය වෙනස් වනවා” යැයි ද ඇය ප්‍රකාශ කළාය.

“ශ්‍රී ලංකාව මේ වනවිට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අපි අවධානයෙන් පසුවනවා. දරිද්‍රතාව වගේම අවදානම් පිරිස් මුහුණ දෙන ගැටලු නිමාකිරීම සඳහා ද කඩිනමින් කටයුතු කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. සැප්තැම්බර් පළමුවැනිදා සිට වසර 4ක කාලයක් සඳහා විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීමට කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹ සිටිනවා යැයිද ඇය ප්‍රකාශ කළාය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment