අයිස් ඇද්ද ඉන්දියානුවා ඇතුළු 5ක් කල්පිටියේදී දැලේ

148

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඉන්දියන් ජාතිකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග ඊයේ (01) අලුයම කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන් (61578) බංඩාර මහතාට ලද තොරතුරක් මත කල්පිටිය බස් නැවතුම්පළේ අක්කරෙයිපත්තුව බලා ගමන් කිරීමට නියමිතව තිබූ බස් රථයේ සිටි සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කිලෝ ග්‍රෑම් එකක පාර්සල් තුනක් සමග මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ සිටි බව කියන සැකකරුවන් ගමන් ගන්නා වෑන් රථයක් කල්පිටිය සිට අක්කරෙයිපත්තු බලා යන බව හෙළිකර ඇත. එම තොරතුරු මත වෑන් රථය කල්පිටිය පුත්තලම ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වෑන් රථයේ රියැදුරු, ඉන්දියන් ජාතිකයා සහ එහි ගමන් ගත් යුවළක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් යුවළගේ වයස අවුරුදු එක හමාරක නිවුන් දරුවන් දෙදෙනකු හා වයස අවුරුදු 15 ක පිරිමි දරුවෙකු ද වෑන් රථයේ ගමන් කර තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයා තමිල්නාඩුවේ පදිංචි අයකු වන බවත් ඔහු මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය එරට සිට රැගෙන ආ බවට සැක කරන බව පොලිසිය පවසයි.

වෑන් රථයේ ගමන්ගත් ඉන්දියන් ජාතිකයා හැර සෙසු සැකකරුවෝ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

කල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංග පොලිස් සැරයන්වරුන් වන (69252) අබේවර්ධන, (69381) වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල් (78517) ධනපාල යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment