අයියන්දෙගේ කෘති  ලොව පුරා භාෂා 42කට  පරිවර්තනය වී තිබෙනවා – රෝහණ වෙත්තසිංහ

264

රෝහණ වෙත්තසිංහ විසින් පරිවර්ථනය කරන ලද පස්වන පරිවර්තන කෘතිය ‘‘සයුරු තෙර සහන් බිම’’ සරසවි ප‍්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වී ඇත.

 ලෝප‍්‍රකට ලේඛිකාවක් වන ඉසබෙල් අයියන්දෙ විසින් රචිත A LONG PETAL OF THE SEA කෘතියේ සිංහල පරිවර්ථනය ලෙස ප‍්‍රකාශයට පත් එම කෘතිය පිළිබඳ ලේඛක රෝහණ වෙත්තසිංහ සම`ග සිදුකළ සංවාදයක් පහත පළ වේ.

අයියන්දෙගේ කෘති  ලොව පුරා භාෂා 42කට  පරිවර්තනය වී තිබෙනවා - රෝහණ වෙත්තසිංහ

ප‍්‍රශ්නය – ඔබගේ පස්වැනි පරිවර්තනය ලෙස ඉසබෙල් අයියන්දේගේ A LONG PETAL OF THE SEA නවකතාව තෝරාගෙන තිබෙනවා. ‘සයුරු තෙර සහන් බිම’ නමින් එය සිංහලට නැගෙන්නේ කුමන පදනමකින්ද?

 පිළිතුර – මා මුලින්ම 2018 දී ‘එරන්ගේ ලෝකය’ :(The Book of Aron/Jim sheppard) නවකතාව පරිවර්තනය කළාට පසු සිංහලට නැඟූ අනෙක් පොත් තුනම සත්‍ය සිදුවීම් පදනම් කරගත් ඒවා. එම නිසා නවකතාවක් යළි පරිවර්තනය කිරීමේ වුවමනාව තිබුණා. ඒ වගේම ඉසබෙල් අයියන්දේගේ කතා කියවා තිබූ මට ඇගේ අලූත්ම නවකතාවක් සිංහලට නැගීමේ ආශාවකුත් ඇතිවුණා. ඔය අතරෙදි තමයි මට ‘A LONG PETAL OF THE SEA’ කියවන්න ලැබුණේ.

 මෙහි කතාව අඩසියවසකටත් වැඩි කාලයක් පුරා දිවෙන්නක්. එක්දහස් නවසිය තිස් ගණන්වලින්  පටන්ගැනෙන මේ කතාවේ බොහෝ සිදුවීම් අදටත්  ගැළපෙනවා. මානුෂික ගැටුම්, දේශපාලනික පෙරළි සියල්ල වත්මනට සාපේක්‍ෂයි. ප‍්‍රධාන වශයෙන් එම කාරණය මගේ තෝරා ගැනීමට බලපෑවා.

 අනෙක මහා කවි පැබ්ලෝ නෙරූදාගේ ජීවමාන චරිතය මෙහි ප‍්‍රබන්ධිත චරිත සමග මුසුව තිබීමත් මං එක් අපූර්වත්වයක් විදියට දැක්කා.

 ප‍්‍රශ්නය – වෘත්තීය මාධ්‍යවේදියකු ලෙස දිගු කලක් සේවය කළ ඔබ පරිවර්තන සාහිත්‍යයට යොමුවන්නේ මොන වගේ හැදෑරීමකින් අනතුරුවද?

 පිළිතුර -ඇත්තෙන්ම පත‍්‍ර කලාවේදියෙක් විදිහට එම වෘත්තියට මා පිවිසුණෙත් පරිවර්තනයට තිබූ යම් නැඹුරුවක් හා හැකියාවක් හේතුවෙන්.

 මා ඉතා තරුණ වියේදී 1970 දී පමණ එවකට ‘දවස’ ආයතනයේ ‘විසිතුර’ කලා පුවත්පතට ලිව්වෙත් ඉංගී‍්‍රසියෙන් සිංහලට නැගූ ලිපියක්. ඒ ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සර්ජි එම්. අයිසන්ස්ටයින් ගැන. එය පසුව ලිපි මාලාවක් බවට පත් වුණා. Readers Drgest සඟරාවෙ පළවූ ඇතැම් රසවත් ලිපි ‘සවස’ පත‍්‍රයට ලියලා යැව්වා.

 1978 දී මා එවකට ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ උප කර්තෘවරයකු විදියට බැඳුනෙත් ඉංගී‍්‍රසියෙන් සිංහලට නැඟීමේ හැකියාව මැන බලන ලිඛිත විභාගයකින් සමත්වෙලා.

 එමනිසා ඒ කාලෙ ඉඳලම ඉංගී‍්‍රසි – සිංහල ශබ්ද කෝෂයට අත පෙව්වා. පසුකාලෙක මා ‘දිවයින’ පුවත්පතේ වැඩ කරද්දිත් විදෙස් පුවත් සිංහලට නැගීමට හවුල් වුණා. ඇතැම් ප‍්‍රයෝජනවත් ලිපි සිංහලෙන් පළ කළා.

 ඉංගී‍්‍රසි පොතපත කියවීමේ පුරුද්දක් තිබුණත් මුලින්ම සාහිත්‍ය කෘතියක් සිංහලට නගන්නේ සරසවි ප‍්‍රකාශක ආයතනයට බැඳුණට පස්සෙ.

 ප‍්‍රශ්නය – 20 වන සියවස තුළ ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛක ලේඛිකාවන් අතරින් ඉසබෙල් අයියන්දෙ සුවිශේෂී වන්නේ ඇයි

 පිළිතුර – චිලියේ ඉපිද අද ඇමරිකාවේ ජීවත්වන ඇය අන් කිසිම ලේඛිකාවකටත් වඩා ගෞරව බහුමානයට පත්වූ අයෙක්. ඇයගේ නිර්මාණ කෞෂල්‍ය අගයමින් විශ්වවිiාල 15 කින් පමණ සම්මාන ආචාර්ය උපාධි පිරිනමා තිබෙනවා.

 ජනප‍්‍රියත්වයත්, අර්ථසම්පන්න බවත් කියන කාරණා දෙකම එකවර රැකගැනීමට සමත් ලේඛක, ලේඛිකාවන් ඉන්නෙ ඉතාමත් අතලොස්සක්. විලියම් ශේක්ෂ්පියර්, චාල්ස් ඩිකන්ත් වගේ අය ඒ ගනයේලා සලකන්න පුළුවන්. අනෙක ඈ පසුගියදා අවුරුදු 79 වෙලත් ඇගේ අලූත්ම නවකතාව  Violeta එළි දැක්වූවා. ඇය ඉංග‍්‍රීසි පිළිබඳ දැනුමක් සහිත වුවත් අදත් ලියන්නෙ ස්පාක්‍ද්ක්‍ද බසින්. එවැනි අන් බසකින් ලියන නවකතා කාරියක් වුවත් ඇගේ කෘති මිලියන ගණනක් අද වනවිට අලෙවි වී තිබෙනවා. ඒ වගේම ඒවා භාෂා 42ට පමණ පරිවර්ථනය වී තිබීමත් විශේෂත්වයක්. සැබැවින්ම සංක‍්‍රමනිකයෙක් වන ඇය බොහෝ විට ලියන්නෙත් සංක‍්‍රමණික ජීවිත පිළිබඳවයි. එමෙන්ම ඇය ප‍්‍රබල ලෙසම ස්තී‍්‍රත්වය වෙනුවෙන් පෙනී සිටින ලේඛිකාවක්.

 ප‍්‍රශ්නය – මෙම කෘතියේ සෑම පරිච්ෙඡ්දයක්ම ආරම්භ වන්නේ පැබ්ලෝ නෙරුදාගේ කවි පන්තියක පද කිහිපයකින්. එය කෘතියේ හරවත්භාවය පිණිස අයියන්දේ අනුගමනය කළ උපක‍්‍රමයක් ද?

 පිළිතුර – ඈ මේ පොත නම් කර තිබෙන්නෙත් නෙරුදාගේ කාව්‍ය පන්තියක පද වැලක් උපුටා ගනිමින් A LONG PETAL OF THE SEA කියලා නෙරුදා මෙහිදී අදහස් කරලා තිබෙන්නෙ චිලී රට මුහුදෙ කෙළවරක තිබෙන මල් පෙත්තක් විදියටයි ඔහු චිලිය දකින්නෙ.

 අයියන්දෙ වෙසෙසින්ම අගේ කළ කවියෙක් නෙරුදා ඇය සිය සංක‍්‍රමණික ජීවිතයෙදි තනිකමක් පාළුවක් දැනුණාම නෙරුදාගේ කවි කියවන්න පුරුදු වෙලා ඉඳලා තිබෙනවා.

 ඇත්තටම මෙහි සියලූ පරිච්ෙඡ්දයකදිම දැක්වෙන කවි දෙපදයෙන් එම පරිච්ෙඡ්දයේ සමස්ත අර්ථය හකුළුවා දැක්වෙනවා.

 එමෙන්ම නවකතාවේ මුඛ්‍ය තේමාව හා සම්බන්ධ විනිපෙග් නෞකාවේ සරණාගතයන්ගේ චාරිකාව සංවිධානය කරන්නෙත් නෙරුදායි.

 ප‍්‍රශ්නය – කෘතියේ අන්තර්ගතය ගත්විට ඇතැම් චරිත වෙන් වෙන් වශයෙන් ගොඩනැගෙන ආකාරයක් දක්නට ලැබෙනවා. එය කේන්ද්‍රීය පුවත ගලා යෑමට හානියක් නොවේද?

 පිළිතුර – එය අයියන්දේගේ මුල් කෘතියෙ එන ලක්‍ෂණයක්. ඇය වෘත්තාන්තය එක දිගට ගලා යන ලෙසින් ලියන්නෙ නෑ. මෙහි මුල් පරිච්ෙඡ්ද හතරෙ එන වික්ටර් හා රෝසර් ප‍්‍රමුඛ සිදුවීම් මාලාව පස්වැනි පරිච්ෙඡ්දයේ සිට වෙනත්ම අතකට හැරෙනවා.

 එහෙත් ඒ චරිත සියල්ලම එක් තැනකදි කේන්ද්‍රීය පුවත හා බැඳෙනවා. ඒ වගේම ඇතැම් සිදුවීමක් මතු කෙරෙන්නෙ චිත‍්‍රපට සංස්කරණ රීතියකදි මෙන් අහම්බෙන්. එතැන් සිට යළි අතීතාවර්ජන සඳහා ෙඡ්දනය වෙනවා.

 මෙහි වික්ටර්ට සිය දියණිය හමුවෙන අවස්ථාව එයාකාරයි. අයියන්දෙ නොබැඳි ආඛ්‍යාන රීතියකින් නමුත් සියලූම චරිත සිහින් හුයකින් බැඳුණු අන්දමේ කතාවක් කියනවා. එහි අවසානය හද සසල කරවන සුලූයි.

 සංවාදය  –  රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment