අයිඑම්එෆ් සහන ගැනීමේ ඉලක්කය අත ළඟ – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

126

අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් වන ඉලක්කයට ඉතාම නුදුරේදීම යෑමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (30දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මේ සාකච්ඡා සම්බන්ධයෙන් දැන් ඉතාම හොඳ තැනක සිටින බවද අප අයිඑම්එෆ් සහනය ලබා ගන්නා තැනට පැමිණියේ බොහෝ දුර්වල තැනක සිට මෙන්ම බොහෝ ප්‍රමාද වී බව ද ඔහු සඳහන් කළේය.

අයිඑම්එෆ් සහාය නොගෙන මේ බරපතළ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා වෙනත් විකල්පයක් තිබේදැයි තමා ප්‍රශ්න කරන බව ද එම විකල්පයට යෑමේදී අයිඑම්එෆ් සමඟ ඇති මඟපෙන්වීම් අනුව කටයුතු කිරීමට සිදුවන බව ද මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා කියා සිටියේය.

මේ වර්ෂයේදී සියයට 3.5 – 4 ක පමණ සෘණ ආර්ථික වර්ධනයකට මුහුණදීමට සිදුවන බව ද, ගිය වර්ෂයේ (2022) සියයට 10 කට අධික ආර්ථික පසුබැස්මකට මුහුණදීමට සිදුවූ බව ද පෙන්වා දුන් මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලබන වසරේ (2024) සිට ධන ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට රටට හැකිවනු ඇතැයි පැවසීය.

2019 වර්ෂයේදී ලක්‍ෂ 16 කට අධිකව පැවති බදු ලිපිගොනු ප්‍රමාණය බදු වෙනස්කම් නිසා ලක්‍ෂ 4 කට පමණ අඩු වූ බව ද මේ සමඟ රටට බැරෑරුම් තත්ත්වයකට මුහුණදීමට සිදු වූ බව ද සියඹලාපිටිය මහතා කීවේය.

මේ තත්ත්වයන් නිවැරදි කර ගැනීමේදී බදු ආදායම් වර්ධනය කරගත යුතු බව ද එහිදී සියලුදෙනාටම කැප කිරීම් කිරීමට සිදුවනු ඇති බව ද මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය ද එක්ව සිටියහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment