අයිඑම්එෆ් ගිවිසුමේ තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව ජනතාව රවට්ටනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

74

විපක්‍ෂ නායකගෙන් ආණ්ඩුවට ප්‍රශ්න 8ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුවේ ගනුදෙනු පිළිබඳව තීරණාත්මක තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව විසින් ජනතාව රවටාලීමට කටයුතු කිරීම ද කණගාටුවට කරුණක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය

ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් විමසමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද කීය.

රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය සැප්තැම්බර් මාසයේ දී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව වාර්තා වූ අවස්ථාවේ සිටම, එම ගිවිසුමේ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුව හමුවේ තබන ලෙස අප විසින් බොහෝ අවස්ථාවන්හි දී රජයෙන් ඉල්ලීම් කරනු ලැබීය. එහි අරමුණ වූයේ, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. එසේ වුවද, ආණ්ඩුව ඒ කිසිදු ඉල්ලීමක් පිළිබඳව නොතැකූ අතර, මාර්තු මස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමි වන තෙක් කිසිදු තොරතුරක් පාර්ලිමේන්තුවට හෝ මෙරට ජනතාවට දැනගැනීමට ඉඩ නොලැබුණි.

ආණ්ඩුවේ මෙම විනිවිදභාවයෙන් තොර වූ හැසිරීම අප තරයේ ප්‍රතික්ෂේප කරන අතර, තීරණාත්මක තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව විසින් ජනතාව රවටාලීමට කටයුතු කිරීම ද කණගාටුවට කරුණකි.

ඒ අනුව, රටට නිර්ව්‍යාජ පිළිතුරු අවශ්‍ය වන මෙවන් අවස්ථාවක පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. ශ්‍රී ලංකාවේ ජාතික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ දේශීය ණය අංශය ඇතුළත් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හා මහ බැංකු අධිපතිවරයා විසින් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි. නමුත්, මෙම වසරේ මැයි මස අවසානයට ප්‍රථම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ විස්තීර්ණ සැලසුම් අවසන් කළ යුතු බවට මහ බැංකු අධිපතිවරයා විසින් වර්තමානයේ දී ප්‍රකාශ කරනු ලබයි. මෙම පරස්පර විරෝධී ප්‍රකාශ තුළින් මහජනතාව නොමග යැවීමට තැත්කර ඇති බව රජය පිළිගන්නේ ද? මෙවැනි තත්ත්වයක් තුළ, රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම වැඩසටහන සම්බන්ධයෙන් මහජන විශ්වාසනීයත්වයක් ඇති කළ හැකිවේ ද?
  2. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුළ මෙරට බැංකු සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරවත්වය රැකගැනීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේ ද?
  3. වැඩකරන ජනතාවගේ විශ්‍රාමික ආරක්ෂණය වන සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) බලපෑමක් විය හැකි ආකාරයෙන් රජය එම අරමුදල භාවිතා නොකරන බව රජයට සහතික විය හැකි ද?
  4. රජය දැනටමත් එකඟ වී ඇති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී දැඩි ලෙස බලපෑමට ලක්විය හැකි දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානම් කාණ්ඩ සුරක්ෂිත කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ. එහිදී රජය ගෙන ඇති ක්‍රියාමාර්ග තුළින් දැනට ප්‍රතිලාභ ලැබෙන කණ්ඩායම්වලට බලපෑමක් විය හැකි ද?
  5. ආර්ථික ස්ථායීකරණය, සමාජ ආරක්ෂණ ජාලය ක්‍රියාත්මක කිරීමේ දී සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීම වඩාත් වැදගත් වේ. මෙරට ජන සංගනණයක් අවසන් වරට සිදු කර ඇත්තේ 2012 වසරේ දී වන අතර, එම දත්ත අද සම්පූර්ණයෙන්ම වෙනස්ව ඇති බව රජය පිළිගන්නේ ද? එසේනම්, නව ජන සංගණනයක් සිදු කිරීමට රජය අපේක්ෂා කරන්නේ කවදාද?
  6. රජය විසින්, 2019 නොවැම්බර් ජනාධිපතිවරණය හා 2020 අගෝස්තු පාර්ලිමේන්තු මහ මැතිවරණය අවස්ථාවන්හි දී ජනතාව වෙත ලබා දෙන ලද පෞද්ගලීකරණය නොකිරීමේ පොරොන්දුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් වෙමින් උල්ලංඝණය කිරීම රජය සාධාරණීකරණය කරන්නේ කෙසේ ද?
  7. හම්බන්තොට තෙල් පිරිපහදුව ආශ්‍රිත සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉදිරිපත්ව සිටින බොහෝ සමාගම්වල නිපුණත්වයේ හා හැකියාවේ දුර්වලත්වය හා අසතුටුදායක කාර්ය සාධනය සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය තුළ වාර්තා වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජය දැනුවත් ද? එසේ නම් ඒ සම්බන්ධව රජයේ ප්‍රතිචාරය කුමක් ද?
  8. මීට පෙර රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලදී සිදු වූ බවට වාර්තා වන අයථා ක්‍රියා සහ මූල්‍ය වංචා, ඉදිරියේ දී ද සිදු නොවන බවට රජයට ඇති සහතිකය කුමක් ද? රජය ඒ සඳහා ගනුලබන විශ්වාසනීය සහ පාරදෘශ්‍ය ක්‍රියාමාර්ග පැහැදිලි කරන්නේ ද?
    අකිත පෙරේරා, රනිල් ධර්මසේන
advertistmentadvertistment
advertistmentadvertistment