අයිස් නැවේ දරුවෝ ගිලෙති – ලිංගික බෙලහීනතාවත් එයි

792

දෙසතියක් අයිස් ගැහුවොත් වසර 20කින් ආයුෂ අඩුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මේ වන විට මෙරටේ මානසික රෝගීන් ලෙස ප්‍රතිකාර ලබා ගන්නා තරුණ තරුණියන් සංඛ්‍යාව සියයට එකසියහැටකින් ඉහළ ගොස් ඇතැයි සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්වත් පිරිසක විසින් මෙම සමීක්‍ෂණය සිදු කර ඇත.

එලෙස මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා තරුණ තරුණියන් අති බහුතරයක් කිසිදු ප්‍රතිකාරයකින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි පරිදි ශාරීරික ආබාධ රැසකට ගොදුරු වී ඇතැයි ද එහිදී අනාවරණය වී තිබේ.

එහිදී බහුතරයක් දෙනා අයිස් මත්ද්‍රව්‍යයේ බලපෑම හේතුවෙන් ලිංගික බෙලහීනත්වයට පත්ව සිටීම විශේෂිත කරුණක් බව ද සඳහන් වේ.

මේ අතර විශ්වවිද්‍යාල සිසුන් හා වැඩිහිටි පාසල් සිසුන් රාශියක් සිටින බව ද එම සමීක්‍ෂණයේ දී හෙළිවී ඇත.

බොහෝ තරුණ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර සිටින බව දෙමාපියන් ඇතුළු වැඩිහිටියනට බැලූ බැල්මට එක්වරම හඳුනාගත නොහැකි වීම ඔවුන්ගේ ජීවිත දරුණු ව්‍යාධියකට පත්වීමට හේතුවී ඇතැයි මෙම සමීක්‍ෂණයට සම්බන්ධ වූ විද්වතෙක් සඳහන් කළේය.

සාමාන්‍ය පුද්ගලයකු දෙසතියක් අයිස් භාවිත කළහොත් ඔහුගේ ආයු කාලය වසර විස්සකින් කෙටි වන බව ද පෙන්වා දුන් හෙතෙම තම දරුවන් නින්දට නොවැටී, ආහාර අරුචියක් දක්වමින් නිරන්තර හුදකලා වීමට උත්සාහ දරන්නේ නම් දෙමාපියන් ඒ කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නේය.

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කෙරූවන් හඳුනා ගැනීමට ඇති පහසුම ලක්‍ෂණ ලෙසින් නොනිදා, ආහාර භාවිතය අවම කර හුදකලා වීම පෙන්වා දිය හැකි බව ද කී ඔහු අයිස් භාවිතයේදී පුද්ගලයකුගේ ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි සිදුවනවාක් මෙන්ම මුත්‍රා සමග හිමොග්ලොබින් පිටවීමෙන් සිරුර කෙසඟ වන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අයිස් මත්ද්‍රව්‍ය සමාජයේ ව්‍යාප්ත කිරීම සඳහා එය භාවිත කිරීමෙන් සිරුරේ ඇති වන තත්ත්වයන්ම මේ වනවිට ප්‍රයෝජනයට ගෙන තිබෙන බව ද අදාළ සමීක්‍ෂණයේ දී පෙනී ගොස් ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment