අයිඑම්එෆ් එක කියන සියලු දේ කරනවානම් ආණ්ඩුවට ආර්ථික උපදේශකයන් අවශ්‍ය නෑ – මුජිබර් රහුමාන් (සජබ)

1

ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සියලු දේ සිදුකරනවානම් ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු අවශ්‍ය වන්නේ නැති බවත් ඔවුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

රටේ මෙතෙක් හිටපු නීතිපතිවරුන්ට සේවා දිගුවක් ලබාදී නෑ. හිටපු නීතිපතිවරු නියමිත කාලයේදී විශ්‍රාම ගෙන ඊළඟට එම ධූරයට පැමිණිමට නියමිත සුදුස්සාට එම ධුරයේ කටයුතු භාර දීලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී එවක සිටි නීතිපතිගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ කළත් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වෙලා ඒ කටයුත්ත නතර කළා. නමුත් වර්තමාන නීතිපතිවරයාගේ ධුර කාලය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ ගනිමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වර්තමාන නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබෙන්නේ සාවද්‍ය කරුණු.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට වර්තමාන නීතිපතිවරයාගේ දායකත්වය ලබාගන්න අවශ්‍ය නිසා වර්තමාන නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළ යුතු බව ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට දන්වා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරියෙකු නැද්ද ඒ සඳහා දායකත්වය ලබාගන්න. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ලබාගැනීම සඳහා වර්තමාන නීතිපතිවරයාගේ දායකත්වය ලබාගන්න අවශ්‍ය නිසා වර්තමාන නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළ යුතු බව ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට දන්වලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරියෙකු නැද්ද ඒ සඳහා දායකත්වය ලබාගන්න. වර්තමාන නීතිපතිවරයා විශ්‍රාම ගියාම නීතිපති දෙපාර්තමේන්තුව වහන්නයි වෙන්නේ. ජනාධිපතිවරයා වර්තමාන නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබෙන්නේ සාවද්‍ය කරුණු.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන්, තවත් රුපියල් මිලියන 8750 ක් පරිපූරක මුදලක් ගෙවීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් ඕනෑම අරමුදලකින් හෝ ශ්‍රී ලංකාව ලබාගන්න ඔනෑම ණය මුදලිකින් මෙම මුදල් වෙන් කරගැනීමට හැකියාව තිබෙන බව සඳහන් වෙනවා.

රටේ ජනතාවගේ සේවක අර්ථක සාධක අරමුදලෙන් හෝ සේවක භාරකාර අරමුදලෙන් වුණත් මේ මුදල් ලබාගන්න පුලුවන්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදුන්න ණය මුදලෙන් වුණත් මේ මුදල් ලබාගන්න පුලුවන්. ජනාධිපතිවරයා ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න මොහොතක මෙවැනි මුදල් ප්‍රමාණයක් ලබාගැනීම පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. ජනාධිපති මැතිවරණයේ දී මේ මුදල් භාවිතා කරන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටු ආණ්ඩුව සැරසෙන්නේ. මේ පිළිබඳව සොයාබලන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මේ සිදුකරන්න යන්නේ නීතිවිරෝධි ක්‍රියාවක්. ජනාධිපතිවරයා ඔහුගේ ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නීති හදන්න උත්සාහ කරනවා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා බලපෑම් කරනවා. කෙසේ හෝ තමන්ගේ බලය රැක ගැනීම සඳහා ජනාධිපතිවරයා වියරුවෙන් හැසිරෙන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. මැතිවරණයක් ආසන්නයේ තිබෙන මොහොතක මිලියන 8750 ක මුදල් ප්‍රමාණයක් නීතිවිරෝධීව ජනාධිපතිවරයා ලබාගන්නේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කියන කාරණය පැහැදිලියි.

ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සියලු කොන්දේසිවලට යටත් වුණා. රටේ ජනතාව පීඩාවට පත් වන ආකාරයේ කොන්දේසි වලට ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වෙලා තිබෙනවා. ජනතාව පීඩාවට පත් නොවන ආකාරයේ කොන්දේසිවලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආණ්ඩුව එකඟ වෙලා නෑ. නමුත් රාජ්‍ය දුෂණය අවම කරගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ කොන්දේසිවලට ආණ්ඩුව එකඟවෙලා නෑ. ඒ කොන්දේසි ක්‍රියාත්මක කරන්න කටයුතු කරලත් නෑ.

ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. ඒ නිසා ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු අවශ්‍ය වන්නේ නෑ. ඔවුන් වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment