අයියා, මලෝ, පුත්තු ගෙනයන මෙරට පාලනය වියරුවක්

145

69 ලක්ෂයක ජනවරම අයිති අතීතයට-ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

අයියා, මලෝ, පුත්තු විසින් ගෙනයන මෙරට පාලනය වියරුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26දා) සඳහන් කළේය.

අයියා – මලෝ නාඩගම ජනතාව තවදුරටත් ඉවසාගෙන බලාගෙන නොසිටිය යුතු බවත් කී හෙතෙම ජනතා බලයෙන් මේ පාලකයන් පලවා හැරීමට කටයුතු කළ යුතු බවත් කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26දා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

දේශපාලන අස්ථාවරභාවය සමනයකර නොගෙන ආර්ථික අර්බුදය විසඳාගත නොහැකියි. දේශපාලන අස්ථාවරභාවය සමනය කර ගැනීමට විවිධ පාර්ශ්වයන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ අන්තර්වාර පාලනයක් ගොඩනැගිය යුත්තේ ඔහුගේ අගමැති ධුරය යටතේ බවයි. මේ අයියා, මලෝ, පුත්තු විසින් ගෙන යන පාලනය මොන තරම් මානසික වියවුලකින් වියරුවකින් කටයුතු කරනවාද යන්න ඔවුන්ගේ ප්‍රකාශවලින් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මෙම අර්බුදය විසඳා ගැනීම කෙරෙහි මානසික තුලිතතාවයක්වත් නොමැති බවයි පැහැදිලි වන්නේ. මේ ජනාධිපතිවරයා ඉවත් වී ආණ්ඩුව ඉවත්වී කෙටිකාලීන අන්තර්වාර පාලනයක් ගොඩනැගිය යුතු බවට විශාල යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා. කෙටි කාලයකින් පසු මහා මැතිවරණයක් පවත්වා ස්ථාවර පාලනයක් ගොඩනැගීමට අවස්ථාව ලබාදිය යුතුයි. බැලූ බැල්මට සාධාරණ විසඳුම් යෝජනාවලියක් ලෙස පෙනුනත් අන්තර්වාර පාලන ආණ්ඩු, සභාග, සර්වපාක්ෂික වශයෙන් ආණ්ඩු නැහැ. පිහිටවනු ලබන්නේ ආණ්ඩුයි. එකතුවෙන පාර්ශ්වයන් අතර, එකඟතාවයකින් ආණ්ඩුව පවත්වාගෙන යන්න අවුරුද්දක් හෝ මාස හයක් වැනි කාලයක් සඳහා සම්මුතියක් ඇති කර ගන්නවා. ඒ එකතුවෙන පාර්ශ්වයන්ට ඒ සම්මුතිය ඕනෑම වෙලාවක බිඳින්න පුළුවන්.

සර්වපාක්ෂික ආණ්ඩු, අන්තර්වාර පාලන ආණ්ඩු, වශයෙන් නම් කරන හැම එකක්ම රඳා පවතින්නේ ජනාධිපතිවරයා මත. ඔහු විශ්වාස කළ හැකිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ එක්ක පසුගියදා සාකච්ඡා කරන ගමන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය ඇමැතිකමක් දුන්නා. රාඝවන් මන්ත්‍රීවරයාටත් රාජ්‍ය ඇමැතිකමක් දුන්නා. මේ ඉන්නේ එලෙස විශ්වාසය තැබිය නොහැකි වියරු විකෘති මනසක් සහිත ජනාධිපතිවරයෙකුයි. ඒ නිසා මෙම ජනාධිපතිවරයා මෙම පුටුවේ තබාගෙන යෝජනා කරනු ලබන අන්තර්වාර පාලනයකට අපි කිසිසේත්ම එකඟ වන්නේ නැහැ. රට මොනතරම් අස්ථාවර වුණත්, ජනතාව තුළ මොනතරම් වියවුලක් ඇතිවුණත්, ජනතාවට මොනතරම් ජීවත්වීමේ අපහසුකම් ඇති වුණත්, රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටුණත්, ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරමින් ඉන්නේ තමන්ගේ අතේම බලය පවත්වාගෙන යන්නයි. මුළු රටත්, ජනතාවත් මොනතරම් අනතුරකට මේ පාලකයන් විසින් හෙළා තිබුණත් තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් ක්‍රියාකරනවා.

මේ අයියා-මලෝ-පුතාලාගේ පාලනය මේ රටේ ජනතාව විසින් අවසන් කළ යුතුයි. ජනතාවගේ මූලික වුවමනා ඉටුකරන්නත්, රට ගොඩනගන්නත් මේ පාලකයන් අසමත් බව දිගින් දිගටම ඔප්පු කරමින් තිබෙනවා. මේ නිසා අපි අවධාරණය කරන්නේ මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතුයි. අනතුරුව ඉතාමත් කෙටි කාලයකට පාර්ලිමේන්තුවේ යම්අන්තර් පාලනයක් ගොඩනඟා ඉතාමත් ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි. නව ජනවරමක් මගින් නව පාලනයක් ගොඩනගා ගැනීමට අවස්ථාව දීමෙන් පමණක් ස්ථාවර විසඳුම් ලබාදිය හැකියි.

පාලකයන් ඉවත් නොවෙනවා නම්, ජනතාවගේ ජන බලය යොදවන්න ඕනෑ. ව්‍යවස්ථාවේ වගන්ති ඇතුළේ, ජනාධිපති මන්දිරයේ බංකරයක් ඇතුළේ හමුදාව දාගෙන පාලනය කරන්න ජනාධිපතිවරයා සූදානම් වෙනවා නම්, එය කිසිසේත් සාර්ථක පාලනයක් නොවෙයි. රටක නායකයා බංකරයක් තුළ සිට රට පාලනය කරන්න යනවා නම් එයට ඉඩ නොදිය යුතුයි. මේ වන විටත් මොනරාගල, දඹුල්ල ප්‍රදේශවල සිට හමුදා අනුඛණ්ඩ කොළඹ ගෙනත් තිබෙනවා. විවිධ සන්නාහ සන්නද්ධ රථ රඳවාගෙන බංකරයක් තුළ සිට රට පාලනය කළ යුතුද? තවදුරටත් වියවුලකට පත් නොකර මේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි.

අපේ වෘත්තිය සමිති ව්‍යාපාරය අනිකුත් වෘත්තීය සමිති එක්ව ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් සූදානම් කර තිබෙනවා. 28 වැනිදා සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා. රට පුරා සෑම නගරයකම උද්ඝෝෂණ මාලාවක් සූදානම් කර තිබෙනවා. ජනතාවගේ බලය, ජනතාවගේ හයිය මේ වෙනුවෙන් උපයෝගී කර ගත යුතුයි. ඒ වගේම නව ජනවරමක් සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. ඔවුන්ට 69 ලක්ෂයක ජනවරමක් තිබෙන බව කියනවා. ඒවා අයිති අතීතයට. වර්තමානයේ තිබෙන ජන වරම වහාම මැන බැලිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂත් රාජපක්ෂ පවුලත් මැතිවරණයකට තරග වදින්නේ නම් ඔවුනට ඉතිරිවී තිබෙන්නේ කෙතරම් අංශු මාත්‍රයක්දැයි මැන බැලිය හැකියි.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment