අයිඑම්එෆ් රට ගෙන යන්නේ ආර්ථිකය බංකොලොත්වූ ආජන්ටිනාව ගෙන ගිය පාරේ

132
  • පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

අයිඑම්එෆ් මපට්ලා මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත්වූ ආජන්ටිනාව ගිය පාරේ යැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (01දා) උත්තර ලංකා සභාගය කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර බැඳුම්කර ණය ගන්න අපි පටන් අරන් තියෙන්නේ 2007දී. ඊට කලින් අපි ඒ ණය අරන් නෑ. මොකද හේතුව ඒවා අධික පොලිය නිසයි. ඒ ණය ගත්තු වෙලා වෙලාවේ සිට ගෙවන්න වෙනවා. ඒක ණය කළමනාකරණයට අර්බුදයක් වෙයි කියලා හිතලා 2007දී සිට තමයි මේ ණය ගන්න පටන් අරන් තියෙන්නේ. මහින්ද රාජපක්‍ෂ පාලනය 2007 මේක ගන්න පටන් ගත්තා යුද්ධය තියෙන කාලේ. ඒ මුළු කාලයේම අරන් තියෙන්නේ ඩොලර් බිලියන 3.5යි. රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව ඔවුන් බලයේ සිටන කාලය තුළ සියයට 6,8,9 පොලියට ණය ඩොලර් බිලියන 12.5 ක් අරන් තියෙනවා.

අපි නිදහසේ සිට අරගෙන තියෙන මුළු ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 15කට ආසන්නයි. එතකොට අවුරුදු හතර හාමරක් ඇතුළත ඒ හා සමාන කිට්ටු ගාණක් ලෝක මූල්‍ය වෙළෙඳ පොලෙන් අයිඑස්බී ලෝන් ගත්තා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඔවුන් කියපු විදිහට මේ වගේ අර්බුදවලට මුහුණදීපු සමහර රටවල් මේ වගේ ණය ප්‍රතිව්‍යුහගත කර ගත්තා. නමුත් අයිඑස්බී කියන ණයවල අයිතිකාරයෝ කවුද කියලවත් හොයා ගන්න බෑ. මොකද වෙන කෙනෙක්ගේ සල්ලිවලට තවත් කෙනෙක් පෙනී ඉන්නේ. මුදල් වෙළෙඳපොළෙන් ජාත්‍යන්තර ගන්න ණයවලට පාරශ්වකරුවන් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. බොහෝ රටවල ආයතනවලින් සල්ලි දීලා තියෙන්නේ. ඒ ආයතනවලින් ණය ගත්තාම ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම ඉතා විශාල අභියෝගයක්.

මට පේන විදිහට මේගොල්ලන්ට ඔය අයිඑස්බී ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ. ඔය විදියටම මූල්‍ය අරමුදල උපදෙස් දීලා තියෙන බොහෝ රටවල්වල අයිඑස්බී ලෝන් නැති තැන්වල මේක කරගන්න පුළුවන් වුණා.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment