අයියලා ජනපති, අගමැති, ඇමැතිලා වූ පලියට මල්ලිට ඕන ඕන ලෙස හැසිරෙන්න බෑ – අනුර කුමාර දිසානායක (ජාජබ)

256

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීම සහ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ අදහස් නොදැක්වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (11 දා) දිනයේදී ද පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන් අතර කතාබහට ලක්විය.

එහිදී මන්තී‍්‍රවරු මෙසේ කීහ.

නලින් බණ්ඩාර මහතා – මේ පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් බලය තිබෙන්නේ. අපි ඊයේත් මුදල් ඇමැතිතුමා හෙව්වා. ඔහු ඊයේ හවස තමයි පාර්ලිමේන්තු ආවේ. ඇවිල්ලා විතරක් වැඩක් නෑ. රටේ මූල්‍ය තත්ත්වය ගැන කතා කරන්න ඕනෑ. අද පෙට‍්‍රල් රුපියල් දෙසීය තුන්සීයට ගිහින්. ඒ නිසා වහාම එතුමා කැඳවලා මේ තත්ත්වය කතා කරන්න කියන්න.

අනුර කුමාර දිසානායක මහතා – ඩොලරය රුපියල් 203 සිට 260 දක්වා දින දෙකක් තුළ ඉහළ යෑම අපේ රටේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කරනවා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා මුදල් ඇමැතිවරයාගේ මූලික වගකීමක් තමයි මේ තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට අදහස් ඉදිරිපත් කරන එක. මේක සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඩොලරය ඉහළ යෑම නිසා සියලූ භාණ්ඩවල මිල ඉහළ ගිහින්. දැන් බරපතළ තත්ත්වයක් තිබෙනවා. අපට ඔහුගේ මුහුණ බලන්න අවශ්‍යතාවයක් නෑ. වගකිවයුතු මුදල් ඇමැතිවරයෙක් අවශ්‍යයි.

අයියා ජනාධිපති, අනෙක් අයියා අගමැති සහ ලොකු අයියා ඇමැතිවරයෙක් වූ පලියට මේ පොඩි මල්ලි අනෙක් අයව ගණන් ගන්නේ නැතුව හැසිරෙන්න බෑ. ඒක ඒ අයගේ ගෙවල්වලට අදාළ ඇති. නමුත් මේ රටට අදාළ නෑ. පාර්ලිමේන්තුවේ ඔහු මේ තත්ත්වය ගැන පැහැදිලි කරන්න ඕනෑ. කථානායකතුමා නිවේදනයක් දෙන්න එතුමාට ඇවිත් කතා කරන්න කියා. කථානායකතුමා නියෝගයක් දෙන්න.

කථානායක – විවාදයක් ඉල්ලන්න

අනුර කුමාර දිසානායක මහතා – අපි විවාදයක් ඉල්ලලා කරණු පැහැදිලි කිරීමක් නොවෙයි, දැන් සරත් වීරසේකර, බන්දුල ගුණවර්ධන වැනි ඇමැතිවරුන් රටේ යම් ආන්දෝලනයක් වූ ගමන්ම මේ සභාවට ඇවිත් ප‍්‍රකාශ කරනවා. ඒ වගේ ඇයි මුදල් ඇමැතිතුමා ප‍්‍රකාශයක් කරන්නේ නැත්තේ.

දිනේෂ් ගුණවර්ධන – ඊයේ පැය පහක් අපි තෙල් සහ ඒ ප‍්‍රශ්න ගැන කතා කරන්න විවාදයක් දුන්නා. අපි උත්තර නොදී යන්නේ නෑ. තෙල් මිලේ ප‍්‍රශ්නයක් තිබෙනවා. රුසියාවේ තෙල් මිල බැහැලා. මුදල් ඇමැතිතුමා මේ සභාවට ආවා. විවාදයක් ඉල්ලන්න අපි දෙන්නම්.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – කථානායකතුමා කිව්වා ඊයේත් මම මේ ප‍්‍රශ්නය ඇහැව්වහම කථානායකතුමාට බලයක් නෑ කියලා. නමුත් ස්ථාවර නියෝගවල කථානායකවරයාට බලයක් තිබෙනවා. ඔහුට යෝග්‍ය ලෙස සලකන්නේ නම් කථානායකතුමාට බලතල තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා – කථානායකවරයා කවදාවත් එහෙම නියෝගයක් දීලා නෑ මන්තී‍්‍රවරයකුට සභාවට එන්න කියලා. මන්තී‍්‍රවරුන්ට උත්තර දෙන්නත් පුළුවන් නැතුව ඉන්නත් පුළුවන්. මේ සභාවට එන්නත් පුළුවන් නෑවිත් ඉන්නත් පුළුවන්, මන්තී‍්‍රවරයා මාස තුනක් නිවාඩු ගත්තොත්. නැතිනම් මන්තී‍්‍ර ධුරයත් අහෝසි වෙනවා.

චමින්ද විජේසිරි මහතා – මුදල් ඇමැතිවරයා ආවේ ඊයේ අන්තිම විනාඩි 10 දී. මම ඒ වෙලාවේ ඔහුගේ නම ප‍්‍රකාශ කරලා කතා කළා. නමුත් ඔහු ඒවට පිළිතුරු දුන්නේ නෑ. මුදල් ඇමැතිතුමා මේ ආර්ථික අර්බුදය දැන දැනම සිදුකරනවා කියලයි එමගින් පැහැදිලි වෙන්නේ.

දිනේෂ් ගුණවර්ධන මහතා – මුදල් ඇමැතිතුමා වෙනුවෙන් තමයි මුදල් රාජ්‍ය ඇමැතිතුමා පිළිතුරු දෙන්නේ. ඒ ඒ අයට පවරා තිබෙන බලතල අනුව කි‍්‍රයාත්මක වෙනවා.

නලින් බණ්ඩාර මහතා – මුදල් රාජ්‍ය ඇමැතිවරයෙක් නෑ. වෙන මොනවද නම් තිබෙන රාජ්‍ය ඇමැතිවරයෙක් නම් ඉන්නවා. 20 වැනි සංශෝධනය ගේනකොටම කිව්වා ඇමරිකාවට මේ රට පාවාදෙන සැලැස්මක් තිබෙනවා කියලා. මේක කුමන්ත‍්‍රණයක්. මේ ඇමරිකන්කාරයෙක් මේ වැඬේ කරන්නේ.

අනුර කුමාර දිසානායක මහතා – අපේ රටේ ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. භාණ්ඩ මිල විශාල ගණන්වලින් ඉහළ යනවා. ඒ නිසා මුදල් ඇමැතිවරයාගේ වගකීමක් මේ තත්ත්වය පැහැදිලි කරලා කතාවක් කිරීම. මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ නැත්නම් අපි කොහොමද මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ. මේ තත්ත්වය දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා අසීරුවෙන් පාලනය කරන්න යනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා – විපක්‍ෂය පසුගිය කාලයේම කිව්වේ ඇයි රුපියල පා කරන්නේ නැත්තේ කියලා. දැන් අහනවා ඇයි රුපියල පා කළේ කියලා. අපි 2015 භාර දෙන විට ඩොලරය රුපියල් 135 යි. යළි පෙරලා අපි පත්වන විට 188 යි. ඒ නිසා මේ ලෝක තත්ත්වය මත අපට සහයෝගය දෙන්න කරුණාකරලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment