අයි. එම්. එෆ්. කොන්දේසි දැඩි කරන්න කියා විපක්‍ෂ නායක තානාපතිවරුන්ට කියලා

104

ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ දී කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ණය මුදල් ප්‍රදානය කිරීමේ දී දැඩි කොන්දේසි පනවන්නැයි විපක්ෂ නායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (22 දා) රාත්‍රී විදෙස් තානාපතිවරුන් සමග පැවැති සාකච්ඡාවකදී ඉල්ලීමක් කර ඇති බවට තමන්ට තොරතුරු ලැබුණු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී එම සාකච්ඡාව පවත්වා ඇති බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී මතුවූ සංවාදය මෙසේය-

ප්‍රසන්න රණතුංග මහතා – පළාත් පාලන මැතිවරණය විතරක් නෙමෙයි, පහුගිය යහපාලන ආණ්ඩුව පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. මේ මැතිවරණ දෙකම තියනවනම් හොඳයි. අපිට ආරංචියි ඊයේ රෑත් කලම්බු ක්ලබ් එකෙත් තානාපතිවරු එක්ක විපක්ෂය අයි. එම්. එෆ්. ප්‍රතිපාදන ප්‍රමාද කරන්න කියලා සාකච්ඡාවක් තිබුණලු. එහෙම බැරිනම් බරපතළ කොන්දේසි දාන්න කියලා යෝජනා කරල තියෙනවා.

(විපක්ෂයේ ඝෝෂා)

ප්‍රසන්න රණතුංග මහතා – හරි එහෙම නැත්නම් ඒ කතාව මේ සභාවට කියන්න. එහෙම කරන්න එපා.

(විපක්ෂයේ ඝෝෂා)

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා – ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාට කතා කරන්න දෙන්න.

ප්‍රසන්න රණතුංග මහතා – මම කිව්වේ මම දැනුවත් දෙයක්. එහෙම වෙලා තියේනම් ඒක නරකයි. හැබැයි රැස්වීම තියලා තියෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – අපි තානාපතිවරු හමුවුණා. සමගි ජන බලවේගය විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයම එතනට ගියා. පළාත් පාලන මැතිවරණය කල්දැමීම ගැන අපි කතා කළා. පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 25 වැනි වගන්තිය යටතේ මැතිවරණය තියන්න ඕන. ඒක සියලුම දෙනා දන්න දෙයක්. ආණ්ඩුව ආපු මුල්ම කාලේ මම පළාත් සභා මැතිවරණය ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. අපි තුනෙන් දෙකක් දීලා පළාත් සභා මැතිවරණය පවත්වන්න කැමතියි. පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය දෙකම එකට පැවැත්වූවාට කමක් නැහැ.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා – සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය පමණක් නෙමෙයි පොහොට්ටුව ලාංඡනයෙන් ඉදිරිපත් වුණ මන්ත්‍රීවරුත් තානාපතිවරුන් හමුවුණා. විදෙස් තානාපතිවරු, නියෝජිතයන් හමුවූ අවස්ථාවලදී රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ කරලා රටට ලැබෙන්න තියෙන ආධාර, ණය නවත්වන්න අපි කටයුතු කරලා නැහැ. එහෙම කාලයක් තිබුණා. සූට් කේස් පුරෝගෙන ජිනීවා ගිහිල්ල රටට ලැබෙන්න තිබුණ ආධාර නවත්වන්න කටයුතු කරපු කාලයක් තිබුණා.

ප්‍රසන්න රණතුංග – මම කිව්වෙ මාධ්‍යවේදියෙක් මාව දැනුවත් කරපු කාරණයක් ගැනයි. මේ සාකච්ඡාව තිබුණ තැන, සහභාගි වුණ අය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. ඔබතුමන්ලා අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. පළාත් සභා මැතිවරණ කල් දමනකොට ඔය ටික කියන්න තිබුණා. එදා බිල්ලො වගේ හිටියා. අද තියෙන්නෙ ආර්ථික අර්බුදයක්. ඔබතුමන්ල එදා මැතිවරණ කල් දැම්මේ පරදින්න බය නිසයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment