අයි.එම්.එෆ්. එකඟතා කැබිනට් එකට කියන බව ජනපති කිව්වා

59

කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකර ගත් එකඟතාවය සම්බන්ධයෙන් අවසන් තීරණයට පැමිණීමට පෙර එම අවසන් එකඟතාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (22දා) දැනුම් දුන්නේය.

එම ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුව ද දැනුවත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි කථානායක පැවසීය.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ වෙනත් රාජ්‍ය නිලධාරියකු දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව කථානායකවරයා කීය.

දැනට එළඹී ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟතාවයන්ට තවදුරටත් සංශෝධන ඇතුළත් කරමින් තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළ බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණි එකඟතා අයි.එම්.එෆ්. මණ්ඩලය මගින් සම්මත විය යුතුව තිබෙන බවත් ඒ නිසා අනෙක් ණය හිමියන් සහ රටවල් සමග සාකච්ඡා කර අවසන් වනතුරු අවසන් එකඟත්වයක් දෙන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවසූ බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීය.

‘සියලුම තොරතුරු ලැබුණු පසු කැබිනට් මණ්ඩලය දැනුවත් කරනවා. එසේම විරුද්ධ පක්ෂය සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට එම දැනුවත් කිරීමට සහභාගි විය හැකි බව ජනාධිපතිවරයා මට පැවසුවා’ යනුවෙන් ද කථානායකවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගෙන ඇති එකඟතාවයන් සම්බන්ධයෙන් විස්තර විපක්ෂය විසින් දිගින් දිගටම ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් කථානායකවරයා සිය මතය ප්‍රකාශ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment