අයිස් ගහලා සූර් වෙලා වාහන එළෙව්වොත් කෙළින්ම කූඩුවේ….

440

දවස් ගාණක් ප්‍රමාද වුණත් අහු වෙනවා!
අලුත්ම ගැජෙට්ටුවෙන් සේරම මාට්ටු..

කෙළින් හිට ගන්නවා තියා දෙනෙත් හැර ගන්නටවත් නොහැකි තරමට “ඩොප්” වී සිටියද වාහනයට නැග සීයට දෙසීයට පාගා හතර හන්දි කඩාගත්, ගෙනා ආයුෂ අවසන් වන්නටත් පෙර මරු වසඟයට ගිය උදවිය ගැන කතා බොහෝය. එතැනින් නොනැවතී මහ මග යන එන බොහෝ දෙනකු අවසන් ගමන් යැවූ, සදාකාලික අබ්බගාතයන් බවට පත්කළ වීරයන් ගැන කතාබහ ද බොහෝය. “ඊයේ පෙරේදා මීරිගම, කල්එළිය ප්‍රදේශයේ දී පියෙකු සහ දියණියක බීමත් රියැදුරෙකුගේ මාරාන්තික රිය ධාවනය හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීම එක් සිදුවීමකි. ගල්ගමුවේදී වාහනයක ගමන් කළ තරුණ ජීවිත හතරක් අකාලයේ අහිමි වීම තවත් සිදුවීමකි.”

බීමතින් රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක් වුවද තවමත් එය වරදක් හැටියට දකින පිරිසකගේ අඩුවක් තිබේ. නොබී වාහන පදවන්නේ පොලිසියට මාට්ටු වී බැලුම් පුම්බන්නට යෑමෙන් නැති කරදර ඉහට කඩා වැටෙන නිසාය. නැතිනම් ඩොප් වී යෑමේ ඇති ගැටලුවක් නැතැයි සිතන උදවිය වැඩිය. කෙසේ හෝ දැන් පොලිසියේ මහත්වරු ඩෝප් වී වාහන පදවන උදවිය සොයා කරන මෙහෙයුම් වැඩිකර තිබේ. එවැනි අය සොයා ගන්නට කරන ජනප්‍රිය මෙහෙයුමක් වී ඇත්තේ මුලින් සඳහන් කළ බැලුම් පිම්බීම ය (Breathetailyzer test). වර්තමානය වන විට බැලුමක් පුම්බා සූර් වූ අය සොයාගත හැකි වුවද, ඒ සම්බන්ධයෙන් මතුවන ප්‍රායෝගික ගැටලු ගණනාවක් තිබේ.

මෙහිදී වඩාත් විවාදසම්පන්න කාරණා ඉස්මතු වේ. 2019 වර්ෂයේ මෙය තහවුරු කරන අන්දමේ අනතුරක් සම්බන්ධයෙන් වාර්තා වී තිබිණි.

“2019 වර්ෂයේ දී එක්තරා දිනයක දී ශරීර සුවතාව සඳහා ඇවිදීමට ගිය පිය පුතු දෙදෙනෙක් රිය අනතුරක් හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබිණි. එහිදී එම රථයේ වේගය පාලනය කරගත නොහැකි වූ රියැදුරෙකු ඔවුන් අනතුරට ලක් කර තිබූ බව වාර්තා විය.” මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව සැකකරු එම අනතුර සිදු කිරීමට මිනිත්තු දහයකට පමණ පෙර ස්ථාන දෙකක දී තවත් වාහන දෙකක් අනතුරට ලක් කර තිබේ. පසුව පලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව කියැවේ. එමෙන්ම පොලිසිය ප්‍රකාශ කර තිබුණේ ඔහු ඒ වන විටත් කුමක් හෝ මත් ද්‍රව්‍යයක් ගැනීම නිසා සිටගෙන හෝ සිටීමට නොහැකි තත්ත්වයක පසුවූ බවයි. මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු අනුව අදාළ සැකකාර රියැදුරු මත් වතුර භාවිත නොකර සිටි බවක් අනාවරණය විය. ඊට හේතුව වූයේ බැලුම් පිම්බීමේ පරීක්ෂාවේදී සැකකරු වැරදිකරුවෙකු ලෙස හඳුනා

නොගැනීමයි. එහෙත් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණ අනුව රියැදුරු කුමක් හෝ මත් ද්‍රව්‍යයක් ගෙන තිබූ බවට කිසිවෙකුටත් රහසක් නොවීය. අවසානයේ දී සැකකාර රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය සිදු කළ බවට එල්ල වූ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර තිබිණි.

මෙලෙස මත්පැන් නොව මත්ද්‍රව්‍ය භාවිත කොට රිය ධාවනය සිදු කළ පුද්ගලයන් සිය ගණනින් බැලුම් පරීක්ෂාවෙන් (breathetailyzer test) නිදහස් වූ බව අනාවරණය වී ඇත. මෙවැනි තත්ත්වයක් ඉස්මතු වූයේ ‘මත්පැන්’ පමණක් ගැන සිතා නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයක් ඇතිව තිබූ නිසාය. කොටින්ම කිවහොත් මේ වන විට ශීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය භාවිතය ගැන බොහෝ දෙනකුට අමතක වී තිබේ. මීට වසර තුනකට පමණ පෙරාතුව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබුණේ, මත්පැන්වලටත් වඩා මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන පැදවීමේ ප්‍රවණතාවක් ඇති බව ය.

“පෞද්ගලික බස් රථ රියැදුරන් අතර මෙම මත්ද්‍රව්‍ය භාවිතය බහුලව දකින්නට ලැබෙන බවද කියැවිණි. එහෙත් මේ වෙනවිට එවැනි පුද්ගලයන්ට ලේසියෙන් ගැලවෙන්න බැරි දියුණු පරීක්ෂණ ක්‍රමවේදයක් අධිකරණ වෛද්‍ය නිලධාරීන් අතට ලැබී ඇත. එය අලුත්ම ගැජට්ටුවකි. ඒ අනුව මත්පැන් පානය කර සිටියද, මත් ද්‍රව්‍ය පානය කර සිටියද එය සොයා ගැනීම පොලිසියට මහ කජ්ජක් නොවේ.

මොකක්ද මේ ගැජට් එක!

අයිස් ගහලා සූර් වෙලා වාහන එළෙව්වොත් කෙළින්ම කූඩුවේ….

රියැදුරෙකු බීමතින් සිටින්නේ යැයි සැකයක් ඉපදුනොත් පොලිස් නිලධාරීන් සිදු කරන්නේ අප මුලින් කී පරිදි “බැලුමක් පිම්බීමට” දී මත්පැන් පානය කර ඇතැයි ඔප්පු වූ විට උසාවියට ඉදිරිපත් කර දඬුවම් නියම කිරීම ය. සාමාන්‍යයෙන් මසකට බීමත් රියැදුරන් 400ත් 500 ත් අතර ප්‍රමාණයක් පොලිසියට කොටු වන අතර ඒ සියල්ලන් සඳහා ‘පරීක්ෂණ බැලුම්’ පිම්බීමට දෙනවාට වඩා බීමතින් රිය පැදවීමට දීම වාසි සහගත වනු ඇත. ඊට හේතුව වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් අදාළ බැලුමක මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීමයි. ඒ නිසාම “පරීක්ෂණ බැලුම්” පසෙකලා මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටර් (multi digital alcohol tester) නම් අලුත්ම ක්‍රමවේදය භාවිත කිරීමට පොලිසියට අවස්ථාව ලබා දී ඇත. මේ අලුත්ම ගැජට්ටුව ට බැලුමක් පිම්බීමට යන අසීරුතා පැන නැගෙන්නේ නැත. බීමතින් සිටින්නේ යැයි සැක කරන අදාළ පුද්ගලයාගේ හුස්ම පොදක් ඊට ප්‍රමාණවත්ය. මෙහි වඩාත්ම වාසි සහගත ක්‍රියාවලිය වන්නේ අදාළ ප්‍රතිඵලය එසැණින්ම මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගැනීමට ඇති හැකියාවයි. ඉතින් තවදුරටත් ඔබ දන්නා හඳුනන පොලිස් ලොක්කෙක්ට හෝ හිතවතෙකුට කතා කිරීමෙන් ඵලක් නැත. මෙහි ප්‍රතිඵල සීයට සීයකින් නිවැරදි බව පසුගිය දිනවල සිදුකරන ලද විමර්ශන කටයුතුවලදී සනාථ වී ඇත. නමුත් වත්මනෙහි රජය මුහුණපා ඇති ආර්ථික කඩා වැටීම නිසා මෙම මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටරය තවමත් පොලිස් ස්ථාන කිහිපයකට එකක් බැගින් තිබීම නිසා, 50% ක් පමණ වූ බීමත් රියැදුරන්ට නීතියෙන් ගැලවී යෑමට ඉඩකඩ ලැබී ඇත. මෙම උපකරණය ඇති පොලිස් ස්ථානයට සැකකරුවන් රැගෙන යන විට බීමත් රියැදුරන්ගේ සමහරකට ශරීරයේ ඇති මත්ද්‍රව්‍ය සාන්ද්‍රණය අඩු වීම නිසා බොහෝ බීමත් රියැදුරන්ට ගැලවී යෑමට මේ කාල සීමාව ප්‍රමාණවත්ය. නැවත නැවතත් භාවිත කිරීමට හැකි මෙම මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටර් උපකරණය සෑම පොලිස් ස්ථානයකට ම ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නම් වඩාත් ප්‍රතිඵලදායී වනු ඇති බව අප හැඟීමය.

මත් වතුරෙන් බැරිනම් මත් කුඩු වලින්

ලංකාව තුළ මත්පැන්වලටත් වැඩියෙන් දැන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇත. ගංජා භාවිතය සහ විවිධ මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ විලාසිතාවක් බවට පත්ව ඇත. විවිධ සාදවලට දැන් අරක්කු වලටත් වැඩියෙන් ඇත්තේ මත්ද්‍රව්‍ය විශේෂයන්ය. අවුරුදු පහළොවේ සිට බොහෝ දෙනා මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටීම විශාල ගැටලුවක් බවට පත්ව ඇත. වර්තමානයේ සිදුවන බොහොමයක් රිය අනතුරුවලට හේතුව ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම බවට අනාවරණය වී තිබේ. නමුත් ‘පරීක්ෂණයක් බැලුමෙන්’ එකෙන්වත් ‘මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටරයෙන්වත්’ මත්ද්‍රව්‍ය භාවිතය කර සිටී දැයි සොයාගත නොහැක. මේ සඳහා හරියාකාරව වැරදිකරු ලෙස සනාථ කිරීම සඳහා රුධිර පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වේ. මේ සඳහා යම් සැලකිය යුතු කාලසීමාවක් ගතවන බැවින් බොහෝ විට වැරදිකරුට සිය චෝදනා වලින් මිදීමට අවකාශය ඇත. මේ හේතුවෙන් බොහෝ පැමිණිලිකාර පාර්ශ්වයන් විශාල වශයෙන් දැඩි මානසික පීඩනයකට මෙන්ම ලෝකයා ඉදිරියේ දැඩි අපහසුතාවකට ලක්වනු දැකිය හැකිය. මේ සියලු හේතු කාරණා සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නවීන ගැජට්ටුවක් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වා දී තිබේ.

මල්ටි ඩ්‍රග් රැපිඩ් ටෙස්ටර් (multi drug rapid tester) ලෙස හඳුන්වන මෙම ගැජට්ටුව, බොහෝ විදෙස් රටවලට අලුත් යමක් නොවේ. එහෙත් ශ්‍රී ලාංකිකයන්ට මෙය තවමත් අලුත් අත්දැකීමකි. කිසිවකු හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා අනතුරක් සිදුව ඇතැයි හෝ කිසිවකු මත්ද්‍රව්‍ය භාවිත කර සිටිතැයි පොලිස් නිලධාරියෙකුට සැක සිතුනු අවස්ථාවක මෙම පරීක්ෂාවට යටත්වීමට සිදුවේ. ගර්භනීභාවය පරීක්ෂා කරනු ලබන pregnacy test එකක් වැනි මෙම උපකරණයට මුත්‍රා සාම්පලයක් එක් කළ විට අදාළ පුද්ගලයා භාවිත කර ඇති මත්ද්‍රව්‍ය කුමක්ද යන්න හඳුනාගත හැකිය. මෙහි ඇති විශේෂත්වය සහ වාසිදායක තත්ත්වය වන්නේ මත්ද්‍රව්‍ය වර්ග 14-16ත් අතර ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකිවීමය. ගර්භනීභාවය මනින ප්‍රෙග්නසි ටෙස්ටරයේ (pregnancy tester) ඉරි 2ක් සලකුණු වූ විට ඇය මවක් වීමට සූදානම් බව කියවේ. මල්ටි ඩ්‍රග් රැපිඩ් ටෙස්ටරය තනි ඉරක් සඳහන් වන විට අදාළ පුද්ගලයා සිපිරි ගෙදර යකඩ කූරු ගණන් කිරීමට සූදානම් බව කියැවේ. මෙම ක්‍රමවේද සීයට සීයක්ම ඉතා සාර්ථක බව මෑත කාලයකදී කොළඹ කොටුව බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර සිදුකරන ලද පරීක්ෂාවේදී ඔප්පු වී තිබිණි.

කොළඹ කොටුව බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් බොහෝ දෙනෙක් මෙම පරීක්ෂණය සඳහා සහභාගි වූ අතර, එහිදී බොහෝ දෙනෙක් අයිස්, ගංජා සහ තවත් බොහෝ ප්‍රකට මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට අනාවරණය වී තිබිණි. දුර ගමන් සේවා බස් රථ රියැදුරන් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවට වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිවී තිබිණි. තවද බස් රථය තුළ අධික ශබ්ද තරංග පිටවන ආකාරයේ සින්දු දැමීමට හේතුවද මෙම මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති වන අතුරු ප්‍රතිඵලයක් නිසා බව තහවුරු කරගෙන තිබිණි. පොලිසිය විසින් සිදුකරන ලද වැඩිදුර පරීක්ෂණවලදී බස් රථ රියැදුරන්ගේ අධික වේගයට හේතුව මෙම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවන මානසික සංකූලතා බවට කරුණු අනාවරණය කරගෙන තිබිණි.

මල්ටි ඩ්‍රග් රැපිඩ් ටෙස්ටරයේ ඇති තවත් සුවිශේෂිත්වයක් වන්නේ ඕනෑම වර්ගයේ මත්ද්‍රව්‍යක් භාවිත කර කිසියම් කාලයක් ගෙවී ඇත්නම් පවා ඒ බව අනාවරණය කර ගැනීමට හැකි විමයි. (හිතවත් පාඨකය, අප අදාළ දින ගණන හෝ ඊට වැඩි යමක් සඳහන් නොකරන්නේ මෙම ක්‍රමවේදයෙන් පවා නීතියට එරෙහි වන්නට සැකකටයුතු පුද්ගලයන් විවිධ උපක්‍රම භාවිත කළ හැකි බැවිනි.) එමෙන්ම මෙම පරීක්ෂණය මගින් යම් තැනැත්තෙකු විෂද්‍රායි ඇබිල සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ ඇති ඖෂධ භාවිත කර ඇතැයි ඔප්පු වන්නේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී ඇත.

මෙම මල්ටි ඩ්‍රග් රැපිඩ් පරීක්ෂාවෙන් වැරදිකරු යැයි ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට ලැබෙන දඬුවම තත්ත්වයේ තරාතිරම නොබලා විඳ දරා ගැනීමට සිදුවේ. අවම වශයෙන් මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීම සහ අදාළ පුද්ගලයා බාලවයස් කාරයෙක් නම් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනයට යොමු කිරීම හෝ මුදල් වන්දි ගෙවීමට සිදු වේ. මෙම කාරණය සුළුකොට තැකිය නොහැකිය. ඉදිරියේ දී අදාළ වැරදි සඳහා ලබා දෙන්නට නියමිත දඬුවම් වැඩි කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

සූර් පිට යනකොට දණ්ඩ නීති සංග්‍රහය ගැනත් දැනගන්න

අයිස් ගහලා සූර් වෙලා වාහන එළෙව්වොත් කෙළින්ම කූඩුවේ….

මෝටර් රථවාහන පනත 151 අංක 14 දරන අනතුරු වගන්තියට අනුව මත්පැන් බී රිය පදවමින් යම් අයකු වරදක් කර ඇති බවට පොලිස් නිලධාරියෙකුට සාධාරණව විශ්වාස කරනු ලැබූ අවස්ථාවකදී එම තැනැත්තා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගැනීමට එම පොලිස් නිලධාරියාට බලය ඇත. එසේම මත්පැන් පානය කර ඇති රියැදුරෙකු යම් පොලිස් නිලධාරියෙකුට සැකය කරන අවස්ථාවක එම තැනැත්තා ප්‍රශ්වාස පරීක්ෂණයට ලක් කිරීම් ලක්වීමට ප්‍රතික්ෂේප කරන විට ඔහු හෝ ඇය මත්පැන් ගෙන ඇති බව පූර්ව නිගමනය කරනු ලැබේ.

1970 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123 වැනි වගන්තියට අනුව, සැක කරන ලද තැනැත්තාගේ කෙළ, මුත්‍රා, හිසකෙස් හෝ නියපොතු වල ආදර්ශයක් ලබා ගැනීම සඳහා පොලිසියේ ක්‍රමවේදයක් සලසා නැති අතර, 2005 වර්ෂයේ අංක 14 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත මගින් එය සංශෝධනය වී ඇත. ඒ අනුව ඊට රුධිර සාම්පලයක් ලබා ගැනීමට හැකියාව සලසා තිබේ. එහෙත් අදාළ පුද්ගලයා ඊට විරුද්ධ වන්නේ නම් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සලසා ඇත.

මතට ලොල් වූ මාරයෙකුට සුක්කානමට ඇති අයිතිය මුලිනුපුටා දැමීමට කාලය දැන් පැමිණ ඇත. රජය විසින් හඳුන්වා දී ඇති මෙම නව උපකරණ මගින් සුක්කානම වෙලාගත් මත්ලෝලීන් නිසා දිනකට බිලිවන ජීවිත අටෙන් එකක් වීමට ඔබටත් මටත් ඇති අවකාශය අවම වී යනු ඇති බව අපේ විශ්වාසයයි.

කොළඹ හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මියගෙන් ලබා ගත් තොරතුරු ආශ්‍රයෙනි.

මල්මී රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment