අයි.එම්.එෆ්. ගියා කියලා අර්බුදය විසඳෙන්නේ නෑ – චම්පික රණවක (සජබ)

103

ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නැති අය අරගලය හයිජැක් කරලා
– විදේශ කටයුතු ඇමැති අලි සබ්රි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් සකසා රට ගොඩ නඟන්න එකතුවෙමු යැයිද ඒ සඳහා විපක්ෂ නායක ඇතුළු සමස්ත විපක්ෂයටත් ආරාධනා කර සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 10 ට රැස්විණ.

ප්‍රථමයෙන් ලිපි ලේඛනාදිය, වාර්ෂික වාර්තා, 27 (02) යටතේ ප්‍රශ්න විසඳීම සහ ඒවාට පිළිතුරු සැපයීම ඉන් අනතුරුව සිදුවිය. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව කල්තැබීමේ විවාදය තෙවැනි දිනටත් ආරම්භ කෙරිණ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

අපි ගොඩාක් කතා කරනවා ආර්ථිකය ගැන. ජනාධිපතිතුමා ප්‍රධාන කරුණු 50 ක් ගැන අවධානය දක්වලා කතා කරලා තිබෙනවා. ඒ සියල්ල සාක්ෂාත් කරගැනීම වැදගත්. හැමදාම අරගල කරලා හරියන්නේ නෑ. රටක් ගොඩ නඟන්න නම් ස්ථාවර දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි. හිටපු ජනාධිපතිතුමාට මිනීමරු හිට්ලර් කිව්වා. සුදු වෑන්වලින් උස්සනවා කිව්වා. නමුත් එතුමා සාමකාමීව බලය ලබා දීලා රටෙන් පිටවෙලා ගියා. අපි මේ ආණ්ඩුවට දැන් උදව් කරන්නේ සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් සඳහායි. එදා 2014 දී අපට බයියෝ කිව්වා. විපක්ෂයේ අයට ටොයියෝ කිව්වා. මේ කතාව හැදුවේ ජනතා විමුක්ති පෙරමුණේ අයයි. මම ඒ අයට කියනවා ගෝපයියෝ කියලා. ඒක නරක වචනයක් නොවෙයි. ගෝපයියෝ කියන්නේ සතෙක්. මිනිස්සුන්ගේ ලේ උරා බීලා සිටින. මම එතුමාලටත් ආරාධනා කරනවා මේ සර්ව පාක්ෂික වැඩපිළිවෙළට උදව් වෙන්න එන්න කියලා. රටේ විනයක් අවශ්‍යයි. අපේ රටේ ආර්ථික අර්බුදය ඇතිවෙන්න හේතුව හිටපු ජනාධිපති නොවෙයි. ඒක වසර 30 ක් තිස්සේ පැවැති එල්ටීටීඊ යුද්ධයයි. ඒ වගේම සුනාමිය, කළු ජූලිය, විවිධ හර්තාල, ජාතිවාදී කෝලාහල, තරුණ නැගිටීම්, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය ආදී විවිධ කරුණු හැඳින්විය හැකියි. මේ සියලු තත්ත්ව වලින් ගොඩ එන්න අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ වැඩපිළිවෙළක් හදමු. විපක්ෂ නායකතුමාටත් අපි ආරාධනා කරනවා. හර්ෂ ද සිල්වා මහතාත් මුදල් කමිටුවල සභාපතිතුමා වනවා නම් අපි ලැහැස්තියි විපක්ෂයටත් උදව් කරලා මේ රට ගොඩ නඟන්න එකතුවෙමු. ටොයියොයි, බයියොයි එකතුවෙමු. ගෝපයියන්ටත් අපි එන්න කියනවා.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා (සජබ) –

රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද බලයෙන් නොවෙයි මේ රටේ අරගලයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයායි. ඔහු පක්ෂ ඔක්කෝම එකතු කරගෙන ගමනක් යන්න ආරාධනා කළා. අපේ කාලයේ ආයුධ අරගෙන විප්ලවයක් කළා. තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. නමුත් මේ දැන් තරුණයන් අරගලය කළේ පාලකයන්ට යන්න කියලා. ගොවියෝ පාරට බැස්සා පොහොර ටික දෙන්න කියලා. දැන් අද වෙනකොට මර්දනය ක්‍රියාත්මක වෙනවා. අපේ පක්ෂයේ අයට විරුද්ධවත් වැඩ සිද්ධ වෙනවා. ගෙවල් ගිනි තියපු මිනීමරපු අයව අල්ලන්න ඕන. නමුත් ජනාධිපතිගේ කොඩිය තියාගෙන හිටියා කියලා, ජනාධිපතිගේ ඇඳේ නිදාගත්තා කියලා ඇල්ලුවා. අද හදිසි නීතිය දමාගෙන මිනිස්සු මර්දනය කරලා රට පාලනය කරන්න යනවා. මේවට ජාත්‍යන්තරය විරුද්ධයි. ඒත් දැන් ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් සහයෝගය ඉල්ලනවා. ලැබෙයිද? අපේ දිස්ත්‍රික්කයේ එක ගලක් ගහපු නැති අයව හිරේට යවලා තිබෙනවා. අපි කියනවා මේ සියලු දෙනාට සහනයක් දෙන්න කියලා. මෙහෙම අරගලයකින් පස්සේ අත්අඩංගුවට ගන්නවා නම් දස දහස් ගණනක් අල්ලන්න වෙයි. එදා ජේ. ආර්. ජනාධිපතිතුමා නම් සමාව දුන්නා. ඒ වගේ පියවරක් අවශ්‍යයි මේ අය ගැන සහනයෙන් බලන්න.

වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා –

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ඉල්ලපු සාධනීය ඉල්ලීම් නොලැබීම මත ඔහුට ධුරය හැර යන්න සිද්ධ වුණා. ඒ නිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අවස්ථාව හිමිවුණා. අපි වගේම ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන සිටිනවා. පසුගිය කාලයේ සිද්ධ වූ දේවල් නිසා මන්ත්‍රීවරුන් වන අපටත් පෞද්ගලික වන්දි ගෙවන්න වෙලා තිබෙනවා. දැන් දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙන බව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම දූෂණයට එරෙහිව විශේෂ පනත් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයා කටයුතු කරමින් සිටිනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා (ශ්‍රීලපොපෙ) –

රට අස්ථාවර වූ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා විපක්ෂ නායක සජිත්ට කතා කළා අගමැති ධුරය භාර ගන්න කියලා. නමුත් එතුමා ආවේ නෑ ඒ ටොෆිය කන්න. එදා ඒ ටොෆිය කෑවා නම් අද එතුමා රටේ ජනාධිපතිතුමා. ඒත් එදා ආවේ නෑ. එතුමා ආසයි – බයයි තනතුරු ගන්න. පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා මේ පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජනාධිපති ලෙස පත්වුණේ ව්‍යවස්ථාමය ලෙස. අපි පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස තීරණයක් ගත්තා මේ රටේ අර්බුදය විසඳන්න සුදුසු කෙනා රනිල් වික්‍රමසිංහයි කියලා. පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාත් ඉදිරිපත් වුණා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (සජබ) –

එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාව එපා කියපු අය අද එතුමාගේ ගුණ වර්ණනා කරනවා පෙනෙනවා. නිර්පාක්ෂික අරගලයක් තුළින් හිටපු ජනාධිපතිවරයා ඉවත් වෙලා තිබෙනවා. එතැනින් පස්සේ සිදු වූ සියල්ල විකෘතීන්. මේ නව ජනාධිපතිවරයාට ජනවරමක් නෑ. කෘතිම විදියට මේ ආණ්ඩුව කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. සජිත් ප්‍රේමදාසට දුන්නහම භාර ගත්තේ නෑ කියලා දැන් කිව්වානෙ. ටොෆියක් දුන්නා කියලානේ කිව්වේ. රාජපක්ෂලාගේ ටොෆි කන්න ද සජිත් ප්‍රේමදාස ඉන්නේ. මේ ආණ්ඩුවට ජනතා විශ්වාසයක් නෑ. ඔය සමහර ඇමැතිවරුන් ඉන්නවා ඒ අය උදේට උසාවියේ නඩුවට යන්න කලින් දන්නවා තමන් නඩුවෙන් නිදහස් කියලා. ඒ නිසා අධිකරණය ගැනත් ජනතාවට සැකයක් තිබෙනවා. ඔය සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න යන්නේ මේ ප්‍රධාන බලකඳවුරු දෙකෙන් පිට යන්නේ නැතුව දේශපාලන බලය ගෙනියන්නයි. ඒකට අපි සූදානම් නෑ. මේ රට ගොඩ ගන්න මේ 225ට බෑ. මේ ජනවරමෙන් රට ගොඩ දාන්න බෑ. මේ සර්ව පාක්ෂික මජර දේශපාලන වැඩ සටහන නවත්වන්න ඕක බොරුවක්.

නුවරඑලිය දිස්ත්‍රීක් මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා (ශ්‍රී.පොපෙ) –

පසුගිය කාලයේ ගොල්ෆේස් අවටට එන්න බැරිවුණා. ඒ ආශ්‍රිතව තිබුණු හෝටල් ටික කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. දැන් එහෙම නෑ. දැන් කළ යුත්තේ එම භූමිය නැවත සුද්ධ කරලා අරගෙන රටේ ආර්ථිකය යළි ගොඩ ගන්න පුළුවන් ආකාරයට පත් කරන්නයි. අපේ රටට ආයෝජන අවශ්‍ය නම් විදෙස් ආයෝජකයන් ආදරයෙන් භාරගන්න ඕනා. පයින් ගහන්න හොඳ නෑ. වියට්නාමය වගේ රටවල් විදෙස් ආයෝජකයන්ට බය නැතුව මුහුණ දුන්නා. අද වියට්නාමයේ අපනයන බිලියන 217 යි, අපේ 12 යි. නමුත් 1990 අපි දෙගොල්ලොම එකට හිටියේ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපේ ඉඩම් දේපළ අපේ වස්තුව, අපේ ටැංකි ලබාදෙන්න බය වෙන්න හොඳ නෑ. අදානි එනවා නම් අපි බය නැතුව භාරගන්න ඕනා. එහෙම නැතුව මේ රටට නැඟිටින්න බෑ.

(සුරේන් රාඝවන් මහතා මූලාසනයට පැමිණේ)

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය (ශ්‍රී.පො.පෙ.) –

අපේ ජනාධිපතිතුමා ඉතාම සරලව හැමෝටම තේරෙන විදිහට සරලව තමන්ගේ ප්‍රතිපත්ති කතාව සිදුකළා. මම සිනමාවට ආවෙත් ජනාධිපතිතුමා දේශපාලනයට ආවෙත් එකම කාලයක. රාජ්‍ය සේවයේ දූෂිතයන් විශාල ලෙස ඉන්නවා. ඒ නිසා ජනාධිපතිතුමා මේ දූෂිත, කොමිස් කාක්කන්ව පළවා හරින්න ක්‍රියා කරන්න ඕනා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා (සජබ) –

අපේ රටට ඉන්දියාව මේ මෑත කාලයේත් විශාල වශයෙන් සහයෝගය පළකළා. අප ඒ ගැන ඉන්දියාවට ස්තුති කරනවා. අපට ඉන්දියාව මෙච්චර සහාය දෙන විට චීනයේ යුද නැවක් මේ රටට එන්න අවසර දීලා තිබෙනවා. එසේ කිරීම හොඳයිද? මේකට කවුද අවසර දුන්නේ? අපේ රටත් ජාත්‍යන්තර යුද පිටියක් කරන්නද මේ හදන්නේ. මේක අනවශ්‍ය ප්‍රශ්නයක් දා ගැනීමක්. මේ කලාපය පිළිබඳ ප්‍රශ්නයක් මේක.

පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය (සජබ) –

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අප සතුටු වෙනවා. මේ වනවිට රටේ ආර්ථික වගේම දේශපාලන අර්බුදයක් තිබෙනවා. අපි රටවැසියන් ලෙස මේ රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. අපි බිඳුණු ජාතියක් ලෙසයි දැන් කටයුතු කරන්නේ. අපේ රටට රාජ්‍ය ආයතන 527 ක් තිබෙනවා. නමුත් මෙයින් 52 ක් පමණයි උපක්‍රමික වැදගත් ආයතන ලෙස හඳුනාගෙන තිබෙන්නේ. මේවාට විශාල වත්කම් තිබෙනවා. රුපියල් බිලියන 12437 ක වත්කම් ඒ ආයතනවලට තිබෙනවා. ඒත් මේවායින් රාජ්‍ය ආදායමට ලැබී තිබෙන්නේ ගිය වසරේ රුපියල් බිලියන 30 ක් වගේ සොච්චමක්. එය ආයෝජන ප්‍රතිලාභයෙන් සියයට 0.25 යි. මේ මුදල ස්ථාවර තැන්පතුවක් දැම්මත් සියයට 20 ක් හම්බ වෙනවා. විදුලිබල මණ්ඩලය, සිපෙට්කෝ, ශ්‍රීලන්කන්, සීටීබී, ජල මණ්ඩලය, ලංගම, දුම්රිය වගේ ආයතන 20 ක්. මේ ආයතනවලින් ගිය වසරේ පමණක් රුපියල් කෝටි 28600 ක්. එක දවසකට පාඩුව කෝටි 79 ක්. ඉතින් අපේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද? අපි දැන්වත් සිස්ටම් වෙනසක් කරන්න ඕනා. විදුලිබල මණ්ඩලය අද ජාතික සම්පතක් නොවෙයි, ජාතික කොඩිවිනයක් වෙලා. දැන් ඒ අයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය හොඳ දෙයක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා (සජබ) –

අපේ රටේ තිබුණු අරගලය මැයි මාසේ 09 දා වෙනකම් ඉතා සාමකාමීව ගෙන ගියා. ඒක හොඳ මොඩලයක් කියලා විදෙස් තානාපතිවරුන් පවා කිව්වා. නමුත් පස්සේ මේකට ප්‍රචණ්ඩත්වය එක්කළා. කොළඹ ජනතාව ගිහින් ජනාධිපති මන්දිරය බැලුවා. පෝලිමේ ගිහින් දැන් ඒ අයව අත්අඩංගුවට ගන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා (සජබ) –

මේ රටේ ආර්ථික අර්බුදයට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය විකරක් වගකිව යුතු නෑ. බස් පුච්චලා දේපළ ගිනි තියලා ලොකු විනාශයන් කළා. යුද්දෙ නිසා කොච්චර විනාශයන් වුණාද, අරගලය නිසා අපේ ගෙවල් ගිනිතිබ්බා. මේවාට 225 වගකියන්න ඕනා කියන එක හරිද?

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා –

විපක්ෂය කියනවා හොඳ දේට උදව් කරනවා කියලා. එහෙම විතරක් කියලා හරියන්නේ නෑ. මේ වගකීම් එක්කෙනකුට දෙන්නෙකුට විතරක් අරගෙන කරන්න බෑ. මේවාට හැමෝම සහාය දෙන්න ඕනා. දැන් අර පෝලිම් ප්‍රශ්න ටික ටික ඉවර වේගෙන යන්නේ. තව ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න වගේම තව ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි බංකොලොත් වෙලා තිබෙන්නේ. ණය ගෙවාගන්න බැරිවෙලා ඉන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කියන්නේ හැමෝටම එන්න කියලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (සජබ) –

අද අපේ රට දරුණු ආර්ථික අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් එන බව පාලකයන් දැන ගෙන හිටියේ නැත්ද කියන ප්‍රශ්නය අහනවා දැන්. මා නම් ආපාලු ආර්ථිකය කියලා මේ ගැන පොතක් පවා ලියා ප්‍රකාශ කළා. අපි කැබිනට් මණ්ඩලයටත් ඒ සඳහා යෝජනා ලබා දුන්නා. ඒ සාමාජිකයන් මේ සභාවේ ඉන්නවා. මේ අනතුර අපි දැක්කා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගියා කියලා මේ සම්පූර්ණ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනා. නමුත් චීනය ඒකට කැමැති වූයේ නෑ. නමුත් සැම්බියාව මැදිහත් වීම මත ඊට යම් කොළ එළියක් ලැබුණා. ඒ ගැන රජය ප්‍රතිපත්තියක් ඇති කරගත යුතුයි.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා –

ජනාධිපතිවරයා මේ රටේ ආර්ථිකය විසඳීමට කටයුතු කරගෙන යනවා. ඒකට අප යම් කාලයක් ලබාදිය යුතුයි. අපේ රටේ සියලුම ව්‍යාපෘති හෝ අරගල ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතුයි. ජනතාව වෙන විකල්පයක් නැති නිසා තමයි පාරට බැස්සේ. ඒක සාධාරණයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නැති අය මේ අරගලය හයිජැක් කළා කියන එක මට නම් අවිශ්වාසයක් නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (සජබ) –

ජනාධිපතිවරු කීයක් නම් මේ පාර්ලිමේන්තුවේ සිට ප්‍රතිපත්ති ප්‍රකාශ නම් කීයක් කළාද? නමුත් ඒවා ප්‍රායෝගිකව සිදු නොවූ නිසා මේ වත්මන් ජනාධිපතිතුමාටත් ඒ වගේ කතාවක් කරන්න වුණා. ඒ කතාවේ වංචා දූෂණ ගැන තිබෙන්නේ එක පේළියයි. දැන් අපට කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවකට එන්නලු. ඒක සාධාරණද? යම්කිසි වැඩපිළිවෙළක් සකසා අපට ආරාධනා කරන්න අපි සහාය දෙන්න සූදානම්.

පාර්ලිමේන්තුව ලබන 29 දා පෙරවරු 09.30 ට යළි රැස්වේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment