මුල්‍ය අරමුදලේ කොන්දේසි බරපතළයි… පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර

504

අයින් වුණේ මගේ අවංකකම නිසා…ජනාධිපතිතුමත් එහෙම හිතනවා ඇති!

අපේ යෝජනා ගැන රටේ ප‍්‍රභූන් සමග කතා කරනවා

දක්ෂිණාංශික බලවේගවලට බලය යන්නත් ඉඩ තිබෙනවා

රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය විසින් ආණ්ඩුව තුළ ද දේශපාලන අර්බුදයක් ඇති කර ඇත. එම දේශපාලන අර්බුදයේ වර්තමාන තත්්ත්වය පිළිබඳව මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි දේශපාලන පෙළගැසීම් පිළිබඳව ද ජල සම්පාදන අමාත්‍ය රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතාගෙන් විමසීමට අප අදහස් කළෙමු. ඒ පිළිබඳව ඒ මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – මේ වනවිට ඔබ ජල සම්පාදන අමාත්‍ය ධුරයේ වගකීම් ඉටු කිරීමෙන් ඈත් වෙලා සති දෙකකට වඩා කාලයක් ගත වී තිබෙනවා. නමුත් මේ දක්වා ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ.ඒ සම්බන්ධයෙන් ඔබට කීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – මම හිතන්නේ මම එම පියවර බොහෝම අවංකව ගත්ත බව ජනාධිපතිතුමා සිතනවා. එම නිසා මට විරුද්ධව පියවර ගැනීම හොඳ නැත කියලා සිතනවා ඇති. මගේ සගයන් දෙදෙනකු ඇමැති ධුරවලින් ඉවත් කිරීමට විරෝධය දැක්වීම සඳහා තමයි මම මෙම පියවර ගත්තේ. එසේ නොමැතිව මට මොනවා හරි ලබාගන්න නොවෙයිනේ. ඒ පිළිබඳව තේරුම් ගැනීමක් තිබෙන නිසා පියවරක් නොගත් බව මම හිතනවා.

ප‍්‍රශ්නය – ජනතාවගේ මූලික අවශ්‍යතාවක් වන ජලය අඛණ්ඩව ලබාදීම ජල සම්පාදන ඇමැතිවරයාගේ වගකීම වනවා. එබඳු ඇමැති ධුරයක වගකීම් දිගින් දිගටම ඉටු නොකර සිටීමට පුළුවන්කමක් තිබෙනවාද?

පිළිතුර – මම හිතන්නේ තව සුමානයක් දෙකක් යන විට මේ පිළිබඳව තීන්දුවක් ගැනීමට සිද්ධ වෙනවා. මෙම කාරණය ඊට වඩා කාලයක් දික්ගස්සන්න අමාරුයි.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරනවා ඔබගේ සගයන් දෙදෙනකු වන විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම නිසා මෙම පියවර ගන්න බව.

ඇත්ත වශයෙන්ම ඔබගේ සගයින් දෙදෙනා ඇමැති ධුරවලින් ඉවත් කළේ පක්ෂ 11ක් විසින් මාර්තු 02 වැනිදා ඉදිරිපත් කළ යෝජනාවලින් නිසා ද එසේත් නොමැති නම් එදින පැවති රැස්වීමේදී ඔවුන් දෙදෙනා විසින් බැසිල් රාජපක්ෂ මහතාව එල්ල කර කරන ලද ප‍්‍රකාශ නිසාද?

පිළිතුර – මම හිතන්නේ ඔවුන් කළ ප‍්‍රකාශ උඩ තමයි. නමුත් එම ප‍්‍රකාශ කිරීමේ හේතු විමසලා යම් ආකාරයක සාකච්ඡාවක් කළා නම් හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. සාකච්ඡාවක් තියලා ඇයි එහෙම ප‍්‍රකාශ කළේ, මොනවද එම චෝදනා කියලා සොයා බැලීමක් කළා නම් හොඳයි කියලා මම හිතනවා.

ප‍්‍රශ්නය – ඔබගේ සගයන් විසින් කළ ප‍්‍රකාශ අනුව. තවදුරටත් එක්ව කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවාද? යන ප‍්‍රශ්නය මතුවනවා නේද?

පිළිතුර – ඔව්. බරපතළ ප‍්‍රකාශ. එසේ වුවත් එම ප‍්‍රකාශ කිරීමට හේතු වූ කාරණා පිළිබඳව යම් අදහස් හුවමාරුවක් කරගත්තා නම් සමහර විට තවදුරටත් එම ප‍්‍රකාශ තුළ එල්ලිලා නොයන්න ඉඩ තිබුණා අපේ ඇමැතිවරු දෙදෙනා. ඒ කියන්නේ යම් පැහැදිලි කිරීමක් ලැබුණ නම්.

ප‍්‍රශ්නය – විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කියලා කියන්නේ මෑත කාලයේදී ඔබත් සමග එක්වූ සටන් සගයන්. නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔබගේ දීර්ඝ කාලීන සටන් සගයෙක්. මහින්ද රාජපක්ෂ මහතා මෙම ගැටලූව විසඳීමට ඉදිරිපත් වූයේ නැද්ද?

පිළිතුර – කතා කළා

ප‍්‍රශ්නය – ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ඒ මහතා කුමක්ද සඳහන් කළේ?

පිළිතුර – මහින්ද මහතා කියන්නේ මෙම තත්ත්වය බේරුමක් කර ගන්න කියලා.

ප‍්‍රශ්නය – මොකද්ද ඒ සඳහා යෝජනා කළ වැඩපිළිවෙළ.

පිළිතුර – ඒ සඳහා මහින්ද මහතා යම් පුද්ගලයකුට කිව්වා ඔහුගේ නිවසේ සාකච්ඡාවක් කැඳවන්න කියලා. එම සාකච්ඡාවට සහභාගි වන්නේ මහින්ද මහත්තයයි අප තුන් දෙනයි.

ප‍්‍රශ්නය – එම සාකච්ඡාව පැවැත්වූවාද?

පිළිතුර – තවම නැහැ.

ප‍්‍රශ්නය – කවදාද එම සාකච්ඡාව පවත්වන්නේ?

පිළිතුර – එම කටයුත්ත භාරදුන් පුද්ගලයා එම සාකච්ඡාව කැඳවිය යුතුයි.

ප‍්‍රශ්නය – එම සාකච්ඡාව කැඳවීම භාරව ඉන්න පුද්ගලයා කවුද කියලා කියන්න කැමති නැද්ද?

පිළිතුර – නැහැ නැහැ.

ප‍්‍රශ්නය – මාර්තු 02 වැනිදා පැවති රැස්වීමෙන් පසුවත් විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා තවදුරටත් බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර විවිධ ප‍්‍රකාශ කළා. එබඳු පසුබිමක් තුළ යළිත් සංහිඳියාවක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබෙනවාකියා බව ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර – මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි උත්සාහ කරනවා.

ප‍්‍රශ්නය – දිගින් දිගටම චෝදනා එල්ල කිරීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – ඒ සඳහා ඔවුන්ට හේතු ඇති.

ප‍්‍රශ්නය – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නවාට ඔබ විරුද්ධයි. නමුත් ගම්මන්පිල මන්තී‍්‍රවරයා ඒ සඳහා ඔවුන්ගේ එකඟතාවය ප‍්‍රකාශ කර තිබෙනවා.

එම සාධකය තුළින් පැහැදිලි වනවා නේද ඔබලාගේ සන්ධානය තුළ පවා විවිධ කරුණු සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බව.

පිළිතුර – සෑම දෙයක් පිළිබඳවම සම්පූර්ණ එකඟතාවක් නැහැ. ගම්මන්පිල මහතා කියන්නේ වෙන කරන්න දෙයක් නොමැති නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හරි යන්න කියන එක තමයි. මම කියන්නේ එම අරමුදලේ කොන්දේසි බරපතළයි. එම කොන්දේසිවලට එකඟ වෙලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන එක අපේ රටට කරගන්නා විශාල විනාශයක්.

ප‍්‍රශ්නය – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව විමල් වීරවංශ මහතාගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – ඒ පිළිබඳව අපි කතා කරලා නැහැ.

ප‍්‍රශ්නය – ඔබලා බැසිල් රාජපක්ෂ මහතාට කරන එක් චෝදනාවක් තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට පක්ෂ වූවාය කියන එක. නමුත් එම කාරණය පිළිබඳව ඔබලා අතර පවා එකඟතාවක් නැහැ.

බැසිල් මහතාට කරන තවත් චෝදනාවක් තමයි ඩොලරය ස්ථාවර විනිමය අනුපාතයක පවත්වා ගන්න කියන එක. නමුත් මේ වනවිට හෙළිදරව් වී තිබෙනවා එම තීරණය ගැනීම සඳහා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මෙන්ම මෙරට සිටින ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පවා මැදිහත් වී තිබෙන බව. ඒ අනුව ඔබලා බැසිල් රාජපක්ෂ මහතා එල්ල කර කරන සමහර චෝදනා මතභේදයට තුඩු දෙනවා නේද?

පිළිතුර – ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර මුලය අරමුදල සිටින්නේ එක තැනක. ව්‍යාපාරිකයන්ට රට ගැන ප‍්‍රශ්නයක් නැහැ. ඔවුන්ට ප‍්‍රශ්නය තිබෙන්නේ ඔවුන්ගේ ලාභය පිළිබඳව පමණයි.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යනවාට කැමති වන්නේ වෙන කරන්න දෙයක් නැති නම් පමණක් බව. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යනවාට ඔබ විරුද්ධයි.

ඔබ යෝජනා කරන්නේ මම අවස්ථාව වනවිට රට මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදයෙන් සහ විදේශ ණය අර්බුදයෙන් ගැලවීම සඳහා කුමක් කළ යුතු බවද?

පිළිතුර – අපි ණය ගෙවිය යුතු තැන්වලට ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කළ යුතුයි. මේ අවස්ථාවේදී එම ණය ගෙවීමේ හැකියාවක් නොමැති බව. අප මුහුණ දෙමින් සිටින අමාරු තත්ත්වය ඔවුන්ට පැහැදිලි කර දී එම ණය ගෙවීම සඳහා කල් ඉල්ලා සිටිය යුතුයි. ඕනෑම ණයකාරයෙක් තමන්ගේ මුදල් ලැබෙනවා නම් එම ණය ගෙවීම සඳහා තවදුරටත් කාලයක් ලබාදීමට කැමතියි. එබඳු පියවරකට මෙම අවස්ථාවේදී අපට යන්න වෙනවා.

ප‍්‍රශ්නය – මෙම විෂය පිළිබඳව ප‍්‍රාමාණික දැනුමක් තිබෙන පුද්ගලයන් ප‍්‍රකාශ කරනවා ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලය වැනි ආයතනයක මැදිහත්වීමක් සහතික වීමක් අවශ්‍ය වන බව. ඒ වගේම නිසි අවස්ථාවේදී ණය ගෙවීම් නොකළහොත් අපගේ රට බංකොලොත් රටක් බවට පත්වන බවත් ඔවුන් ප‍්‍රකාශ කරනවා.

එම ප‍්‍රකාශයන් පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – හරි. අපට ණය දීපු රටවල්වලට එම ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබාදීමට ආරක්ෂණ සහතිකයක් අවශ්‍ය බව මම පිළිගන්නවා. නමුත් එය ආරම්භක අවස්ථාවේදීම අවශ්‍ය වන්නේ නැහැ. එම කාරණා පිළිබඳව අපට දෙවනුව කතා කිරීමට පුළුවන්. එම ප‍්‍රශ්නය මතු වූ අවස්ථාවේදී අපි ඒ පිළිබඳව කතා කරමු. දැන් කියන්න තියෙන්නේ ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබා දෙන්න කියන එක තමයි.

ප‍්‍රශ්නය – නිසි වෙලාවට ණය ගෙවීමට කටයුතු නොකළහොත් අපේ රට බංකොලොත් රටක් ලෙස ප‍්‍රකාශයට පත්වීමට ඉඩ තිබෙනවා.

පිළිතුර – එහෙමත් වෙන්න පුළුවන්. අපි මුහුණදිය යුතු අභියෝගයට මුහුණදීම සඳහා වෙනත් විකල්පයක් නොමැති නම් මෙම පියවර නොගෙන වෙන මොනවා කරන්නද?

ප‍්‍රශ්නය – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යායුතු බව ප‍්‍රකාශ කරන පුද්ගලයන් ප‍්‍රකාශ කරනවා, එම අරමුදල විසින් අපට කොන්දේසි නොදමන බවත්, අපේ රට විසින් වැඩපිළිවෙළක් එම ආයතනයට ඉදිරිපත් කළ යුතු බවත්.

පිළිතුර – හොඳයි බලමු. අපට හානියක් නොවන ආකාරයටඅපත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් අතර ගිවිසුම් ඇති වනවා නම් අපට ඒ පිළිබඳව බලන්න පුළුවන්. නමුත් අයි. එම්. එෆ්. එක එහෙම කරන ආයතනයක් නොවෙයි. එම අරමුදල බලන්නේ මේ රටේ ආර්ථිකය නව ලිබරල් ආර්ථිකයට හසු කර ගන්න. ඔවුන් කියන්නේ ඒ ක‍්‍රමයෙන් ගොඩ එන්න පුළුවන් කියලා තමයි. මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වේවි. නමුත් මේ රටේ ජනතාව වළට වැටෙනවා. ඒ ක‍්‍රමයෙන් සිද්ධ වෙන්නේ ආයතන ගොඩ, ජනතාව වළට වැටෙන එක තමයි.

ප‍්‍රශ්නය – පක්ෂ 11 සන්ධානයේ මීළඟ පියවර කුමක්ද?

පිළිතුර – මීළඟ පියවර කියලා එකක් නැහැ. කීපයක් තිබෙනවා. අපි ඉදිරිපත් කළ යෝජනා මාලාව පිළිබඳව මේ රටේ ප‍්‍රධාන ප‍්‍රභූන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම ජනතාව අතරට ගිහිල්ලත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට ඉඩ තිබෙනවා. එම මැතිවරණවලදී පක්ෂ 11 සන්ධානය වෙනම තරග කරනවාද?

පිළිතුර – එදාට තිබෙන දේශපාලන තත්ත්වය මැන බලා කි‍්‍රයා කරනවා. දක්ෂිණාංශික බලවේගවලට එම මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට ඉඩ දෙන්න අපි කොහොමත් කැමැති නැහැ. දක්ෂිණාංශික බලවේගය කියන්නේ සමගි ජන බලවේගය. එම බලවේගයන් සමග සැමදාම එකට ගමන් කරපු බලවේගයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන්ගේ තත්ත්වය මැනලා බලලා අපි තීරණයක් ගන්නවා.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ පොහොට්ටු පක්ෂය හෙවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග තරග කිරීමටත් ඉඩ තිබෙනවාද?

පිළිතුර – අපි එකිනෙකා අතරේ ගැටුමක් ඇති නොවන ලෙස තරග කිරීමට ඉඩ තිබෙනවානේ. ඒ කියන්නේ දිස්ති‍්‍රක්ක වශයෙන් බෙදා ගෙන තරග කිරීම වැනි ක‍්‍රමයක් යටතේ. ඒ කියන්නේ නිතරග තත්ත්තවයක් යටතේ තරග කිරීම. පවතින මැතිවරණ ක‍්‍රමය තුළ එය කි‍්‍රයාත්මක කිරීමට අපහසු තමයි. මීට පෙර තිබුණ ඡන්ද ක‍්‍රමය තුළ නිතරම ගිවිසුම් යටතේ තරග කිරීමට පුළුවන්කම තිබුණා.

ප‍්‍රශ්නය – 1970 දී පැවති මැතිවරණයේදී සමගි පෙරමුණ යටතේ තරග කළ සමසමාජ පක්ෂයට සහ කොමියුනිස්ට් පක්ෂයට විශාල ජයග‍්‍රහණයක් අත් වූවා. ඒ වගේම එම මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව එම පක්ෂ අපේක්ෂා කළ බොහෝ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමටත් අවස්ථාව උදා වුණා.

එහෙත් 1977 දී පැවති මැතිවරණයේදී සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය තරග කළේ වෙනම. එම මැතිවරණයට පෙර සමසමාජ පක්ෂයේ නායකයා වූ එන්. එම්. පෙරේරා මහතා කළ ප‍්‍රකාශ තුළින් පැහැදිලි වනවා ඔවුන් එම මැතිවරණයේදී විශාල ජයග‍්‍රහණයක් අපේක්ෂා කළ බව. නමුත් එම මැතිවරණයේදී ඒ මහතා 1931 සිට ජයග‍්‍රහණය කළ ආසනයත් පරාජයට පත් වෙනවා. ඒ සමගම ඔවුන් ලබාගත් දේශපාලන ජයග‍්‍රහණය ආපස්සට කැරකෙනවා.

ඔබලාත් ඉදිරි මැතිවරණවලදී වෙනම තරග කරන තත්ත්වයක් තුළ එබඳු තත්ත්වයක් උදාවීමටත් ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – එබඳු තත්ත්වයක් ඇති වීම අප වළක්වා ගත යුතුයි. නිතරග ගිවිසුමක් යටතේ හෝ තරග කිරීමට අපි බලන්න ඕනි. නමුත් එය කියන තරම් පහසු නැහැ. 1977 දී අත් වූ පරාජයට ප‍්‍රධාන හේතුව නිතරග තත්ත්වයක් ඇති කර නොගැනීම. එම නිසා අපට විශාල පරාජයක් අත්වූවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් ජය ගත්තේ ආසන 8ක් පමණ සංඛ්‍යාවක්.

ප‍්‍රශ්නය – විමල් වීරවංශ මන්තී‍්‍රවරයා සඳහන් කරලා තිබෙනවා යළිත් රාජපක්ෂලා සමග දේශපාලනය නොකරන බව. ඒ වගේම ගම්මන්පිල මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා බැසිල් රාජපක්ෂ මහතා යළි ඇමරිකාවට යන තුරු සටන අත්නොහරින බව.එබඳු පසුබිමක් තුළ නිතරග ගිවිසුම් ඇති කර ගැනීමට පුළුවන් වේවිද?

පිළිතුර – එම ප‍්‍රකාශයන් කර තිබෙන්නේ අද තිබෙන තත්ත්වයන් සහ ආවේගයන් මතනේ. නමුත් විෂයබද්ධ තීරණ ගැනීමේ අවස්ථාවකට පැමිණි පසු ඊට වඩා වෙනස් කල්පනාවක් ඇති වෙනවානේ. කාලයාගේ ඇවෑමෙන් වෙන්න බැරි දෙයක් නැහැ.

ප‍්‍රශ්නය – ඇති වී තිබෙන පසුබිම තුළ දක්ෂිණාංශික බලවේගයන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවාද?

පිළිතුර- ඔවුන් ලොකු බලයක් මෙහෙය වුවහොත් එහෙම වෙන්න ඉඩ තිබෙනවා. එහෙම තත්ත්වයක් ඇති වන්නේ අපගේ බලය හා සමාන බලයක් ඔවුන්ටත් ගොඩනඟා ගැනීමට හැකි වුවහොත් තමයි. නමුත් ඔවුන් දුබලම තත්ත්වයකට වැටුණොත් අපට ප‍්‍රශ්නයක් නැහැ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment