අයිපීඑල් අලෙවි නොවූ හොඳම කණ්ඩායමට ශ්‍රී ලංකා නායකයාත් එක්වෙයි

3403

මෙවර අයිපීඑල් ක්‍රිකට් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දසදෙනා අතරින් කිසිදු ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට අදාළ කණ්ඩායම් ඉදිරිපත් නොවූවද එසේ මිලදී නොගත් විදෙස් ක්‍රීඩකයන් අතරින් හොඳම ක්‍රීඩකයන් 11 දෙනා තෝරා සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ද ඇතුළත් කර තිබේ.

මෙවර අයිපීඑල් වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් දසුන්ට අමතරව කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර සහ ඩිල්ශාන් මධුසංඛ ඉදිරිපත් කර තිබුණි.

එම වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටී පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

කෙසේ වෙතත් අයිපීඑල් තරගාවලිය සඳහා එක් එක් කණ්ඩායම්වලින් රඳවා ගත් ක්‍රීඩකයන් ලෙස වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නායකයාව ඇතුළත් කරමින් විස්ඩන් සඟරාව නම් කර ඇති අදාළ කණ්ඩායම ඕනෑම කණ්ඩායමකට ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි ද විස්ඩන් සඟරාව දක්වා සිටී.

එම කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ 6 වන ස්ථානයට ශ්‍රී ලංකා නායක දසුන් ශානක එක් කර ඇති විස්ඩන් සඟරාව ආරම්භක පිතිකරුවන් ලෙස අයර්ලන්තයේ ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් සහ එංගලන්තයේ කඩුලු රකින ක්‍රීඩක ටොම් බැන්ටන් නම් කර තිබේ.

දසුන් ශානක ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මූලික ලංසුවක් යටතේ මෙවර අයිපීඑල් වෙන්දේසියට එක්ව සිටියේය.

පසුගිය වසර තුළ පන්දුවාර විස්සයි විස්ස තරගවලදී අර්ධ ශතක දෙකක් සමග 135කට වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන ඇති දසුන් දකුණත් වේග පන්දු යවන්නෙකු ලෙස ද දක්ෂතා දක්වන බව විස්ඩන් සඟරාව දක්වයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා සහ දසුන්ට අමතරව එම කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩකයන් වන ඩේවිඩ් මලාන්, ක්‍රිස් ජෝර්දාන්, දකුණු අප්‍රිකාවෙන් රාසි වැන්ඩර් ඩූසේන්, ටබ්‍රේශ් සම්ශි, වේන් පාර්නෙල්, ඇෆ්ගනිස්තානයෙන් මොහොමඩ් නබී, මුජීබ් උර් රහමාන්, ඔස්‌ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් නම් කර තිබේ.

අදාළ ක්‍රීඩකයන් එකොළොස් දෙනා අතරින් වැඩිම මූලික ලංසුවක් යටතේ ඉදිරිපත්වූ ක්‍රීඩකයන් ලෙස ටොම් බැන්ටන්, ක්‍රිස් ජෝර්දාන්, රාසි වැන්ඩර් ඩූසේන් සහ ට්‍රැවිස් හෙඩ් හැඳින්විය හැක.

ඔවුන්ගේ මූලික ලංසුව වන්නේ ඉන්දීය රුපියල් කෝටි දෙකකි.

මෙවර අයිපීඑල් වෙන්දේසියේදී එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් ඉන්දීය රුපියල් කෝටි 18.50කට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම මිලට ගත් අතර එය අයිපීඑල් තරඟ ඉතිහාසයේ ක්‍රීඩකයකු මිලට ගත් වැඩිම මුදල ලෙස වාර්තා අතරට එක් වේ.

එසේ එම ඉන්දීය රුපියල් කෝටි 17.50කට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් චෙන්නායි කණ්ඩායම විසින් මිලට ගන්නා ලදි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment