අයි.එම්.එෆ්. එක පාඩුයි කිව්වට තෙල් විදුලිය කියන්නේ මහජන උපයෝගීතා ආයතන – කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති

156

නෙළුම් කුලුන බලන්න යන මිනිස්සු ඕකෙන් බැහැල ඇවිත් සැප ජීවිතයක් ගත කරන්නෙ නෑනෙ

මේ තියෙන්නෙ පැහැදිලි ලෙස ඩොලර් අර්බුදයට සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයයි

අයි. එම්. එෆ්. එක කියන්නෙ නෑ විදේශීය ණය විතරක් ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඔවුන් කියන්නෙ දේශීය ණය සහිතව කරන්න කියල. තාම මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නෑ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගිය ගමන් බැංකු වැටෙනවා. එහෙම බැංකුවක් වැටෙනවා කියල සැකයක් ඇතිවුණ ගමන් මිනිස්සු තියෙන තැන්පතු ටිකත් ගන්නවා. එතකොට තවත් වැටෙනවා. අර්ථසාධක අරමුදල නැතිවෙනවා.” වත්මත් ආර්ථික අර්බුදය හමුවේ පවතින තත්ත්වය ගැන ජ.වි.පෙ. සුනිල් හඳුන්නෙත්ති කියන්නෙ එසේය. අපි ඒ පිළිබඳව ඔහු සමග තවදුරටත් කතා කළෙමු.

රජය නිකුත් කරන නිල දත්තවලට වඩා ජනතාවගේ ආර්ථිකයට දැනෙන රටේ උද්ධමනය එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. ඇයි එහෙම වෙන්නේ මේ ගැන ඔබලාගේ අදහස මොකක්ද ?

මේකේ ආරම්භය තියෙන්නෙ මෙතන නෙවෙයි. මේ ඉන්න පිරිසම සිටි රජයන් වලදි ඉවක් බවක් නැතිව සල්ලි අච්චු ගැහුවා. රටේ ආර්ථිකය පාලනය කරේ නැ. මුලින්ම ඩොලර් එක කෘතීම විදියට පාලනය කළා. එකෙන් ඩොලරයේ වටිනාකම වැඩි වෙලා කළු කඩයක් නිර්මාණය වුණා. ඒ ඔක්කොම අමතක කරල දැන් මේ තියෙන්නෙ. මේක මේ සාමාන්‍ය වෙළෙඳපොළේ ඉල්ලුම සැපයුම නිසා බඩු මිල ඉහළ යෑමක් නෙවෙයි. මේ බඩු මිල ඉහළ ගිහින් තියෙන්නෙ මිනිස්සු වැඩිපුර පරිහරණය කරල කාල බීලා නෙමෙයි. එහෙමනම් අද පාරිභෝගිකයට නැතත් ගොවියට හරි ආදායමක් තියෙන්න එපැයි. අද පාරිභෝගිකයටත් ආදායමක් නෑ ගොවියටත් නෑ. එක් පැත්තකින් ගොවියට අල ටික, ලූනු ටික විකුණගන්න බෑ. අනෙක් පැත්තෙන් පාරිභෝගිකයට ඒවා මිලදී ගැනීමේ හැකියාවක් නෑ මේ මිලත් එක්ක. මේකට ලෝක වෙළඳපොළේ තෙල් වගේ දේවලුත් බලපාල ඇති, හැබැයි මේ තියෙන්නෙ පැහැදිලි ලෙස ඩොලර් අර්බුදයට සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලය. අනික ඩොලරය කෘතීමව පාලනය කිරීම. මේවා කරද්දි ආර්ථිකය ගැන දන්න විද්වතුන් කිව්වා මේවා කරන්න එපා කියල. ඒ කිසි දෙයක් ඇහුවෙ නෑනෙ. කබ්රාල්ලා නූතන මුදල් න්‍යාය කියල එකක් හදාගෙන කල්පනා කළේ සල්ලි ඇති තරම් ආර්ථිකයට දැම්මම මිනිස්සුන්ට මේක යාවී. එතකොට තාවකාලිකව මේ අර්බුදය පේන්නෙ නැතිව යනවා කියල.

හැබැයි මේ අපි දැන් අත් විඳිමින් ඉන්නෙ ඒකෙ අනිත් පැත්තනෙ?

ඒක තමයි. බඩු මිල වැඩි වුණා මිනිස්සුන්ගෙ අතට ආවේ නෑ මොනවත්. අද ඒක නිසා තමයි ස්ථාවර ආදායම් ලබන, ස්ථීර වැටුප් ලබන මිනිස්සු අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නෙ. දුප්පත් මනුස්සයනම් පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් නෑ කියනවා වගේ ඒ මනුස්සයා නැත්තටම නැතිවුණා. ඉහළ මැද පන්තිය පහළට කඩා වැටුණා.

වත්මන් පාලනය මේ ගැන දැන් නිවැරදි අවබෝධයක් මත දැක්මකින් කටයුතු කරනවාද ?

දැක්මක් තියෙනවා. නම් මෙහෙම කරනවාද? දැක්මක් කොහෙද, ඉස්සෙල්ලා ණය ගන්නකොට කිව්වා ණය ගන්න එක තමා මාර චණ්ඩිකම කියල. අපිට තමයි ණය දෙන්නෙ කලින් ආණ්ඩුවට දුන්නෙ නෑ කිව්වා. ණය ගැනීම ආඩම්බරයට හේතුවක් කරගත්ත පාලකයෝ ඉන්න රටක්නෙ මේක. එතකොට පොලී ගෙවන එක ගැන කතා කළේ නෑනෙ. දැන්නෙ මේ ණය වසංගතයක් වෙලා තියෙන්නෙ. ණය වල ප්‍රතිලාභයක් හිතුවේ නෑ කවදාවත්. ණයක් ගන්න ඕන ඒ ණයට ආයෝජනයක් වෙලා ආදායමක් ලැබිල පොලියක් ගෙවන්න තරම් ප්‍රතිලාභයක් තියෙනවනම්. රටේ නිෂ්පාදනය වැඩිවෙලා තියෙන්න ඕන. එතකොට ණය බරක් නෙවෙයි. හැබැයි මේ ණය ගත්තෙ පොළව යටට දාන්නයි, කොමිස් ගහන්නයි. හම්බන්තොට වරායට ගත්ත ණය, සම්මන්ත්‍රණ ශාලාවට ගත්ත ණය වලින් ප්‍රයෝජනයක් ගත්තද. පාරවල් පුළුල් කරගත්තට නිෂ්පාදනය පුළුල් වුණේ නෑ. තාමත් ජනගහනයෙන් සියයට හැත්තෑවක් ගමේ ජීවත්වෙන්නෙ දුප්පත් කමින්. බස්නාහිර පළාතේ තමයි තවමත් සියයට 53 ක් රටේ ආර්ථිකයට දායක වෙන්නෙ. ජනතාවගෙන් සියයට හැත්තෑවක් ජීවත් වෙන්නෙ ඊට පිටින් නම් ඒ ජනතාවට මේ ප්‍රතිලාභය ගිහින් නෑනෙ. රටේ ආදායම් අර්බුදයක් තියෙනවා. වියදම් අර්බුදයක් තියෙනවා. ඒකයි අයවැය පරතරය හැම තිස්සේම දෙගුණයක් වෙලා තියෙන්නෙ. ඒක පියවන්න ගිහින් ණය අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ණය පියවන්න ණය අරගෙන තවත් අර්බුදය වැඩි වුණා. ඊට පස්සෙ වෙළෙඳ ශේෂ අර්බුදයක් ඇතිවුණා. ඩොලර් අර්බුදය ආවේ එතනින්. හැබැයි මේ ඔක්කොම සිදුවුණේ නිෂ්පාදනයක් නැති නිසා.

ඔබ එසේ කිව්වත් දැන් ණය අරන් හදපු නෙළුම් කුලුන විවෘත කරල එයින් ආදායමක් ලබනවා. ඉදිරි කාලයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කාලය සම්පූර්ණ වුණාම ඒ ආදායමත් සම්පූර්ණයෙන් රටට හිමිවෙන බව කියනවා ?

ඇමැතිවරුන්ගෙ හිතළුවලට තර්ක කරල වැඩක් නෑ. ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් 1970 වඩා දැන් සංවර්ධනය වෙලා තියෙනවා කියල. දැන් යූ. ඇන්. පී. එකේ ඇමැති වරු කියන්නෙ ජේ. ආර්. ජයවර්ධන තමයි විවෘත ආර්ථික ගෙනාවේ. ගාමන්ට් ගෙනාවේ. මැදපෙරදිගට කාන්තාවෝ ඇරියේ. ඒක බොරු නෙවෙයි. හැබැයි ඒකම නේද අපේ විනාශය ගෙනාවෙත්. මැද පෙරදිගට කාන්තාවෝ යනකොට යවන්න හිටපු දොස්තරලා ඉන්ජිනියස්ලා ගියේ නෑ. අම්මලා රට ගිහාම මෙහේ පවුල් විනාශ වුණ. කුඩු රටට ආවා. පිටරට දේ පස්සෙ ගිහින් තිබුණ ගුණාත්මක ආහාරවේල මිනිස්සු නැතිකරගත්තා. දැන් ඒකෙන් ඇතිවුණ ලෙඩ රෝග නිසා කොච්චර මුදලක් සෞඛ්‍යට වියදම් කරන්න වෙලා තියෙනවද? මම මේ කිව්වෙ පොදුවේ උදාහරණ. අපි සැලැස්මකට නෙවෙයි නේද වැඩ කරල තියෙන්නෙ. ඔය කියන නෙළුම් කුලුන හොදයි නරක දේවල් නෙවෙයි, හැබැයි මේ වගේ රටක අත්‍යවශ්‍ය ප්‍රමුඛ දේවල්ද ඒවා. නෙළුම් කුලුනෙන් පල්ලෙහා බලනකොට ආමර්වීදිය, කොටහේන, මට්ටක්කුලිය, තොටළඟ, කැලණිය, බොරැල්ලේ වනාතමුල්ලේ පැල්පත් නිවාසනෙ පේන්නෙ. ඒවයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත අපායක් නම් තව්තිසාව දැකලා මොහොතින් පල්ලෙහාට ආවාම අපායනම් තියෙන්නෙ ඒකෙන් වැඩක් තියෙනවද? නෙළුම් කුලුන හොඳයි මේ ප්‍රශ්න විසඳිලා නම්. ලෝකයේ එහෙම ඉදිකිරීම් කරල තියෙන්නෙ ඒ රටවල ආර්ථිකය හදාගෙන. අපි මේ කරල තියෙන්නෙ ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ වගේ වැඩ. ඔය නෙළුම් කුලුන බලන්න යන මිනිස්සු ඕකෙන් බැහැල ඇවිත් සැප ජීවිතයක් ගත කරන්නෙ නෑනෙ. නෙළුම් කුලුනෙන් බැස්සම සැප ජීවිතයක් ගත කරන්න රට හදල නෑනෙ.

වර්තමාන ජනාධිපතිවරයා මේ තත්ත්වයට පිළියමක් ගේන්න හදන්නෙ අයි. එම්. එෆ්. ණය මගින්. එම ණය ගන්නා ක්‍රියාවලිය සහ ඒ කොන්දේසි පිළිබඳ ජ.වි.පෙ. සිටින්නෙ මොනවගේ මතයකද ?

ඇත්තටම ඔතන භයානකම දේ අපි අයි. එම්. එෆ්. ණයවලට යොමු වීම. එයට යොමු නොවී වෙන විකල්පයක් තිබුණා නම් වඩා සාධාරණයි. දැන් ඒ ගොල්ලන්ගේ 2.5 ණය ගන්න අපි අපේ ණය තිරසාර කරගන්න ඕන. ප්‍රතිව්‍යුහ ගතකරගන්න ඕන. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරගන්න පැරිස් කල්බ් එක හරි එකතුවෙලා ඒක කරල දුන්නොත් හොඳ දෙයක්. හැබැයි අයි. එම්. එෆ්. එක ඒ අතරේ කියනවා දේශීය ණයටත් ඒකම කරගන්න. ඉතින් ආණ්ඩුව වැඩියම අරන් තියෙන්නෙ විදේශීය ණය වලට වඩා දේශීය ණය. දේශීය බැංකු වලින් අර්ථසාධක අරමුදලින්නෙ රජය වැඩිපුර ණය අරන් තියෙන්නෙ. ඉතින් ඒවා ප්‍රතිව්‍යුහගත කරන්නෙ කොහොමද ? ආණ්ඩුව බැංකුවට ගෙවන්න තියෙන ටික නොගෙවා ඉන්න ඕන. එතකොට බැංකු වැටෙනවනේ. අයි. එම්. එෆ්. එක කියන්නෙ නෑ විදේශීය ණය විතරක් ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඔවුන් කියන්නෙ දේශීය ණය සහිතව කරන්න කියල. තාම මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නෑ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගිය ගමන් බැංකු වැටෙනවා. එහෙම බැංකුවක් වැටෙනවා කියල සැකයක් ඇතිවුණ ගමන් මිනිස්සු තියෙන තැන්පතු ටිකත් ගන්නවා. එතකොට තවත් වැටෙනවා. අර්ථසාධක අරමුදල නැතිවෙනවා. ඔන්න ඔය අර්බුදය මේ තියෙන්නෙ. එතෙන්ට නොගිහින් මේක කරගන්න පුළුවන්නම් හොඳයි කියල අපි කියන්නෙ ඒකයි. හැබැයි දැන් අස්වයා ගියාට පස්සෙ ඉස්තාලය වහල වගේ වැඩක් නෑ.

ජනතා විමුක්ති පෙරමුණත් හිටියේ අයි. එම්. එෆ්. යන්න ඕන කියන මතයෙනෙ ?

අයි. එම්. එෆ්. එකෙන් ණය ගන්න ඕන කියන මතයෙ නෙවෙයි අපි හිටියෙ. අයි. එම්. එෆ්. එක ඒ වෙලාවේ ඉදිරිපත් කරපු තාක්ෂණික සහයක් තිබුණා අනිත් රටවල් මේකට ඒකාබද්ධ කරගන්න. ණය කතාවට මෙහා දෙවල් කරන්න අයි.එම්.එෆ්. එකට පුළුවන්. සාකච්ඡා සභාවක් හදන්න, ඇප වීමක් කරන්න. ඒවා ගත්තෙ නෑනෙ මොනවත්. ඒවා ගන්න තිබුණ කාලේ පැන්නනෙ. අපි ඩිෆොල්ට් එකට ගියා. කඩා වැටෙනම තත්ත්වයට පත්වුණාට පස්සෙ ආයේ වෙන කරන්න දෙයක් නෑ. දැන් ණය නැතිව දුවන්න බැරි බව ඇත්ත. හැබැයි දැන් ණය දෙන්න කෙනකුත් නෑ. චීනය තනියෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නෑ. චීනයෙන් ණය ගත්ත අප්‍රිකානු රටවල් ඉන්නවා. එතකොට එයාලත් අහනවා ඇයි අපිට දෙන්න බැරි කියල. ඒකටයි අයි.එම්.එෆ්. එක ඉන්නෙ. හැබැයි මේගොල්ලන් බලන්නෙ ඒක නෙමෙයි ණයක් ගන්නමනෙ බලන්නෙ. එතකොට අයි.එම්.එෆ්. එක කියනවා ණය දෙන්න, ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරගන්න කියල. ආයතන ප්‍රතිව්‍යුහගත කරගන්න කියල. හැබැයි ඒවා අයි. එම්. එෆ්. එකට පාඩු ලබන ආයතන වුණාට මහජන උපයෝගිතා ආයතන. ඒවා රටේ ආර්ථික මර්මස්ථාන. උදාහරණයකට තෙල් සහ විදුලි බලය. ඇත්ත ඒවා පාඩු ලබන ආයතන. හබැයි ඒවා පාඩු කරේ කවුද කියල හොයන්නෙ නෑනෙ. පාඩු කළේත් ඔය අයි. එම්. එෆ්. එක ඇවිත් සාකච්ඡා කරන ඇමැති මන්ත්‍රීවරුම තමා. එක්කො තාත්තල. නැත්තන් එයාලගෙම පුතාල. දැන් රනිල් වික්‍රමසිංහ මේවා පාඩු ලබන්න දායක වෙලා නැද්ද?

හැබැයි අයි. එම්. එෆ්. එක කියල තියෙනවා ණය දෙන්න කලින් දූෂණය නවත්ත ගන්න කියල ?

අපි රටක් නම් අපි හදාගන්න එපැයි දූෂණය නවත්ත ගන්න ක්‍රමයක්. අයි. එම්. එෆ්. එක ඇවිත් කියනකොට උඹල දූෂිතයි කියල මේ ආණ්ඩුව පිළිගන්නවනේ අපි දූෂිතයි කියල. අපි දූෂිතයි හා අපි ඒකට මොනවා හරි ක්‍රමයක් හදාගන්නම් කියන්නෙ ඒකනෙ. ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙලා විතරක් හරි යන්නෙ නෑ. ඉල්ලා අස්වෙන්න ඕන.

දැන් ඔබලා ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පක්ෂයත් ඉල්ලන්නෙ මහ මැතිවරණයක්නෙ. මහ මැතිවරණයෙන් බලය ලැබුණොත් මේ ආර්ථික සංකල්ප එක්ක මේ ක්‍රමයකටම නේද ඔබලට යන්න වෙන්නෙ ?

නෑ. මේ ක්‍රමයට ගියොත් රටේ ඉතුරු ආයතන ටිකත් විකුණන්න වෙනවා. තව ණය වෙලා තවත් බංකොලොත් වෙනවා. මේ ආර්ථික සංකල්පයේ තියෙන්නෙ සල්ලි අච්චු ගහන එකනෙ.

නමුත් රටවල් වලින් ණය දෙන්නෙත් නැත්නම්?

අන්න ඒක තමයි රටවල් වල ණය දෙන දිහා බලාගෙන රටක් සංවර්ධනය කරන්න බෑ. රටක සංවර්ධන ප්‍රතිපත්ති තියෙනවා මිසක රටක ණය ප්‍රතිපත්ති තියෙන්න ඕන නෑ. ණය කියන්නෙ රටක ප්‍රතිපත්ති නෙමෙයි. ණය ප්‍රතිපත්ති කියල එකක් නෑ. නිෂ්පාදන ප්‍රතිපත්තියි රටකට තියෙන්න ඕන. ඒ නිසා අපට ණය ප්‍රතිපත්ති නෑ. අපට තියෙන්නෙ රට හදන ප්‍රතිපත්තියක්. අපේ අර්බුදය තියෙන්නෙ ආදායම නම් අපි ආදායම වැඩි කරන නිෂ්පාදන ආර්ථිකයක් හදන්නයි ඕන. යම් ප්‍රමාණයකට වියදම් පාලනය කළත් අත්‍යවශ්‍ය දේවල් පාලනය කරන්න බෑ. දැන් අපි ආනයනය කරන හුඟක් දේවල් ආයෝජන ආනයනය කරන්නෙ. යෙදවුම් සහ උපකරණ. ඒවා ආනයනය නොකර නිෂ්පාදනයක් කරන්න බෑ. අපි කෘෂිකර්මික රටක්. ඒක හදන්න ඕන මුලින්. එතකොට අපි අපේ අපනයන ආදායම වැඩි කරගන්න තව දේවල් තියනවා. කුරුඳු ටිකට ගම්මිරිස් ටිකට අපි නිෂ්පාදන අගය එකතු කරන්න ඕන. තාම කරුඳු වලින් ලෝක වෙළඳ පොළේ අපි පාවිච්චි කරන්නෙ සියයට හතළිහයි. මේවටයි අපි යන්න ඕන.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment