අයියේ පට්ට පෙනුමයි…. වේරලියද්දව මුලින් දැකපු ෆ්ලෑෂ් බැක් රොෂාන්…

1428

ඔහු ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේ විශේෂ ලකුණක්. ප‍්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක්. තාරුණ්‍ය අතරින්ම බිහිවන බොහෝ ගීත පරයා තාරුණ්‍යයම මුමුණන ගීත රැුසකට හිමිකම් කියන්නෙක්. දශක පහකට ආසන්න කාලයක් පුරා ගී ලොවේ කිරුළු දරන සේනානායක වේරලියද්ද නම් මේ ගොවි පුත‍්‍රයා ඔහුගේ අලූත්ම පෙනුමින් අද වන විට රටක් වසඟයට ගන්නට සමත් වෙලා. සමාජය මෙන්න සමාජ මාධ්‍යයත් විවිධ පුවත් මවද්දී ඒ පෙනුම යට සැඟවුණ කතාවක සුල මුල ඔහු මේ විදිහට මීවිතට හෙළිදරව් කළා…

* අලූත් පෙනුමට ලැබුණ ප‍්‍රතිචාර මොන වගේද?

අලූත් පෙනුමට ලැබුණ ප‍්‍රතිචාර නම් ඉතා ඉහළයි.

* කොහොමද මේ වෙනස සිද්ධ වෙන්නෙ?

හිතා මතා මේ පෙනුම වෙනස් කළා නම් මේ වෙනකොට වර්ණ ගන්වලා එක එක දේවල් කරලා තියෙන්න ඕනනෙ. නමුත් එහෙම දෙයක් නෑ. අපි වයසට යන මිනිස්සුනෙ. ඉස්සර ඉතින් රැුවුල මූණෙ තියාගන්න බැහැ වගේ සූරල දානවනෙ. ඒ කාලෙ එහෙමයි. නමුත් පාස්කු ප‍්‍රහාරයෙන් පස්සෙ වගේම කොරෝනා නිසා කලාකරුවො වන අපි හැම දෙනාම ගොඩක් හිර වුණා. අපි විතරක් කිව්වට සමස්ත සමාජයම මේ අවුලට මැදි වුණා. පාස්කු ප‍්‍රහාරයෙන් පස්සෙ නම් ශාලාවක පැවැත්වෙන මංගල උත්සවයක් හරි තිබුණ ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න. ඒත් කොරෝනා එක්ක සියල්ලම නතර වුණා. අඩුම තරමින් කෙනෙක් මුණගැහෙන්නවත් යන්න තිබුණ නිදහස නැති වුණා. මේවාත් එක්ක අපි ගෙදරටම කොටු වෙද්දි ගෙදර දොර තියෙන වැඩක්පලක්, වත්තපිටියෙ තියෙන වැඩක්පලක් කරගෙන ඉන්න තැනට වැටුණා. ඒකෙන් අපි ජීවිතේ ලොකු අත්දැකීමක් වින්දා. මෙහෙම කාලය ගෙවෙනකොට ඇත්තටම මට මාව දකින්න පුළුවන් වෙනව. ඇත්තටම මෙතෙක් කාලෙකට මගේ රැුවුල එන විදිහවත් මම දැක්කෙ නැහැ. මොකද හැමදාම කපන නිසා. මට වැටහෙන්න ගත්තා කවද හරි අපි මැරෙනව නේද කියල. මේ තේරුම්ගැනීමත් එක්කයි මේ වෙනස සිදු වෙන්නෙ. මම මේක පාට කළොත් මම මටම කරගන්නෙ ලොකු බොරුවක් වගේම වංචාවක්. කලාකාරයෙක් හැටියට මම ඇයි එහෙම කරන්නෙ කියල හිතුනා.

අයියේ පට්ට පෙනුමයි.... වේරලියද්දව මුලින් දැකපු ෆ්ලෑෂ් බැක්  රොෂාන්...


* පසුගිය කාලයේ ඔබ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වෙනව. එතනදි මේ වෙනස සඟවන්න උත්සාහ කළාද?

පසුගිය කාලයේ රූපවාහිනී වැඩසටහන් බොහොමයකට මට ආරාධනා ලැබුණා. එතනදි මට මගේ පෙනුම සඟවන්න ඕනෑතරම් අවස්ථාව තිබුණා. නමුත් මාව හැමදාම දකින එකම කෙනා මම. ඉතින් මම කල්පනා කළා මගේ රැුවුල වැවෙනව. ඒකෙ ස්වභාවය මේ විදිහයි. හැඩය මේ විදිහයි. රැුවුල වැවුණාම මගේ මූණට ලැබෙන්නෙ මොන වගේ පෙනුමක්ද කියන දේ. එතනදි මට දැනුණෙ ලස්සනක් තියෙනව කියන දේ. ඒ සිතුවිල්ලත් එක්ක ස්වභාවික පෙනුමෙන්ම මම ඒ වැඩසටහන් වලට සහබාගී වෙනව.

මට මුලින්ම ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමත් එක්ක වැඩසටහනකට සහබාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේ රොෂාන් ප‍්‍රනාන්දු කියනව වේරලියද්ද අයියේ පට්ට පෙනුමක් තියෙන්නෙ. රැුවුල නම් කපන්න නම් එපා. මේක මගේ ඉල්ලීමක්. මම පිංතූරයක් අරගෙන ෆේස් බුක් දානව කමක් නැහැ නේද කියල. මාත් කිව්වා කමක් නැහැ කියල. ඒකත් එක්ක ගොඩක් මං ගැන දෙනෙක් කතා වෙන්න ගත්තා. මේ රැුවුල නිසා මට තවත් වාසියක් වුණා. ඉස්සර මට රසිකයන්ගෙන් බේරිලා වාහනෙන් බැහැල බඩුවක් ගන්න කඩයකට වත් යන්න බැහැ. හැබැයි මේ වෙනසත් එක්ක මාව දැක්කත් කවුරුවත් වැඩි තැකීමක් නැහැ. මූණ බලල අහක බලාගන්නවා. මේ ඉන්නෙ වේරලියද්ද බව ඒ කවුරුවත් දන්නෙ නැහැ.

* අලූත් ගීත නිර්මාණ කිහිපයක්ම කළා?

ඔව්. කලාකරුවෙක් හැටියට මට ඒ වාසනාව ලැබුණා. ඉස්සර නම් අවුරුද්දකට එක නිර්මාණයක් කරපු අවස්ථාත් තිබුණා. නමුත් පසුගිය කාලයේ රූප රචනා නැතිව ගීත නිර්මාණ කිහිපයක්ම කරන්න අවස්ථාව ලැබුණා.

* ඔබ ගමට ගියේ කොළඹ අතහැරලද?

නැහැ නැහැ. මට කොළඹ ඉන්න තිබුණා. මේ වංගත තත්ත්වයත් එක්ක කොළඹ පරිසරයේ ගැවසෙන්න අමාරුයි. ඒ නිසා මම ගමට ආවා. ලොකු නිදහසක් දැනෙනව. මම ඉතින් ගමේ හිටපු මිනිහනෙ.

අයියේ පට්ට පෙනුමයි.... වේරලියද්දව මුලින් දැකපු ෆ්ලෑෂ් බැක්  රොෂාන්...


* ඇත්තටම ගමේ ජීවිතේ ගෙවුණෙ කොහොමද?

ගොවිතැන් වැඩ පුංචි කාලෙ ඉඳන්ම මට හොඳට පුරුදුයි. නැටුම් කරපු බෙර ගහපු මාව ගායකයෙක් කළේ මගේ සහෝදර රසිකයන්. ඒ අයට අදටත් මම උදේ සවස පිං දෙනවා. මේ දක්වා මට ජීවත් වෙන්න ධනය බලය කුලය ලබා දුන්න හැම දෙනාටම වගේම මගේ ගුණ ගැයූ, අගුණ ගැයූ අයටත් මගේ ගුරුවරුන්ට වගේම දෙමවුපියන්ටත් පිං දෙන කෙනෙක් මම. උදේ නැගිටින්නෙත් හසව නිදාගන්නෙත් ඒ ප‍්‍රාර්ථනාවන් එක්කමයි. ඒ නිසාම වෙන්න ඇති කොච්චර අමාරු කාලයක් වුණත් මට කිසිම දේකින් අඩුපාඩුවක් වුණේ නැහැ. අදටත් මම ගොවිතැන් කරනවා. සම්බෝලයි බතුයි කාලා හරි ඉන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මගේ අනෙක් සහෝදර කලාකරුවො ඉන්නෙ ගොඩක් වියදම් කරන්න සිදුවෙන තැන්වල. ඒ අය ගැන ලොකු කනගාටුවක් තියෙනව. මගේ කුඹුරෙන් අස්වැන්න ලැබුණ කාලෙට වී ටිකක් කොටල මගේ මිතුරන්ට මට පුළුවන් හැටියට හාල් ටිකක් පවා දුන්නා.

* නැවත ආරම්භ වුණ ප‍්‍රසංග වේදිකාවට ලැබෙන ආරාධනා කොහොමද?

ප‍්‍රසංග වලට ලැබෙන ආරාධනා නම් ඉතාම ඉහළයි. මොකද දැන් ඉන්නෙ කලින් හිටපු වේරලියද්ද නෙමෙයි. රැුවුලත් එක්ක එකතු වුණ වෙනස ප‍්‍රසංග සංවිධායකවරු පවා අගය කරනවා. නැවත මේ මතු වෙන තත්ත්වයත් එක්ක තුන් වැනි වතාවටත් අපි අමාරුවේ වැටෙයිිද කියල බයකුත් තියෙනව. නමුත් එහෙම නොවේවා කියල ප‍්‍රාර්ථනා කරනවා.

* වේරලියද්ද සංඛ නාදය නැවත පන ලබයිද?

අලූත් පෙනුමත් එක්ක විදේශ රටවලින් පවා ආරාධනා ලැබෙමින් පවතිනවා. මම එන්නත් පවා ලබාගෙන තියෙන්නෙ. නමුත් මේ වංසගත තත්ත්වයත් එක්ක යන්න හිත දෙන්නෙ නැහැ. යන්නත් කරදරයි. ඒවායේ ගියාමත් කරදරයිනෙ.

* අලූත් හැඩය වේරලියද්දගෙ ජීවිතයේ ලොකු වෙනසක් සිදු කළා?

මම දෙයක් අවංකවම තේරුම් ගත්තා. ඒ නිසා පාඩමක් හැටියට අන් අයටත් යමක් කියා දෙන්න හිතුවා. ඒක තමයි, මේ ගෙවන ජීවිතයේදී අපි හැමදාම අපිව දකිනවා. කන්නාඩිය ඉස්සරහදී ඒක වඩාත් හොඳින් පේනවා. එතනදි පිට කෙනෙක් අපිව දකින විදිහයි අපිට අපිව පෙනෙන විදිහයි වෙනස් වෙනව. උදේට අපිව දකින මනුස්සයා එක්ක අවංකවම හදවතින් හිනා වෙමු. අපි දවසක මැරෙන්න ඕනා අපිව දැකල.

* සංගීත ක්‍ෂේත‍්‍රයේ අද තත්ත්වය ගැන මොකක්ද ඔබේ අදහස?

ඇත්තටම මේ පවතින තත්ත්වයත් එක්ක ලොකු කනගාටුවක් තියෙනව. මීට වසර දෙකකට කලින් බොහොම සතුටින් හිටපු හැම කෙනාම කඩාගෙන වැටිලා. හැබැයි මේක අපිට ජීවිතය සරල කරගන්න කියාදුන්න හොඳ පාඩමක්. ඒ වුණත් බොහෝ දෙනකුට මේ තත්ත්වය දරාගන්න බැහැ. එයාල අදටත් දුක් විඳිනව.

* ඔබේ කලා දිවියට මේ වන විට දශක පහකට ආසන්නයි. පැමිණි මග දෙස නැවත හැරී බැලූවොත්?

ඇත්තටම මට ලොකු සතුටත් තියෙනව. පසුතැවෙන්න කිසිම දෙයක් නැහැ. එක්දහස් නවසිය අනූව දශකයේ ගත්ත වේරලියද්දගේ දුරකතන අංකය අදටත් වෙනස් වෙලා නැහැ. වැරදි වැඩ කළේ නැහැ. කලාකරුවකු හැටියට රසික ජනතාව මට ලබා දුන්න ගෞරව නාමය මම අවංකවම රැකගත්තා. 1997 අවුරුද්දෙ සුමති සම්මාන උළෙලේදී මම හොඳම ගායකයා වුණා. 2007 අවුරුද්දෙත් හොඳම ගායකයා වුණා. මෑත කාලයේදී රජරට පැවැති සම්මාන උළෙලේදී හොඳම කලාකරුවකු හැටියට සම්මාන ලැබෙනව. ඒ වාගේම සංස්කෘතික අමාත්‍යංශයෙන් පිදෙන කලා භූෂණ සම්මානයත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විශිෂ්ට කලාකරුවන්ට පිදෙන සම්මානයෙන් එකකුත් මට හිමි වෙනව. මට තව දිනන්න දෙයක් නැහැ. නිදහසේ ඉන්න පුළුවන්.

* ඔබේ ගීත බොහොමයක් තාරුණ්‍ය අතර ජනප‍්‍රියයි. මොකක්ද රහස?

1980 දශකයේ මම රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමේ ඉන්නකොට රජරට සේවයේ නව රැුල්ලෙන් ආපු සරල ගී ගායන ශිල්පියෙක් හැටියට කටයුතු කළා. නමුත් මගේ විශේෂ හැකියායව තිබුණෙ බෙර වාදනයට සහ නැටුම් වලට. එතනදි අපිට කවුරු හෝ සංගීතඥයෙක් ගීත පිටපතක් දුන්නම ගායකයකුට ඒක හොඳ නැහැ කියන්න බැහැ. ගායනා කරන්න සිදු වෙනව. එහෙම වෙලාවට ගායනා කරන්නෙ හදවතින් නෙමෙයි. බොහෝ වෙලාවට මගේ ගීත වලට තනු හදාගත්තෙ මම මයි. ඒ නිසා මට ඒ ගැටලූව මතු වුණේ නැහැ. මල් වියනෙන්, කොහේ කොතැනක, සාගරය බඳු වගේ ගොඩක් ගීත ඒ අතර තියෙනව. ඒ කාලෙ සමහර නාට්‍ය කණ්ඩායම් වලට සංගීතය සපයා ගන්න බැරි වුණාම මට කියලා සංගීතවත් කරපු ඇතැම් නාට්‍ය වල උදේ සංගීතය හදල නාට්‍ය පෙන්නලා හවස් වෙනකොට හොඳම සංගීත අධ්‍යක්‍ෂවරයා හැටියට සම්මාන ගත්ත අවස්ථාත් තියෙනව.

* කලක් ඔබ ජෝන් ද සිල්වා රඟහලේ නවාතැන් ගෙන හිටියා?

ඔව්. එතනදි තමයි ගොඩක් නිර්මාණ බිහි වුණේ. එක දවසක් රාත‍්‍රියේ අපි කට්ටිය වැඩකට ගිහින් ඇවිත් හිටපු වෙලාවක පහත රට බෙර ගහන කෙනෙක් ඇවිත් බෙර ගැහුව. ඒ වෙලාවේ මම සර්පිනාව වාදනය කළේ. මම නැටුම් කණ්ඩායමේ කෙනෙක් නිසා සර්පිනාවක් ගහනකොට නැටුම් කණ්ඩායමේ ඒකට අකමැති අයත් හිටියා. එහෙම අවස්ථාවක සද්දෙට බෙර ගහනකොට හදපු එකක් තමයි මල් වියනෙන් බැඳි ගීතය.

* කොළඹ කට්ටක් කනකොට ගමට ගිහින් ගොවිතැන් කළා නම් හරි කියල හිතුණ අවස්ථා තිබුණද?

ඒකම තමයි මල් වියනෙන් බැඳි ගීතයෙන් ආයෙත් බැද්දට යනවා මං කියල, කියල තියෙන්නෙ. අද මෙහෙම හිටියට අපි ගම්වල කට්ට කාලා පුරුදු මිනිස්සු. කන්න නැති සමහර කාලවලදි අලි මක්‍ද්ෙක්‍දාක්කා විස ඇරල පිටි හදාගෙන රොටි හදල කාලා ජීවත් වුණ මිනිස්සු. සීනි නැතිව ලූණු ඇටයක් හපල කාලා කහට බීපු මිනිස්සු. එහෙම දුෂ්කර කාලයක් අපිට තිබුණා.

* රසික රසිකාවියන්ගේ ආදරය දැනෙන්නෙ කොහොමද?

අද වෙනකොට මාව ජීවිතේටවත් දැකලා මුණගැහිලා නැති මිනිස්සු මට ගීත රචනා එවල තියෙනව. කන්ද පිරිමැද ගීතයත් ඒ වගේ එකක්. ජාති බේදයක් නැතිව හැම කෙනාම මට ආදරෙයි. ඒ ගැන මට සතුටුයි. මම හැම වේදිකාවකම කියන එකම දේත් පක්ෂ පාට ජාති ආගම් කුල මල බේද අවශ්‍ය නැහැ කියන එක.

* ඒක පුද්ගල ප‍්‍රසංගයකට සූදානමක් නැද්ද?

1980 දශකයේ සංඛ රාවය කියල ඒකපුද්ගල ප‍්‍රසංගයක් කළා. නැවත නෙළුම් පොකුණේදී සංඛ නාදය ප‍්‍රසංගය කළා. නැවත ප‍්‍රසංගයක් කරන්න අදහසක් තියෙනව. කෙනෙක් සූදානම් වෙලා හෙට කතා කළත් මට පුළුවන්. මං එතන ඉන්නවා. මොකද මේ වෙකොට මං වෙනුවෙන් ලියපු ගීත වගේම සංගීතවත් කරපු ගීත රාශියක් තියෙනව. ඒ අතරින් විශිෂ්ඨ ගණයේ ගීත බොහොමයක් තියෙනව. ළඟදි දවසක පල්ලේගම හේමරතන හිමියන් ලියූ ගීතයක් පටිගත කළා. ඇල්ලේ ගුණවංශ හිමියන් ලියූ ගීතයකුත් පටිගත කළා. ඒ වගේම තවත් කිහිප දෙනකුගේම ගීත පටිගත කරන්න අවස්ථාව ලැබුණා.

* පිරිසක් ඔබව අනුකරණය කරනවා?

මං බොහෝ දෙනකුට මාවත පෙන්නපු කෙනෙක්. කවදාවත් ඒ අයට වෛර කරන්නෙ නැහැ. අදත් මට මොරටුවෙන් සංගීත කණ්ඩායමක කෙනෙක් කතා කළා මං වගේම ගීත කියන කෙනෙක් ඉන්නව කියල. ඉතින් මං කිවුවා අනේ පුතේ එයාව අරගෙන සපෝර්ට් එකක් දීපල්ල කියල.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment