අයිස් රෝහලක් ගිලගනී

733

ප්‍රධානම පෙළේ රජයේ රෝහලක සමහර සුළු සේවකයන්ගෙන් 50%කට අධික පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවියට ඇබ්බැහි වී සිටින බව එම රෝහලේ බලධාරීන් විසින් සිදු කළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.

මෙම රෝහලේ සුළු සේවකයන් 1500කට ආසන්න පිරිසක් රාජකාරි කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවියට ඇබ්බැහි වී සිටින බව එම සමීක්‍ෂණයෙන් හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කරමින් ිසිටිති.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සේවකයන් බහුතරයක් සිය රාජකාරියට පවා වාර්තා නොකරන අතර ඔවුන් රාජකාරියට වාර්තා කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් වැටුප් ලබා ගන්නා බවද මේ සම්බන්ධයෙන් කළ සමීක්‍ෂණයේදී හෙළිවී තිබේ.

මෙම රෝහලේ අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම මහ ඉහළින් සිදුවන අතර එය නතර කිරීමට පොලිසිය හෝ රෝහල් බලධාරීන් කටයුතු නොකරන බවද වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සේවකයන් රෝහලේ වෛද්‍යවරුන්ගේ, හෙද පාලකවරියන්ගේ නියෝගවලට අවනත නොවන අතර ඔවුන් සිය රාජකාරිවලින් බැහැරව සිටින බවද සමීක්‍ෂණයෙන් හෙළිවී ඇත.

පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් රාත්‍රි කාලයේ මෙම රෝහලේ හදිසි වැටලීමක් කළ අතර එදින රාත්‍රියේ රාජකාරි කිරීමට නියමිත සුළු සේවකයන් බහුතරයක් රාජකාරි සඳහා වාර්තා කර නොමැති බව හෙළිවී තිබිණි.

රෝහලේ එක්තරා සේවකයන් පිරිසක් මේ ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිතර වීම නිසා නිසියාකාරව රාජකාරි කරන සේවකයන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

මේ අතර මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජංගම දුරකථන, මුදල් පසුම්බි සහ වටිනා දේ විශාල වශයෙන් අතුරුදන් වන බවද රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකළොත් මෙම රෝහලේ පරිපාලනය මුළුමනින්ම බිඳවැටෙනු ඇතැයි එම රෝහලෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියි.

රෝහල් බලධාරීන් පවසන්නේ මෙම රෝහලට සුළු සේවකයන් බඳවා ගැනීමේදී විමර්ශනයක් නොකර හිතුමතේ ඔවුන් බඳවා ගැනීමට කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සහ අලෙවි කරන සේවකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රෝහල් බලධාරීහු කටයුතු කරමින් සිටිති. මෙම තත්ත්වයට ගොදුරුවූවන් පුනරුත්ථාපනය කිරීම හෝ කළ යුතු බව ද ඔවූහු පෙන්වා දෙති.

හේමන්ත රන්දුණු


 

advertistmentadvertistment
advertistmentadvertistment